දමිළ හුරුවට සිංහල කතාකරන ජනප්‍රිය ටෙලි නළු දර්ශන් තවරාජා ඔන්න ‘මං හොයන්නේ ප්‍රේමයක්’ තුළින් සිනමාවටත් ඇවිදින්. සෝෂල් මීඩියාවල දිගට හරහට මුදාහැරෙන ඕපාදූපවල හැටියට නම් ‘මං හොයන්නේ ප්‍රේමයක්’ ෆිල්ම් එක තරුණ පරපුර අතර වගේම වැඩිහිටි පිරිස අතරත් හිතුවටත් වඩා හිට් වෙලා කියලයි ආරංචිය. හැමෝම වගේ මේ දවස්වල කතාකරන ‘මං හොයන්නේ ප්‍රේමයක්’ ගැන දර්ශන් එක්කම කතාකරන්නයි මේ සූදානම.
කොහොමද දර්ශන්, හුඟක් බිසී කියලයි ආරංචිය?
ඔව්. සෝනු මන්දාරා ෂූටින්වලට අමතරව ‘මං හොයන්නේ ප්‍රේමයක්’ ෆිල්ම් එකේ ප්‍රමෝෂන් වැඩවලට මේ දවස්වල එහෙ මෙහෙ දුවනවා.
‘මං හොයන්නේ ප්‍රේමයක්’ හිතුවට වැඩිය සාර්ථක ගමනකට මැදිවෙලාලු?
ඇත්තටම මාර සතුටුයි. අපේ ප්‍රේක්ෂකයෝ මේ තරම් ආකර්ෂණීය විදියට ‘මං හොයන්නේ ප්‍රේමයක්’ වැලඳගනීවි කියලා හිතුවේ නෑ.
ප්‍රමෝෂන්වලට යනකොට දර්ශන්ට තරුණ කෙල්ලන්ගෙන් තමයිලු බේරිල්ලක් නැත්තේ?
එහෙමත් එකක් තියෙනවා තමයි. හැබැයි තරුණ කෙල්ලො විතරක් නෙවෙයි, අම්මලගේ අක්කලාගේ වයස්වල අයත් ළඟට ඇවිදින් හරිම ආදරණීය විදියට කතාබහ කරලා යනවා.
මුහුණු පොතේ ඒ බොහොමයක් දෙනා පෝස්ට් මුදාහරිනවා දර්ශන් හරිම නිහතමානී කියලා?
එහෙම නොවී කොහොමද? අපි තරුවක් වෙනවද, නැත්නම් අපි ඉන්න තැන අද කොතැනද, ඒ හැම දේම අපට දුන්නේ අපේ ප්‍රේක්ෂකයෝ. ඉතින් අපි කොහොමද එයාලට ආඩම්බරකම් පෙන්වන්නේ.
ඔබට එතැනදි හැමෝගෙන්ම වගේ සුවිශේෂ ප්‍රතිචාර ලැබෙනවලු?
කෙටියෙන්ම කියනවා නම් ඔවුන් මට දක්වන ආදරය අසීමිතයි. මං ගැන මගේ රංගනය ගැන එයාලා ඒ තරමට උනන්දු වෙනවා කියන එක මට හිතාගන්න බැහැ. ඇත්තටම කොහොමද මට මේ තරම් ආකර්ෂණයක් ආදරයක් ලැබුණේ කියන කාරණය ගැන පුදුම වෙන අතර මගේ හිතට අහිංසක ආඩම්බරකමකුත් දැනෙනවා.
මොනවද ඔවුන් ඔබට ‘මං හොයන්නේ ප්‍රේමයක්’ ගැන කියන්නේ?
එයාලා හැමෝම වගේ වැඩිපුරම මට කියනවා ‘අයියෝ දර්ශන් ෆිල්ම් එක බලනකොට අපි හුඟක්ම ඇඬුවා’ කියලා. ප්‍රේක්ෂකයෝ විතරක් නෙවෙයි මීඩියාවල ඉන්න කට්ටියත් කිව්වා. සමහර සීන්ස්වලට ඇස්වලට කඳුළු ආවා කියලා ඉබේටම.
ඔබට දැනෙන හැඟීම ඒ මොහොතට?
සතුට දරාගන්න බැහැ. දර්ශන් තවරාජා කොතැනද මේ ඉන්නේ, කොහොමද ඔහු මෙහෙම ප්‍රේක්ෂක සිත් අතර ආකර්ෂණීය තරුවක් වුණේ කියන පුදුමය තුළ මමම මං ගැන සතුටු වෙනවා. ඒක බොහොම නිහතමානී සතුටක්.
‘මං හොයන්නේ ප්‍රේමයක්’ වෙනුවෙන් තිළිණ බොරරැස්ස ඔබට දුන්නේ මොන වගේ අගයක්ද?
පළමුවෙන්ම තිළිණ බොරරැස්ස අයියට මං ගරු කරනවා, ඒ වගේම ස්තුති කරනවා ඔහුගේ පළමු සිනමා නිර්මාණයට මට ආරාධනා කළාට. ඔහු ගත්තේ තරමක අවදානමක්. මොකද කියනවානම් බොහොමයක් ඩිරෙක්ටර්ස්ලා තමන්ගේ පළමු ෆිල්ම් එක කරනකොට මේන් රෝල් එක දෙන්නේ සිනමා තරුවකට. මම තවම සිනමා තරුවක් නෙවෙයි. ඒක ඔහු මා ගැන තියපු විශ්වාසය. මම ඒක අගය කරනවා. මම අද ඉන්නේ කොතැනද, ඒ ක්‍රෙඩිට් එක ලැබෙන්න ඕනේ තිළිණ බොරලැස්ස කියන නිර්මාණකරුවාටයි.
ඔහු ඔබ ගැන තැබූ විශ්වාසය වෙනුවෙන් ඔබේ මෙහෙවර හරිහැටි ඉටු කළායැයි හිතනවද?
ලැබෙන ප්‍රතිචාර අනුව ඔහු බලාපොරොත්තු වුණු දේ දුන්නා කියන හැඟීම තුළ මම ඉන්නවා.
‘මං හොයන්නේ ප්‍රේමයක්’ වෙනුවෙන් හැම ප්‍රමෝෂන් එකකටම ඔබ සහභාගි වෙන්නෙත් ඒ හැඟීමෙන්ද?
මෙහෙමයි. චිත්‍රපටයක ප්‍රමෝෂන් එකකට සහභාගි වෙන එක අපේ යුතුකමක්. එහෙමත් නැත්නම් ඒක අපේ ඩියුටියේ කොටසක්. මොකද ඇග්‍රිමන්ට් සයින් කළා, ෂූටින් ඉවර වුණා, අපිට ලැබෙන දීමනාව අරගත්තා කියන්නේ ඒක අවසානය නෙවෙයි. කලාකරුවන්ට තව වගකීම් තියෙනවා. ෆිල්ම් එක හෝලවලට ආවාට එහි ජනප්‍රියත්වය වෙනුවෙන් නළු නිළියන් විදියට අපිත් වෙහෙස වෙන්න ඕනේ. ෆිල්ම් එකේ ඇක්ට් කළ කලා ශිල්පීන් හෝල්වලට එනවා කීවම ප්‍රේක්ෂකයෝ ඒ ගැන උනන්දුයි. ඒ නිසා චිත්‍රපටය දින සියයක් දුවන එක ගැන වගකීම ප්‍රඩියුසර්ට ඩිරෙක්ටර්ට අයිති කොටසක් කියන තැන අපිට ඉන්න බැහැ. අන්න ඒ නිසා ෆිල්ම් එකේ සාර්ථකත්වය කියන්නේ අපේ ජොබ් එකේම කොටසක් කියන එක අපි හිතන්න ඕනේ.
‘මං හොයන්නේ ප්‍රේමයක්’ ඔය තරම් හිට් වුණේ සෝනු මන්දාරා නිසාද?
සමහර විට එහෙමත් වෙන්න ඇති. ඒ වගේම මම රොමැන්ටික් කැරැක්ටර්ස් කරනවා දකින්නත් ප්‍රේක්ෂකයෝ මනාපයි කියන කාරණාවත් එතැන තියෙනවා.
ඔබ මුලින්ම කොටු වුණේ රස්තියාදුකාර දුෂ්ටයාගේ චරිතවලට?
ඔව්. මට ලැබුණේ එහෙම චරිත. එතැනටම කොටු වුණා. හැබැයි මට රොමැන්ටික් වෙන්නත් පුළුවන් කියන එක සෝනු මන්දාරා ටෙලියෙන් මං පෙන්නුවා වගේම ප්‍රේක්ෂකයොත් ඒක පිළිගත්තා.
දමිළ හුරුවට ඔබ සිංහල කතාකරන කලාවට ප්‍රේක්ෂකයෝ වඩාත් ආකර්ෂණීයයි කිව්වොත් ඒ අනුමානය හරිද?
හරියටම හරි. මට ඇලුම් කරන බොහොමයක් දෙනා කියනවා ඒ ආට් එක හැමදාම ඔහොමම තියාගන්න කියලා. ඉතින් මමත් ඒ අඩුපාඩුව හදාගන්න උත්සාහ කරන්නේ නැහැ.
මියුසික් වීඩියෝ ගැන දැන් ඔබ උනන්දුවක් නැතිද?
ඇයි නැත්තේ? මං ආසයි අලුත් මියුසික් වීඩියෝ ටිකක් කරන්න. කිහිපයකටම ආරාධනාත් ආවා. ඒත් මට වෙලාව හදාගන්න බැරිකම තමයි තියෙන්නේ. අනික හැම දේම බදාගෙන වැඩ අවුල් කරගන්නවට වැඩිය පුළුන් තරම් හරියට කරන කලාවට තමයි මම වැඩිපුර මනාප.
දර්ශන් ඔබ කොලිවුඩ් තරුවක් අනුකරණය කරනවද?
කොහෙත්ම නැහැ. හැබැයි මම ඔවුන්ට ප්‍රිය කරනවා. ඔවුන්ගෙන් ගතහැකි යමක් තියෙනවා නම් ගන්නවා. විශේෂයෙන්ම නවක තරුවලට වඩා රැජිනිකාන්ත් මට විශේෂයි. මම ඔහුට කැමැතියි. දමිළයන් ඔහුට ආදරය කරන්නේ ඔවුන්ට අවැසි දේ ඔහු නියමෙට දුන්න නිසයි. රැජිනි කියන්නේ අපූරු තරුවක්. ගුණාත්මක තරුවක්.
ප්‍රේක්ෂකයන්ට පැවැසීමට යමක් තියෙනවද?
අපේ ප්‍රේක්ෂකයෝ බොහොම බුද්ධිමත් පිරිසක්. නිර්මාණයක හොඳ නරක ඔවුන් හොඳින් හඳුනනවා. සිංහල සිනමාවට දුෂ්කර කාලයක් පැමිණි වකවානුවේ හෝල් වැහිලා තිබුණු දවස්වල විදේශීය චිත්‍රපට නරඹපු ඔවුන් දැන් දැන් නැවත සිංහල චිත්‍රපටවලට ඇලුම් කරන්න අරගෙන. සිනමා දර්ශන ‘හවුස් ෆුල්’ වෙන්න අරගෙන. ඉතින් කලාකාරයෝ හැටියට අපට ආඩම්බරයි. සතුටුයි. ඒ වගේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට බොහොමත්ම ස්තුතියි.