යොවුන් සිත් වසඟයට පත්කළ උන්මාදනීය වූ විරහා ගීත කෝකිලයාගේ ජීවන මංපෙත එකළු කළ ගී ලොව විචිත්‍ර චාරිකාව මූලික කරගනිමින් නිර්මාණය වූ ‘එදා රෑ’ චිත්‍රපටය සැප්තැම්බර් 18 වැනිදා සිට තිරගතවීම ආරම්භ වෙනවා. ඔන්න ආපහු කාලෙකට පස්සේ එදා රෑ සමග ශේෂාද්‍රි ප්‍රියසාද්ව අපිට රිදී තිරයෙන් දැකගන්න හම්බවෙනවා. ඉතිං කාලෙකට පස්සේ ආපහු රිදී තිරයෙන් දැකගන්න පුළුවන් ශේෂාද්‍රි ප්‍රියසාද් වෙනුවෙන් මෙවර මීවිතෙන් අපි ඉඩක් වෙන්කරන්න අදහස් කළා.
කාලෙකට පස්සේ එදා රෑ චිත්‍රපටයෙන් ආපහු ශේෂාද්‍රිව මුණගැසෙනවා නේද?
ඔව්. මම හිතන්නේ මිල්ටන් මල්ලවආරච්චිගේ ජීවිත කතාව පාදක කරගෙන කරපු එදා රෑ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීමේ අවස්ථාවෙන් පස්සේ ජනතාවගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මිල්ටන් මල්ලවආරච්චි කියන්නේ අපේ ලංකාවේ හිටපු ප්‍රවීණ සහ හැමෝගෙම ආදරයට ලක්වූ චරිතයක්.
ඔහුගේ ගීත අපි අදටත් රස විඳිනවා. චිත්‍රපටය තිරගත වෙනකම් හැමෝම බලාගෙන ඉන්නවා. ඉතිං හරිම සතුටුයි ඒ වගේ චිත්‍රපටයකට මටත් රංගනයෙන් දායකවෙන්න අවස්ථාවක් ලැබීම සම්බන්ධව.
මේ සඳහා ආරාධනාව ලැබුණේ කොහොමද?
චිත්‍රපටයේ කාස්ටින් ඩිරෙක්ටර් මෙවන් ලියනගේ තමයි මුලින්ම කතා කරලා අදහස කිව්වේ. ඊට පසුව මෙහි පිටපත් රචක සුනෙත් මාලිංග ලොකුහේවා කතාව පිළිබඳව සහ මගේ චරිතය පිළිබඳව පුළුල් විස්තරයක් කළා. ඊට පසුව තමයි මම රංගනයට දායක වුණේ.
රූගත කිරීම් අත්දැකීම් එහෙම කොහොමද?
රොෂාන් රවීන්ද්‍ර කියන්නේ මගේ ප්‍රියතම රංගන ශිල්පියෙක්. මම ගොඩාක් ආසාවෙන් හිටියා ආපහු රොෂාන් අයියත් එක්ක වැඩකරන්න. මොකද මීට අවුරුදු දහයකට විතර කලින් ඔහුත් එක්ක චිත්‍රපටයක් කළා. ඒක තවම තිරගත වුණේ නැහැ. ඉතිං මම ආසාවෙන් හිටියා රොෂාන් අයියත් එක්ක නැවත වතාවක් වැඩකරන්න. ඒ ලැබුණ අවස්ථාව ගැන මට හරිම සතුටුයි. අනික ඔහුත් එක්ක වැඩකරන්න හරිම පහසුයි. ඊට අමතරව මට ගොඩාක් ළඟින්ම දර්ශන නිරූපණය කරන්න තිබුණේ දිනිති වල්ගමගේ, නයෝමි පෙරේරා, මිලින්ද මඩුගල්ල වගේ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක තමයි වැඩකරන්න ලැබුණේ. හරිම සහයෝගයෙන් සුහදව ජොලියේ කරපු වැඩක්.
අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනගෙන් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?
අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණය අනුව තමයි චිත්‍රපටයේ මගේ චරිතය මම නිරූපණය කළේ. මම හිතනවා මම ඔහුට අවශ්‍ය විදිහට චරිතය නිරූපණය කරන්න ඇති කියලා.
අරුණ අයියා ගැන මේ වෙලාවේ විශේෂයෙන් කියන්න ඕනෑ. පළමු වතාවට තමයි මම අරුණ අයියත් එක්ක වැඩකරන්නේ. මම හිතාගෙන හිටියේ ඔහු හරිම සැරපරුෂ චරිතයක් කියලා. නමුත් වැඩකරපු පළමු දවසේ තමයි දැනුනේ හරිම සුන්දර හරිම නිවුන චරිතයක් කියලා.
කොච්චර කාලෙකට පස්සේද ආපහු චිත්‍රපටයක් තිරගත වෙන්නේ?
2024 වසරේ තමයි අවසන් වරට සිහිනයකි ආදරේ චිත්‍රපටය තිරගත වුණේ. ඉතිං ඊට පස්සේ 2026 සැප්තැම්බර් 18 වැනිදා ඉඳලා තමයි එදා රෑ තිරගත වෙන්නේ. එතකොට අවුරුදු දෙකක විතර කාලයක් ගතවෙලා.
දිගු කාලයක්. මොකද හිතෙන්නේ ?
ඔව්. දිගු කාලයක්. මම ආයෙමත් රංගනයට එකතුවෙන්නෙ මේ අවුරුද්දේ මුල කියලා කිව්වොත් හරියටම හරි. මම හරි සතුටෙන් තමයි ආපහු වැඩකරන්න පටන්ගත්තේ. මම චිත්‍රපටවල වැඩකරන්න හරි කැමැතියි. ඒ ආසාව ඒ කැමැත්ත මේ අවුරුද්දේ මුලදීම මට චිත්‍රපට දෙකකින් ඉෂ්ට කරගන්න ලැබුණා. ෆිල්ම් සෙට් එකක වැඩකරනවා කියන්නේ හරිම සතුටුයි.
දැන් වැඩිපුර වැඩ භාරගන්නේ නැතිද?
ඉස්සර වගේම තමයි. කොහොමටත් මම තෝරලා බේරලා තමයි වැඩකළේ. දැන් වැඩිපුරම තෝරලා බේරලා කරන්න වෙන්නේ, එකක් තමයි මට හරියන චරිත වෙන්න ඕනෑ. අනෙත් එක මම අම්මා කෙනෙක්. මට දුවෙක් ඉන්නවා. එතකොට මට එයාගේ වැඩකටයුතු එක්ක එයා ගැනත් බලන්න වෙනවා. හැමදේම කළමනාකරණය කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මම වැඩභාරගන්නේ. ඔය අතරේ මට ක්‍රිෂාන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒක හින්දා මම ලබන සතියේ තවත් අලුත්ම චිත්‍රපටයක රූගත කිරීම්වලටත් දායකවෙනවා.
එයාගෙන් වැඩිපුර සහයෝගය ලැබෙන හින්දා මට දැන් වැඩිපුර වැඩ කරන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.
ආදරණීය තරුවක් බැලුවාද?
ඔව් ඔව් බැලුවා, බැලුවා. ඒක ඉතිං නොබලා ඉන්න බැහැනේ.
ෂනූ නංගිගේ රංගනය සහ දිනක්ෂි අක්කාගේ නිෂ්පාදනය ගැන මොකද හිතෙන්නේ?
හරිම සතුටුයි. මේ දවස්වල ආදරණීය තරුවක් චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා දකිනවා. ඉතිං මටත් කට්ටිය කතා කරලා කියනවා ‘අනේ ඔයගොල්ලන්ගේ ෆිල්ම් එක බැලුවා, හරිම ලස්සනයි’ කියලා. මම චිත්‍රපටය නරඹපු ප්‍රේක්ෂිකාවක් විදිහට මම එහි සිනෙමොටෝග්‍රැෆිවලට හරිම ආසයි. වර්ණ සංයෝජනය එහෙම හරි අපූරුයි.
ෂනූ ගත්තොත් එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරන්න පුළුවන් රංගන ශිල්පිනියක්. පසුගිය කාලයේ රඟපෑ එකිනෙකට වෙනස් චිත්‍රපට එක්ක ගත්තොත් මේකේ එයාගේ පෙනුමත් වෙනස්වෙලා තියෙනවා. ඒකත් ලොකු වෙනසක්. ෂනූ පොඩිකාලේ ඉඳලා විවිධාකාරයෙන් දක්ෂතා දක්වපු කෙනෙක්. මේ චිත්‍රපටයේ ෂනූගේ නර්තනය, රංගනය වගේ හරිම අපූරුයි.
අපේ අක්කි ගත්තොත් එයා චිත්‍රපටයේ එක දර්ශනයකටවත් පෙනී ඉන්නේ නැහැ. හැබැයි පිටුපස ඉඳලා හැමදේම හොයලා බලලා කළේ අක්කා තමයි. මම ගෙදර ඉන්න කෙනා විදිහට ඒක ඇස්දෙකෙන්ම දැක්කා. සාරංග අයියාගේ ඇඳුම් පැළඳුම් ද කෑමබීම ගැන ද හොයලා බලලා හැමදේම කළා.