මේ දිනවල සුදාරා හරි කාර්යබහුල වෙලා නේද?
ඔව්. මේ දවස්වල ටෙලිනාට්‍ය හතරක වැඩ කරගෙන යනවා. ඉන්දික ධර්මතිලකගේ ‘ආලේ’, ජී. නන්දසේනගේ ‘බෝඩිං ගෙදර’ සහ ඉරේෂ් ලොකුබණ්ඩාරගේ ටෙලිනාට්‍යයකත් රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා ගල්ගමුව ප්‍රදේශයේ. ඊට අමතරව ‘මානාවාරි’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් තන්තිරිමලේ සිදුවෙනවා. ඔය වැඩකටයුතු සහ මගේ සැලෝන් එකේ වැඩකටයුතුත් කරගෙන යනවා.
කොහොමද සැලෝන් එකේ වැඩකටයුතු සමග කලා කටයුතු කරගෙන යන්නේ සුදාරා?
මම එක්ක සැලෝන් එකේ වැඩ කරගන්න හුරුවුණු පිරිසක් ඉන්නවා. ඒ අය කලින් දින වෙන්කරගෙන තමයි ඒ වැඩකටයුතු කරගන්නේ. වෙඩින් වැඩකටයුතු පවා කලින් දින දීලා වෙන්කර ගන්න නිසා මට ලොකු පහසුවක් තියෙනවා. ඒ දවස්වලට මම කොහොමත් කලා කටයුතු භාර ගන්නේ නැහැ. ටෙලිනාට්‍යයක කලින් දින මට භාර දුන්නොත් වෙඩින් වැඩ මම භාරගන්නේ නැහැ. දෙපැත්තටම මාව ඕනේ නිසා කවුරුවත් අපහසුතාවට පත්නොවෙන විදියට වැඩ කරගෙන යනවා.
සුදාරා හිටිගමන් එනවා. හිටිගමන් නිර්මාණවල දකින්න නැහැ?
අවුරුදු හතරක් විතර මම කලා කටයුතු කළේ නැහැ. පුතා ලැබෙන්න හිටිය නිසා. දැන් පුතාට අවුරුදු 11 විතර වෙනවා. අවුරුදු දෙකක ඉඳලා දැන් කලා කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන නිසා දකින හැමෝම අහනවා සුදාරා දැන් පීක් එකේ වැඩ කරගෙන යනවා නේද කියලා. දැන් ඉතින් මට දිගටම කලා කටයුතු කරගෙන යන්න පුළුවන්.
මේ දවස්වල ලේලියගෙන් හරිම කරදරයි නේද?
ලේලිගෙන් කරදර තියෙනවා. ඉස්සරහට තවත් කරදර වැඩි වෙන්නත් පුළුවන්. තවම හිතාගන්න බැහැ ඉස්සරහට මොන විදියට මේ ප්‍රශ්නය විසඳෙයිද කියලා. මම අහම්බෙන් තමයි ‘ආලේ’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ. මම මෙයට පෙර සිමෙත්ගේ ‘රජ ගෙදර’ ටෙලිනාට්‍යයේ වැඩ කළා. සිමෙත්මයි ආලේ ලියන්නේ. ඉන්දික සමග මම සමන්මලී ටෙලිනාට්‍යයේ රඟපෑවා. ඉතින් මේ හැමෝම සමග මම වැඩ කරපු නිසා චරිතය ගැන මම ලොකුවට කතා කරන්න ගියේ නැහැ. ආලේට මැදින් එකතු වුණත් මේ දවස්වල හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ආලේ ටෙලිනාට්‍යයේ මගේ චරිතය හරහා මට එක පාරට ලොකු වෙනසක් දැනුණා, රාමුවකට කොටු නොවී.
වෙනස්ම රඟපෑමක් ‘බෝඩිම් ගෙදර’ තුළින් දකිනවා?
ජී. නන්දසේනගේ ‘හිතුවක්කාරි’ ටෙලිනාට්‍යයේ මම රඟපෑවා මීට අවුරුදු 4කට විතර කලින්. ඊට පස්සේ මට නැවත නිර්මාණයකට කතා කළා. මට ඊට සම්බන්ධ වෙන්න බැරි වුණා. ‘බෝඩිම් ගෙදර’ට මට නැවත කතා කළා අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න කියලා. මම හිතනවා ඉදිරියේදී ‘බෝඩිම් ගෙදර’ ටෙලිනාට්‍යයෙත් අපේ චරිත වෙනස්ම විදියට ගලාගෙන යයි කියලා. ඉතින් සතුටුයි කිසිම රාමුවකට කොටු නොවී වෙනස්ම චරිත මට කරන්න ලැබෙන එක ගැන. එතකොට මට වුණත් ලොකු වෙනසක් ආශාවක් දැනෙනවා අපේ සැඟවුණු දක්ෂතා මේ විදියට විවිධ චරිත හරහා මාරු වෙමින් ප්‍රේක්ෂකයන් අතරට යනකොට. එතකොට මගතොටදි වුණත් ඔවුන්ගේ ආදරය තව තවත් වැඩි වැඩියෙන් ලැබෙනකොට මාරම සතුටුයි.
ක්ෂේත්‍රයේ අය සමග වැඩ කරනකොට දිගුකාලීන සම්බන්ධතාවන් තිබීම වැදගත් නේද?
මම විශේෂයෙන් එහෙම වැඩ කරලා ආවට පස්සේ ආයේ කාටවත් කතා කරන්නේ නැහැ. මම එහෙම කිසිම කෙනකුට කරදරයක් වෙන්න කැමැති නැහැ. සමහර වැඩ කරපු අය මට කියනවා සුදාරා ඔහොම බැහැ, සම්බන්ධතාව තියෙනකොට අපි වැඩක් කරනකොට මතක් වෙන්නේ එතකොටයි කියලා කතාබහ කරන්න කියනවා. මට එහෙම අමතක වෙන්න පුළුවන්. කිසිම තැනක වාතයක් නොවී මම ඉන්න කෙනෙක්. මට සතුටුයි මගේ නමත් රැකගෙන හිතවත්කම් ඒ විදියට ගානකට තියාගෙන මම අද ඉන්න තැන ගැන. මම එළියට බැස්සාම ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන චරිත කරලා තියෙන එක ගැන. අපිව දැකලා පිළිකුල් නොවන විදියට ආදර ගෞරවයෙන් කතාබහ කරන එක මාරම සතුටක්.
සුදාරාට සෙට් එක තුළදි හොඳ පිළිගැනීමක් තියෙන බව ආරංචියි?
දෙවියන්ගේ පිහිටෙන් මම කලින් කියපු විදියට ගොඩ දෙනෙක්ට දැනෙන්න කරන්න මට හොඳ චරිත ලැබුණා. සුදාරාට ඕනෑම චරිතයක් දුන්නොත් ආයේ වෙඩි වගේ කරනවා කියලා කාර්මික ශිල්පීන්ගෙන් පවා මාරම පිළිගැනීමක් මට තියෙනවා. ‘බෝඩිම් ගෙදර’ මේ දවස්වල මම රඟපානවා. යුනිට් එකේ ශිල්පීන් දර්ශනය ඉවර වුණාම අත්පුඩි පවා ගැහුවා. පස්සේ රෙකෝඩින් මල්ලි, බූම් වැඩ කරන මල්ලි මා ළඟට ඇවිල්ලා කිව්වා සත්තකින්ම ටෙලිනාට්‍ය එපාවෙලා හිටියේ කියලා. එහෙම ඉන්න අවස්ථාවක අක්කලා වගේ සුපිරි බුලට් ඉන්න කොට වැඩ කරන්න ආශාවක් එනවා කියලා. අපිට හොඳ උත්තේජනයක් දුන්නා. ඒකට ගොඩක් ස්තුතියි කියලා. මට ඒ ලැබෙන වචන සල්ලිවලට ගන්න බැහැ. අපි වැඩ කරලා ගෙදර යනවා. ඒත් මේ කාර්මික ශිල්පීන් ගොඩක් නිර්මාණ සමග, ගොඩක් ශිල්පීන් සමග වැඩකරන අය. ඔවුන්ට හොඳ දැනුමක් තියෙන අය. එකම ජාතියේ රාමු දැකලා හෙම්බත් වෙලා. ඒ වගේ අවස්ථාවක අපි ගිහින් වැඩ කරනකොට ලොකු වෙනසක් දැනෙනවා ඇති ඔවුන්ට.
විශාරද නන්දා මාලිනී ඔබේ ජීවිතයේ සුවිශේෂ කතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්?
මගේ සංගීත ජීවිතයේ මුල්ම ගුරුවරිය එතුමිය. විශාරදවරියක් ලෙසට මම අධ්‍යාපන කටයුතු අවසන් කරලා මේ වනවිට මම කියපු සින්දු දෙකක් කරලා අවසන්. මම පාසලේදී හැදෑරුවේ උඩරට නැටුම්. මගේ මහත්තයාගේ කීමට මාව මිස්ගේ පන්තියට භාරදෙනවා 2004. සුනාමියට සම්බන්ධ කරගෙන ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු ටෙලිනාට්‍යයක් කළා. ඔය කාලේ තමයි ඒ ටෙලිනාට්‍යය විකාශය වෙන්නේ. පස්සේ මම මිස්ව දැනුවත් කළා. ටෙලිනාට්‍ය බලන්න කියලා. මිස් මට කිව්වේ අනිවාර්යයෙන් පුතා මම ඒක බලනවා කියලා. ඒත් මම හිතුවේ නැහැ මිස් බලයි කියලා. මම පන්තියට එනකම් මිස් වාඩිවෙලා ඉන්නවා. මාව දැක්ක ගමන් කිව්වා පුතේ මම උඹ එනකම් තමයි බලන් හිටියේ කියලා. මිස් මට එවෙලේ කිව්වේ පුතේ මට මාර සතුටක් තියෙන්නේ ඊයේ රඟපාපු උඹමද මේ ඉන්නේ කියලා. උඹ ගොඩක් දක්ෂ දරුවෙක්, උඹ කවදා හරි ලංකාවේ ස්වර්ණා මල්ලවආරච්චි, චාන්දනී සෙනෙවිරත්න, ජයනි සේනානායක, අනෝජා වීරසිංහ වගේ වෙනවා කියලා. ඔය කියපු නම් අතරේ මගේ පුතාත් යම් දවසක මේ කලා ලෝකයේ ලකුණක් තියනවා මගේ පුතේ. මම අද කිව්වා කියලා මතක තියාගනින්. කවදාවත් මගේ පුතාට වරදින්නෙ නෑ…, උඹ ඒ තරම් දක්ෂ දරුවෙක්.. කියලා මගේ නළල ඉඹලා එතුමිය මට ආශීර්වාද කළා.
‘පෙරදා මහ රෑ’ ගීතය විශාරද නන්දා මාලිනියට අහන්න ලැබුණද?
මිස්ගේ සින්දුවලට මම මාරම ආසයි. මම කවර් සෝන්ග් එකක් විදියට මිස්ගේ පෙරදා මහ රෑ ගීතය තෝරාගත්තා. එතුමියට අහන්න මම දෙන්න හිටියේ. ඒ වෙනකොටත් මම ඒ ගීතය කරලා තියාගෙන හිටියේ. මාරම දුකයි මට ඒ සින්දුව මිස්ට අහන්න දෙන්න බැරි වුණ එක ගැන. මිස් මාව දැක්කේ රංගන ශිල්පිනියක් විදියට. මිස්ට උපහාරයක් විදියට මම මේ සින්දුව කළා කියලා මට ඒක දීගන්න බැරිවුණා එක ගැන මාරම දුකක් තියෙන්නේ. හැබැයි මම ඒ සින්දුව ළඟදිම මගේ යූටියුබ් චැනල් එකේ දානවා. එතුමියට උපහාරයක් විදියට. මගේ අනෙකුත් වැඩකටයුතු නිසා මට මිස් වෙනුවෙන් මේ වගේ දෙයක් කරලත් දෙන්න බැරි වුණා. ඒක ගැන අදටත් හිතනවා. මොකද මම මිස්ගේ සින්දුවල බර වචනවලට පුදුම ඇල්මක් දක්වනවා. එදා මිස් මට ඒ කියපු අනාවැකි අදටත් වටිනවා. මිස්ගේ උණුසුම, සුළඟ, ස්පර්ශය මට ලැබුණා. එතුමිය අපෙන් සමුගත්තත් ඇය අපේ හදවත්වල හැමදාම ඉන්නවා.
ඔබේ ආදරණීය මව ප්‍රේමා බන්දුල චිත්‍රා රංගන ශිල්පිනියක්. ඇය අද ඔබේ ගමන දකින්න හිටියා නම්?
මගේ මාමලා තමයි ඒ ගමන අම්මගේ සිහිනයට ඉඩ දීලා නැත්තේ. අද කාලේ වගේ නෙවෙයිනේ ඒ කාලේ. රොඩී ගම චිත්‍රපටයේ අම්මා රඟපාලා තියෙනවා. අම්මාව ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන කියලා ඒ කාලේ ටෙලිග්‍රෑම් ඇවිල්ලා තියෙනවා. ඒ කිසිවක් අම්මට දීලා නැහැ. ඔය වගේ දේවල් මට අම්මා කිව්වා. අම්මගේ ඒ හීනය එතැනින්ම නතර වෙලා. අම්මගේ ඒ ආභාෂයත් මට ලැබෙන්න ඇති. අම්මා ගොඩක් සතුටක් ලැබුවා මම මේ ක්ෂේත්‍රයට ආපු එක ගැන.
සුදාරාගේ අතීතයේ මතකයන් අවදි කළොත්?
මගේ ගම කුලියාපිටිය. මුතුහර වැඩසටහනේ ළමා ශිල්පිනියක් විදියට සම්බන්ධ වෙලා හිටියා. ඒ කාලේ රූපවාහිනී නැහැ අපේ ගම්වල. මගේ සීයා තමයි මුලින්ම මගේ ගමට රූපවාහිනියක් ගෙනාවේ. ඒ කාලේ ඉතින් රූපවාහිනිය බලන්න තිබුණේ බැටරිවලින්. මාව මුතුහර එකේ බලන්න එදාට මුළු ගමම අපේ ගෙදර. ජනදාස එම්. ගමගේ හරහා තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ. වසන්ත කුමාරසිරි හරහා තමයි මම ටෙලිනාට්‍ය රංගනයට දායක වෙන්නේ. ‘ඉසුරු භවන’, ‘ඉසුරු යෝගය’ ‘එකට ගැටුම’ වගේ සෑහෙන ටෙලිනාට්‍ය ප්‍රමාණයකට මම සම්බන්ධ වුණා. ඒ වගේම තමයි මවක් වගේ මාව රැකබලාගෙන මට ශක්තියක් වුණා කුසුම් පෙරේරා. ඒ වගේම මගේ මහත්තයාගේ ලොකු අම්මලා අදටත් මට මාරම සහායක් දෙන්නේ මගේ කලා කටයුතු කරගෙන යන්න. මම හෙමින් ගමනක් ආවා. කෙටි මාර්ග හරහා යන්න මට ඕනේ තරම් යෝජනා ආවා. කිසිම තැනක මම පාර වරද්දා ගත්තේ නැහැ. මම මාවම විශ්වාස කරගෙන අදටත් මේ ගමන යන්නේ. හරියටම කිව්වොත් මම නිදිකුම්බා ගහක්. රිදෙන තැන්වලදි පාගන තැන්වලදි සුළු මොහොතකට හරි මම අඬනවා. මට මාව සමාන කරන්න පුළුවන් නිදිකුම්බා ගහට.
වසන්ත විතාරණගේ