මේ රස්සාව ලේසි නැහැ – උපුල් නිශාන්ත

gossiplanka image 1
 


මාධ්‍යවේදියෙක්, චිත්‍රපට මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙක්, ඡායාරූප ශිල්පියෙක්. ද්විභාෂා නිවේදකයෙක් වගේම කලාවේ ද විවිධ ඉසව් ඔස්සේ දිගු ගමනක් ගිය මාධ්‍යවේදී උපුල් නිශාන්තගේ කලාවේ හා මාධ්‍යයේ හතළිස් වසරක මතකාවර්ජනය නිමිත්තෙන් පවත්වනු ලබන ‘හිත ලිහන හතළිහ’ ප්‍රසංගය 31 වැනිදා සවස 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ. 31 වැනිදාට යෙදෙන උපුල්ගේ 59 වැනි උපන්දිනය සමග පැවැත්වෙන ‘හිත ලිහන හතළිහ’ ගැන ‘මීවිත’ට පැවැසුවේ මෙවැන්නකි.


මගේ පෙර පරම්පරාවේ චිත්‍රපට නිළි උදුලා දාබරේ මගේ අම්මාගේ අක්කා. පාසල් ගියේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට. මගේ සංගීත ගුරුවරයා වුණේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ඉතිං පුංචි කාලේ නළු නිළියන් එක්ක ඉඳලා, දැකලා, සම්මාන උළෙලවලට ගිහිල්ලා ඊට පසුව රඟපාන්න ආස හිතිලා වේදිකාවට එනවා.


මම නාට්‍ය පනහක විතර වැඩ කළා. ගීත ගායනා කළා. ඒ කාලේ ගායකයෙක් වෙන්නත් ලොකු වුවමනාවක් තිබුණා. හැබැයි ඒ හීනය සැබෑ කරගන්න බැරි වුණා. 2003 සඳ අහිංසකයි කියලා මගේ නමින් ගීත පහක සී ඩී පටයක් නිකුත් කළා. ඒවා මගේ ආසාවට කරපු දේවල්.


නිහාල්සිංහ මහත්මයාගේ කැමරා යුනිට් එකෙන් තමයි මම කැමරා වැඩ ඉගෙනගත්තේ. ඔය අතරේ මම චිත්‍රපටවල නිශ්චල ඡායාරූප ශිල්පියෙක් සහ සහාය කැමරා ශිල්පියෙක් විදිහට වසර ගණනාවක් වැඩකරලා තියෙනවා. චිත්‍රපට විස්සක විතර රඟපාල තියෙනවා. සිංහල සහ ඉංග්‍රීසි නිවේදකයෙක් විදිහටත් ඉරුදින පුවත්පතේ පවන කලා අතිරේකයේ වගේම ඉරිදා පුවත්පතේ ඡායාරූප ශිල්පියෙක් වගේම මාධ්‍යවේදියෙක් විදිහටත් කටයුතු කළා. මේ වෙනකොටත් මේ රටේ පවතින පුවත්පත්වලට, මට අවස්ථාව ලැබුණ විදිහට අතිරේකවල මුල් පිටුවලට පින්තූර වගේම ලිපි සපයනවා. මාධ්‍යවේදියෙක් විදිහට ලොකු ගමනක් ඇවිත් තියෙනවා. ඉතිං මට ඕනෑ වුණා සියල්ල එකතු කරලා මොකක් හරි කරන්න. ඒ අනුව තමයි ‘හිත ලිහන හතළිහ’ සූදානම් කරන්නේ.


මට මේ ගමන එන්න උදව් කළ සහ උගන්වපු ප්‍රවීණයන් පිරිසකට එදින මම සම්මාන ප්‍රදානය කරනවා. මගේ උපන්දිනයත් එදාට තියෙන්නේ.


අමන්ද්‍යා උත්පලී, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි මගෙත් එක්ක සහාය ගායනයෙන් එකතු වෙනවා. ඊට අමතරව චන්න විජේවර්ධනයන්ගේ සහ චන්දන වික්‍රමසිංහගේ නර්තන කණ්ඩායම් නර්තනයෙන් එකතු වෙනවා. ගීතවලට සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, දේශානි නෙහාරා, නිලූෂි පවන්‍යා, අභිලාෂි සන්තුෂ්කි නර්තනයෙන් එකතු වෙනවා. චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය සහ ආචාර්ය නුවන් නයනජිත් මා ගැන දෙසුම් දෙකක් පවත්වනවා. මෙහි නිවේදන කටයුතු සිදුකරන්නේ චමින්ද ගුණරත්න සහ පාරමී රණසිංහ. එල්ෆින්ස්ටන් රඟහලේ හෙට (31 දා) සවස 6.30 ට තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. ‘හිත ලිහන හතළිහ’ විචිත්‍රවත් ප්‍රසංගයක් කරන්න තමයි සූදානම.


උපුල්, චිත්‍රපට මාධ්‍ය සම්බන්ධීකාරකවරයාගේ ගමන පටන්ගත් ආකාරය ගැනත් මතක් කළා.


ඒක ඇත්තටම සිද්ධවෙන්නේ මීට අවුරුදු දාහතරකට විතර කලින්. ඒ කාලේ සිනමා කර්මාන්තයේ හිටියා ප්‍රේමරත්න කියලා මහත්මයෙක්. මම පැරණි චිත්‍රපටයක ඡායාරූප ශිල්පියෙක් විදිහට වැඩ කරනකොට දැකලා මගෙත් එක්ක කතාබහ කරලා දැන හඳුනාගෙන මාව සියලුම සිනමා ප්‍රදර්ශක මණ්ඩලවලට එක්කගෙන ගිහින් හඳුන්වලා දුන්නා. ඊට පසුව අප අතරින් සමුගත් නිළි රැජන මාලනී ෆොන්සේකා මහත්මිය තමයි චිත්‍රපට මාධ්‍ය සම්බන්ධීකාරකවරයාගේ කාර්යය ගැන අදහස දෙවැනි වරට මගේ ඔළුවට දැම්මේ. මුලින්ම ‘සුජාත පුත්‍ර’, ‘අපේ කාලයේ පටාචාරා’, ‘රන් සයුර’ වගේ චිත්‍රපට රැසක මාධ්‍ය සම්බන්ධීකාරකවරයා විදිහට කටයුතු කළා.


ඔහු මේ වෙනකොට චිත්‍රපට 110 ක විතර මාධ්‍ය සම්බන්ධීකාරකවරයා විදිහට කටයුතු කරලා තියෙනවා.


මගේ මාධ්‍ය සම්බන්ධීකාරක ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විදිහට දකින්නේ සුදේශ් වසන්ත පීරිස් මහත්මයාගේ ‘හුස්ම’ චිත්‍රපටය. ඒක නරඹන්න ඇවිත් හිටිය ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදිකාවක වන රේණුකා බාලසූරිය මහත්මිය මේක බලාගෙන ඉඳලා එදා රාත්‍රියේදීම මට කතා කරලා ඔවුන්ගේ අලුත්ම චිත්‍රපටය වන සුනාමි චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු මට භාරදුන්නා. එදා ඉඳලා මම ඔවුන්ගේ චිත්‍රපට හතක විතර වැඩ කළා. මට එහිදී රේණුකා බාලසූරිය මහත්මිය ගොඩාක් දේවල් කියල දුන්නා. එතැනින් පසුව සිනමා කේෂ්ත්‍රයේ හිටපු ප්‍රවීණයන්ගේ සිනමා නිර්මාණවල මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා මට අවස්ථාව ලැබුණා. ඒ හින්දා තමයි මට මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ.


ඔහු මේ ගමනේදී මුහුණ දුන් ප්‍රශ්න ගැනත් කතා කළා.


මේ රස්සාව කරන එක ඇත්තටම ලේසි නැහැ. මාධ්‍ය ප්‍රචාරණ කටයුත්ත කියන්නේ හරියට දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. සමහර වෙලාවල් තිබුණා ප්‍රදර්ශක මණ්ඩල පහේම තිරගත වන චිත්‍රපට පහේම මාධ්‍ය සම්බන්ධීකාරකවරයා මම. ඒවා මම එකවර භාරගත්තු වැඩ නෙමෙයි. නමුත් ඒ චිත්‍රපට තිරගත වෙන්නේ එකම කාල වකවානුවකදී. එතකොට චිත්‍රපට පහේම නිෂ්පාදකවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට සාධාරණයක් වන විදිහට ප්‍රචාරණය ලබාදෙන්න ඕනෑ. ඔය වැඩ කරනකොට හිත් රිදුන අවස්ථාත් නැතිවාම නෙවෙයි. මට වැඩක් භාර දුන්නහම කිසිම කෙනකුට අවාසියක් වන විදිහට වැඩ කරලා නැහැ.


මම මාධ්‍ය සම්බන්ධීකාරවරයාගේ තනතුරට එහා ගිහිල්ලා චිත්‍රපටයක මුහුරත් උළෙලේ සිට චිත්‍රපටය දුවලා අවසන් වෙලා ප්‍රදර්ශක මණ්ඩලවලින් නිෂ්පාදකවරයාට හිමි චෙක්පත ගන්නා අවස්ථාව දක්වා රැඳී සිටිනවා. මාධ්‍ය දර්ශනයකුයි මංගල දර්ශනයකුයි කරලා අතපිහදාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි මම, පැය විසිහතරේම ඉන්නේ මේ රස්සාවේ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post