කවුරුවත් ඉදිරියේ වචන කරන්න බැරි කතාන්දරයක් අපි හැමෝගෙම ජීවිත අස්සෙ තියෙන්න පුළුවන් .බෝල්ට් ඇණයක් ඩයනාගේ ජීවිතයට හුස්මක් දෙන ෂෙහානි කහඳවලගේ ජීවිතය අස්සෙත් එහෙම කතාන්දරයක් තියෙනවා......
මේ ෂෙහානිගේම වචන ....
ඔයා ජීවිතයේ බිමටම වැටුණු වෙලාවට තමයි තේරෙන්න ගන්නේ, ඔයා ගැන හිතුවා, ඔයාට ආදරෙයි කියලා ඔයා හිතාගෙන හිටපු සමහර අය ඇත්තටම ඔයාට කවදාවත් ගරු කළේවත්, ආදරේ කළේවත් නැහැ කියලා.
ඔයා හිතුවා උන් ඔයාගේ යාළුවෝ කියලා, ඔයාට ආදරෙයි කියලා... ඒත් අන්තිමට ඔයාට තේරෙනවා ඔයා උන්ට කවදාවත් යාළුවෙක් වෙලා ඉඳලා නැහැ, ඔයාව පාවිච්චි කළා විතරයි කියලා.
ඊටත් වඩා පපුව රිදෙන්නේ, ඔයා පණ වගේ ආදරේ කරපු කෙනා පවා ඔයාගේ ඒ වේදනාව තේරුම් නොගෙන, ඔයාගේ අඳුරුම කාලයේදී ඔයාට ශක්තියක් වෙනවා වෙනුවට ප්‍රශ්න තවත් වැඩි කරලා ඔයාගේ ඔළුවට සියදිවි නසාගැනීමේ සිතුවිලි පවා ගෙනෙද්දියි. ඒක ඇත්තටම මහ කාලකන්නි හැඟීමක්.
මේ හැමදේම අකුරු කරන්නත් මට ගොඩක් අමාරුයි. මේවා ලියද්දීත් මගේ ඇස් දෙකෙන් ඉබේටම කඳුළු වැටෙනවා.
මම කවදාවත් දැන දැන කාටවත් රිද්දලා නැහැ. පුංචි කාලේ ඉඳන්ම මම ගුටි බැට කාපු පාරවල්, ශාරීරික මෙන්ම මානසික තුවාල හිත ඇතුළේ හංගගෙන, කිසිම දෙයක් වුණේ නැහැ වගේ පාසල් ගිය කෙල්ලෙක් මම.
මම කවදාවත් මගේ පෞද්ගලික ප්‍රශ්න එළියට දාන්න කැමති කෙනෙක් නෙමෙයි. මම කාගෙන්වත් අනුකම්පාව බලාපොරොත්තු වෙන්නෙත් නැහැ, මොකද මම පොඩි කාලේ ඉඳන්ම දැක්කේ මිනිස්සුන්ගේ අනුකම්පාව විතරයි. අසරණ පුංචි කෙල්ලෙක් විදිහට මට ලැබුණේ අනුකම්පාව විතරමයි. ඇත්තටම මට කාගේවත් අනුකම්පාව වැඩක් නැහැ.
ඉපදුණු දවසේ ඉඳන්ම මම ජීවිතය එක්ක ලොකු අරගලයක ඉන්නේ. ඒත් තාමත් මට හදවතින්ම හොඳ එක මනුස්සයෙක්වත් හම්බුණේ නැහැ. හැමදේම ව්‍යාජයි(බොරු )වගේ දැනෙනවා. හැම මනුස්සයෙක්ම තාවකාලිකයි වගේ දැනෙනවා.
සමහර වෙලාවට මට හිතෙනවා මම ජීවත් වෙන්නේ හුස්ම ගන්න ඕනේ කමකට විතරයි කියලා.
ඒත් මගේ හිතේ කොහේ හරි තැනක තාමත් පුංචි විශ්වාසයක් තියෙනවා... මට ආයෙමත් මගේ ජීවිතයේ අරමුණ හම්බෙයි කියලා. ජීවත් වෙන්න, හදවතින්ම හිනාවෙන්න, ජීවිතය කියන්නේ අතහරින්නේ නැතුව අල්ලන් ඉන්න වටින දෙයක් කියලා දැනෙන්න මට ආයෙමත් එක හේතුවක් හම්බෙයි.
මම ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. මට ඕනේ එකම එක මනුස්සයෙක්ගෙන් විතරක් හදවතින්ම ලැබෙන ඇත්තම ආදරයක් දැනෙන්න විතරයි. මගේ අගය නැති කරන්නේ නැතුව, මාව තේරුම් අරන්, මගේ ළඟින්ම ඉන්න එකම එක ඇත්ත මනුස්සයෙක්.
මට හදවතින්ම ආදරෙන් කතා කරපු, මට හොඳ වචනයක් කියපු හැමෝටම ගොඩක් ස්තූතියි. මට හදවතින්ම සලකපු ඒ හොඳ මනුස්සකම් මම හැමදාම අගය කරනවා.
සමහර විට මේ හැමදේම මම ලියන්නේ මගේ හිත ඇතුළේ තාමත් ඉන්න, කාලයක් තිස්සේ ගොඩක් රිදෝගත්ත, අනුකම්පාව නෙමෙයි ආදරය විතරක්ම ඉල්ලපු ඒ පුංචි කෙල්ල වෙන්න ඇති...