නවාංජනා කොහොමද මේ දවස්වල වේදිකාවේ වැඩකටයුතු?
මේ දවස්වල වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා. දයානන්ද ගුණවර්ධනගේ ‘නරි බෑනා’ සහ ‘බක්මහ අකුණු’ වේදිකා නාට්‍යවල රඟපානවා. සුජීව ප්‍රියාල්ගේ ‘අදර ගෙදර’, මංගල සේනානායකගේ ‘ගුරු ගීතය’, ජයනාත් බණ්ඩාරගේ ‘ඔතෙලෝ’ වේදිකා නාට්‍ය සමග රට වටා යනවා.
ඔබ මේ දිනවල රඟපාන ‘නරි බෑනා’ ගැන කතා කරමු?
‘නරි බෑනා’ නාට්‍යයේ මම රඟපාන්නේ ගම හාමිනේගේ චරිතය. මුලින්ම නරි බෑනා නාට්‍යයේ මම අවුරුදු තුනක් විතර වැඩ කළේ කෝරස් එකේ. නිල්මිණි කෝට්ටේගොඩ ජනප්‍රිය රංගන ශිල්පිනිය තමයි ගමමහගේ චරිතය රඟපාන්නේ. නිල්මිණි නැන්දා මැදිහත් වෙලා සර් එක්ක කතා කරගෙන මාවත් ගමමහගේ චරිතයට තෝරාගත්තා. නිල්මිණි නැන්දාට නරි බෑනා නාට්‍යයට සම්බන්ධ වෙන්න අපහසු දවසට මම ඒ චරිතය රඟපානවා.
වේදිකාවට ගොඩවෙන්න ඔබට පාර කැපුණේ කොහොමද?
මම මුලින්ම පාසල් ගියේ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලට. ශිෂ්‍යත්වය සමත් වලො මම පාසල් ගියේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට. එදා කුලියාපිටිය පාසලට ගිය මුල්ම දවසේ මගේ නෙත ගැටුණේ පාසල් වේදිකාව. මම පාසලේ කාලෙදි නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. උසස් අධ්‍යාපනයෙන් පස්සේ මම එනවා කැලණිය විශ්වවිද්‍යාලයට. එහිදී මම නාට්‍ය හා රංගන කලාව විශේෂවේදී උපාධිය සම්පූර්ණ කළා. ඒ ඉන්න අතර මට යෞවන නාට්‍ය, රාජ්‍ය නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා. ජයනාත් බණ්ඩාර සර් හරහා තමයි ජයනාත් ගුණවර්ධන සර්ගේ නාට්‍ය කණ්ඩායමට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ ආරම්භය හරහා තමයි ප්‍රසිද්ධ වේදිකා නාට්‍යවල රඟපාන්න අවස්ථාව උදාවුණේ.
ඉතාමත් කෙටි කාලයක් තුළ ඇගයීම් ලැබුණා?
මුලින්ම පාසල් කාලයේදී සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගවලදී වසර තුනක් පිට පිටම හොඳම නිළිය ලෙස සම්මාන ලබාගන්න ලැබුණා. මගේ ආදරණීය පාසල් ගුරුතුමිය වසන්ති පුෂ්පලතා මගේ දක්ෂතාවට ලොකු හයියක් වුණා. 2022 පැවැති රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙසටත්, 2023 කෙටි නාට්‍ය අංශයෙන් හොඳම නිළිය ලෙටසත්, දිගු නාට්‍ය රංගනය හරහා හොඳම නිළිය ලෙසටත් ඇගයීමට ලක්වුණා. 2025 යෞවන නාට්‍ය උළෙලේදී ‘ආරාරෝ’ දිගු නාට්‍යයේ හොඳම නිළියට තේරුණා. මේ ලබපු ජයග්‍රහණ සමග මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. සමහරු කියනවා වේදිකාවට නැග්ගොත් මම සම්මානයක් අරගෙන තමයි බහින්නේ කියලා. ඒ දෙන ජවයත් එක්ක මට මාරම සතුටක් දැනෙන්නේ.
මවුපියන්ගේ සිහිනය තිබ්බේ ඔබ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කරවන්නද?
පාසල් කාලයේදී මගේ අධ්‍යාපන ප්‍රතිඵල හොඳටම තිබුණු නිසා අම්මා නම් කැමැති වුණේ නැහැ. අම්මාගේ තිබ්බ එකම හීනය මම නීතිඥයෙක් වෙනවා දකින්න. හැබැයි තාත්තා මගේ දක්ෂතාව පැත්තෙන් ඉදිරියට යන්න නිදහස දුන්නා. කවදාවත් මට බලපෑම් කළේ නැහැ. පස්සේ අම්මයි තාත්තයි මගේ දක්ෂතාව තේරුම් අරගෙන උපරිම උදව් කළා.
වේදිකා නාට්‍ය රංගනය වෘත්තීය මට්ටමෙන් කරගෙන යන්න පහසුද?
මට ඒකට කෙළින් පිළිතුරක් දෙන්න අපහසුයි. ආර්ථික පැත්තෙන්, වෘත්තියක් විදියට වේදිකාවෙන් යැපෙන්න අපහසුයි මේ කාලේ. වේදිකාවට තියෙන ආදරය නිසාම මම ඒ දේවල් වැඩිය හිතන්නේ නැතුව කලා කටයුතු කරගෙන යනවා. මම පොඩි කාලේ ඉඳලම දැකපු සිහිනය වේදිකාව. මම දැන් විවාහකයි. ඔහුත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධව වැඩ කරගෙන යන නිසා ලොකු සහනයක් ලැබෙනවා. වේදිකාව අතහරින්න තුන්හිතකවත් නැහැ.
හිතන තරම් වේදිකාව සුන්දර නැහැ නේද?
හරිම අමාරුයි. පුදුම කට්ටක් කන්නේ. හැබැයි මට දාරාගැනීමේ ශක්තිය තියෙනවා. ඉදිරියට මොන නිර්මාණවලින් ආරාධනා ලැබුණත් වේදිකාවේ මම පුළුවන් තාක්කාලයක් රඟපානවා. මොන අමාරුකමක් තිබුණත් සියලු දෙනා එකතු වෙලා වැඩ කරනකොට ආදරණීය නිවසක් මට වේදිකාව. වේදිකාවේ රඟපාලා අන්තිම අවස්ථාවෙදි ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන විසිල් පාර මාරම ජවයක්. ඒ වෙලාවට මේ කටුක ජීවිතය නිකම්ම අමතක වෙලා යනවා. රැයක් දවාලක් නැතුව මම වේදිකාවේ කාලය ගතකරනවා.
ටෙලිනාට්‍ය රංගනයට වැඩි කැමැත්තක් නැති පාටයි?
ඇත්තටම තවම ප්‍රේක්ෂකයන්ට දැනෙන්න රඟපාන්න හොඳ අවස්ථාවක් මට ලැබුණේ නැහැ. එක ටෙලිනාට්‍යයක සුළු චරිතයක් රඟපෑවා. හොඳ අවස්ථාවක් ලැබෙනකම් වේදිකා නාට්‍ය සමග වැඩ කරගෙන යනවා. චිත්‍රපට තුනකට විතර සම්බන්ධ වුණා. ඉදිරියේදී ඒ සිනමා නිර්මාණ හරහා මාව දැකබලාගන්න පුළුවන්.
පාසල් කාලයේදී ලබාගත්ත සමහරු සටහන් අද මතක් වෙනකොට මොකද හිතෙන්නේ?
මම පාසල් කාලයේදී ගිරිඋල්ල, පන්නල නගර ශාලාවට එන නාට්‍ය බලනවා. ඩ්‍රාමා එක බලන්න යනකොට සමරු පොතත් අරගෙන තමයි යන්නේ. ඒ නාට්‍යවල රඟපාන ශිල්පීන්ගෙන් මම සමරු සටහනක් ගන්නවා ආසාවට. අදටත් මගේ ළඟ සමරු පොත තියෙනවා. එදා මම සමරු සටහන් ගත්ත ශිල්පීන් ගොඩ දෙනෙක් එක්ක මම අද වේදිකාවේ රඟපානවා. එතකොට මම එයාලට එදා ගත්ත සමරු සටහන් පෙන්වනවා. එයාලටත් පුදුමයි මගේ පොතේ සමරු සටහන් දකිනකොට. හොඳම අවස්ථාවන් කාලයත් එක්ක හරිම විදියට ලැබෙනකොට මාරම සතුටක් දැනෙන්නේ.
වසන්ත විතාරණගේ