ශලනි අක්කා සම්පූර්ණයෙන්ම මාව සචිනි වෙනුවෙන්ම හැඩගැස්සුවා - තත්සරණි පියුමිකා

gossiplanka image 1
 



තත්සරණි පියුමිකා කියන්නේ ටෙලි තිරයට පය තියපු සුන්දරම නිළි කෙල්ලක්. තත්සරණි මුලින්ම රංගනයට එන්නේ ටෙලි තිරය තුළ තමාගේ රුව දැකීමේ බොළඳ ආශාව තුළයි. වැඩිපුර හීන හෝ ඉලක්ක නැති ඒ අහිංසක ආශාව ඉටු වුණාට පස්සේ ඇගේ හිතට විවිධ චරිත නිරූපණයන් ගැන ලොකු පිපාසයක් දැනෙන්න ගන්නවා. ‘අසන්ධිමිත’හි සචිනිගේ චරිතය ඈ හමුවට එන්නේ ඒ පිපාසය වෙනුවෙන් රසම රස දිය දෝතක් අරගෙනයි. ඇත්තෙන්ම අසන්ධිමිත ටෙලියේ සචිනි ඒ තරමට ආලින්දයේ සිනමාව වටා පෙළගැසෙන ප්‍රේක්ෂක සිත් කුල්මත් කොට හමාරයි. ‘තත්සරණි මොනවද සචිනි ගැන හිතන්නේ…’ අපිට හිතුණා සචිනිගේ චරිතය ගැන තත්සරණි එක්ක ටිකක් කතා කරන්න. මේ සූදානම ඒ කතාබහට ප්‍රවිෂ්ට වෙන්නයි.


කොහොමද තත්සරණි මේ දවස්වල තොරතුරු?

හැමදාමත් මගේ කලා කටයුතු අතර කාලය ගෙවෙනවා. බොහෝ දුරට කාර්යබහුලයි කිව්වොත් ඒක තමයි හරියටම හරියන උත්තරේ.

විකාශය වන ටෙලි කිහිපය අතරට අලුත් ටෙලි කිහිපයකටත් ආරාධනා ලැබිලයි කියලා ආරංචියි?

ඔව්. ටෙලි ඩ්‍රාමා 3ක් විකාශය වෙනවා. ඒ අතර අලුත් ටෙලි කිහිපයකටත් ආරාධනා ලැබිලයි තියෙන්නේ.

අලුත් ටෙලි ඩ්‍රාමා කිහිපය ගැන කතා කරමුද ටිකක්?

තවමත් ඒවායේ රූගත කිරීම්වත් ආරම්භ වෙලා නැහැ. වෙනස්ම තාලේ ටෙලි නිර්මාණ කිහිපයක් කියලා විතරක් කියන්න පුළුවන්.

අපි යමු තත්සරණි අසන්ධිමිත ගැන කතාවට?

හැමෝම කතා කරන්නේ ‘අසන්ධිමිත’ ගැන තමයි.

සචිනිගේ චරිතෙට ආරාධනාව ආවේ ශලනි තාරකාගෙන්?

මුලින්ම මෙතැනදි ශලනි අක්කට ස්තුතිවන්ත වෙනවා සචිනිගේ චරිතයට මට ආරාධනා කළාට.

මෙතෙක් රඟපෑ චරිත අතරට වෙනස්ම චරිතයක් තත්සරණිට ලැබුණා?

ශලනි අක්කා චරිතයට ආරාධනා කරනකොටම පළමුවෙන්ම කිව්වේ ඒකයි. ඈ මට කිව්වා නංගි මේක වෙනස්ම චරිතයක්, ලොකු අභියෝගයක්, භාරගන්නවා නම් සචිනිගේ චරිතය ඔයාගේ රංගන ජීවිතයටත් ඒක ලොකු වෙනසක් වේවි කියලා. අනෙක මම කළේම මෙගා ටෙලිනාට්‍යනේ. සති අන්තයට විකාශය වන කොටස් ගණන පවා සීමා වූ මේ කලාත්මක ටෙලි කතාවේ මට ඇත්තටම රඟපාන්න ආසා හිතුණා.

ශලනි සුවිශේෂ සහයෝගයක් හැම මොහොතකම ඔබට දුන්නා?

ශලනි අක්කා සම්පූර්ණයෙන්ම මාව සචිනි වෙනුවෙන්ම හැදුවා. මගේ ඇඳුම පැලඳුම, හෙයා ස්ටයිල් එක, මේක්-අප් එක, කතාබහ, බැල්ම, හැසිරීම් ඒ හැම දේ ගැනම ඈ මාව හැඩගැස්සුවා. මාව වෙනස් කළා. සෙට් එකේදි පවා ලොකු අත්වැලක් වුණා. ශලනි අක්කා වගේම ගයාන් අයියත් මට ඒ හා සමානම සහායක් දුන්නා සචිනිගේ චරිතය ගොඩනගා ගන්න. ඒ හැමෝටම ස්තුති කරනවා.




සචිනිගේ චරිතයට අවැසි සාධාරණය ඔබ අතින් ඉටු වුණාද?

මම හරි සාර්ථකයි කිලා මට කියන්න බැහැනේ. ඒක තීරණය කරන්න ඕනේ ප්‍රේක්ෂකයෝ. ඒ වගේ මම භාරගත් චරිතය මොකක්ද, එයට උපරිම සාධාරණය කරන්න මම හැකි පමණ උත්සාහ කරනවා. ඒ නිසා මම හිතනවා සචිනිව මම අපූරුවට මෙහෙයවූවා කියලා.

අධ්‍යක්ෂ ශාන් ජයරත්න සහ ශලනි තාරකා ඔබට දුන්නේ මොන වගේ අගයක්ද?

හැම දර්ශන වාරයක් අවසානෙම මම ඔවුන් හැමෝගෙන්ම අහනවා කොහොමද ඒ සීන් එක තව මොනවද වෙන්න ඕනේ, හදාගන්න තියෙන අඩුපාඩු මොනවද කියලා.

මොනවද ඔවුන් කිව්වේ? ‘ෂා… තත්තසරණි ඒක නම් නියමයි’ කියලා කිව්වද?

අන්න එවැනි හරිම අපූරු අගයක් ඔවුන් හැමෝම මට දුන්නා. ඇත්තටම ලොකු සතුටක් මටත් ඒ වෙලාවේ දැනුණා.

සෝෂල් මීඩියාවල ‘අසන්ධිමිත’ නිසා ඔබ ගැන ලොකු ජනප්‍රියත්වයක් ඇතිවෙලා?

කනගාටුයි කියන්න. මම ඒ ගැන මොනවත්ම දන්නේ නැහැ. මොකද කියනවා නම් මම සෝෂල් මීඩියා යූස් කරන්නේ නැහැ.

ඒකට හේතුව? සෝෂල් මීඩියා විකාරයක් කියන හැඟීම තුළද ඔබ ඉන්නේ?

නැහැ. මම එහෙම හිතන්නේ නැහැ. ඒ ගැන අකැමැත්තකුත් නැහැ. හැබැයි මම සෝෂල් මීඩියාවල නැහැ. ඒකට ඇබ්බැහි වෙලා නැහැ. හේතුවකුත් නැහැ ඒකට.

ප්‍රේක්ෂකයෝ ඔබට දෙන කමෙන්ට්ස් ගැන තොරතුරු දැනගන්නේ කොහොමද එතකොට?

මට ඒ ගැන ආරංචි වෙනවා. දකින අය මා එක්ක විස්තර කියනවා.

ඇතැම් ප්‍රේක්ෂකයන් ඔබ සචිනිගේ චරිතයට ප්‍රවිෂ්ට වීම ගැන අමනාපෙන්ලු?

මටත් ඒක ආරංචියි. ඒ ඉතින් ඔවුන් මට දක්වන ළෙන්ගතුකම නිසා ඇතිවෙන හැඟීම් තමයි. හැබැයි මෙතෙක් කළ චරිත ගැන බලන විට මම සචිනිගේ චරිතය ප්‍රතික්ෂේප නොකිරීම ගැන සතුටු වෙන ප්‍රේක්ෂකයන් පිරිසක්ද ඉන්නවා. ඔවුන්ගේ අදහස වුණේ චරිතාංග නිළියක ලෙස රංගනයට මැදි වෙනවා නම් කළු-සුදු හෝ හොඳ-නරක යනුවෙන් චරිත වෙන් කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න බැහැ කියලයි.

චරිතාංග නිළියක් වුණාට ඕනෑම චරිතයක් භාරගත යුතුයි කියා ඔබ හිතනවද?

මෙහෙමයි. යම් සීමාවන් සහ ප්‍රතිපත්ති මා වටාද මා වෙනුවෙන් මම ඇති කරගෙන තියෙනවා. ඒත් හැමදාමත් ප්‍රේමවන්තියගේ හෝ ශාන්තුවරියගේ චරිත පමණක් භාරගත යුතුයි කියන නියමය එතැන නැහැ.

‘අසන්ධිමිත’ට පසු තව තව වෙනස් චරිත ඔබට ලැබෙන්න ගනීවි?

ඔව්. දැනටමත් ලැබෙමින් තියෙනවා. මම ආසයි ඒ වෙනසට. මට දැන් විවිධ චරිත රඟපෑම ගැන පිපාසයක් ඇතිවෙමින් තිබෙනවා.

තව මොනවද අලුත් බලාපොරොත්තු සහ හීන?

ප්‍රවීණයන් සමග රඟපාන්න, ප්‍රවීණ නිර්මාණකරුවන් යටතේ අධ්‍යක්ෂණය වෙන්න ආසාවෙන් බලා ඉන්නවා.

සිනමා පටයක රඟන හීනයක් එතැන නැද්ද තත්සරණි?

මම සිනමාවට ප්‍රවිෂ්ට වී අවසන්. නව මුහුණුවරකින් නිර්මාණය වෙන ‘රාස්’ චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතයක නියැළෙනවා. තවම එහි වැඩ නිමාවී නැහැ. සියල්ල එකලස් වූ පසු ‘රාස්’ තිරගත වේවි.

ප්‍රේක්ෂකයන්ට කියන්නට යමක් තියෙනවද?

‘අසන්ධිමිත’ සමග දිගටම රැඳෙන්න… අවසානය කවුරුත් හිතනවට වඩා වෙනස් වේවි. ඒ වගේම ඔවුන් මට දක්වන ළෙන්ගතුකම වෙනුවෙන් මමත් එයාලට ළෙන්ගතුයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post