මේ සම්මානය දශක 06ක් මා සමඟ වැඩ කළ හැමෝටම ගෞරවයක් - නීටා ප්‍රනාන්දු

gossiplanka image 1
 


පසුගියදා අවසන් වුණු 37 වැනි ප්‍රයිම් සරසවිය සම්මාන උළෙලේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණ තිසර සම්මානයෙන් පිදුම් ලැබූ රූපණවේදිනියක වූයේ ප්‍රවීණ රූපණවේදිනී නීටා ප්‍රනාන්දුය. පුරා දශක හයකට වැඩි ප්‍රමාණයක් ඇය මෙරට සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ අප්‍රමාණ කැපකිරීම් අගයනු වස් ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන මෙම සරසවිය රණ තිසර සම්මානය පිරිනමන ලදී.


“කලාකරුවෙකුගේ ජීවිතයේ මෙතෙක් ආපු ගමනට ලැබෙන ගෞරවනීය ආදරයක් විදිහට මට මේ සම්මානය හඳුන්වන්න පුළුවන්.”


නීටා අපේ කතාබහට එක්කාසු වෙමින් පැවසූයේ එවැනි කතාවක්. සිය ජීවන ගමන් මගේ දශක ගණනාවක් පසු කරමින් පැමිණියා සේම ඉතාම ළාබාල අවධියකදී එනම් වයස අවුරුදු දාහතේදී සිනමාව නම් අසිරිමත් මාධ්‍යයේ පහස ලත් ඈ එදා මෙදා තුර සිය සිනමා ගමන් මඟ තුළ විවිධ සන්ධිස්ථාන පසුකරමින් පැමිණි ගමන සැබැවින්ම මල් අතුල මාවතක් නම් නොවූවාය. අභියෝග දුෂ්කරතා අපහසුතා මධ්‍යයේ වුවද ඈ සිනමාව අත් නොහරිමින් ම මේ මොහොතේ අද දක්වාම සිය දායකත්වය සිනමාව වෙනුවෙන් ලබා දෙමින් සිටින්නීය. එවන් කැපකිරීම් කළ සහ තවදුරටත් කරමින් සිටින සිනමාවේ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනියකට ලැබුණු මෙම බුහුමන වඩ වඩාත් අර්ථවත් වන්නේ එහෙයිනි.


නීටා ප්‍රනාන්දු මෙරට ජන්ම ලාභය ලබනුයේ 1947 සැප්තැම්බර් මස පස්වැනිදාවක මීගමුව ප්‍රදේශයේදීය. මෙරට බොහෝ කලාකරුවන්ට ජන්ම භූමියක් වූ මීගමුවේදී ඇය උපත ලබන්නේ දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලක සාමාජිකාවක් ලෙසිනි. පවු‍ලේ වැඩිමල් දරුවා ලෙසින් උපදින ඈ අධ්‍යාපනය ලබනුයේ වෙන්නපුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි. කුඩා කල පටන්ම කලාව කෙරෙහි උනන්දුවක් නීටා තුළ වුවද ඇයගේ මව නීටා කලාවට යොමු වුණු දැකීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් නීටාගේ පියා තම දියණිය කලාවට යොමුවනු දැකීමට කැමති වූයේය.


නීටා සිනමාවට සම්ප්‍රාප්ත වනුයේ හැටේ දශකයේ මැද භාගයේදීය. ඈ රඟපෑ චිත්‍රපටයක් මුලින්ම තිරගත වුයේ 1965 දී ය. ඒ “ළඳක මහිම” චිත්‍රපටය ය. එතැන් සිට ඈ දිගින් දිගටම සිනමාවට සිය දායකත්වය සැපයූවාය. ගීතා, රන් ඔන්චිල්ලා, කේසර සිංහයෝ, බිඳුණුු හදවත්, සමනල කුමරියෝ, සුජීවා, මාතර ආච්චි, සුනේත්‍රා, හදවත් නැත්තෝ, ශාන්ති, දුප්පතාගේ හිතවතා වැනි චිත්‍රපට ඇගේ මුල්කාලීන නිර්මාණ අතර විය.


ඇගේ අතීත දිවියේ සිනමා සැමරුම් පිළිබඳ මතකය ආවර්ජනය කරමින් සිය සිනමා ගමන් මඟට මහත් වූ ශක්තියක් වූවන් පිළිබඳව ඇය සැමරුවේ කෘතවේදීත්වයකිනි.


“මම සිනමාවට ඇවිත් දශක හයක් ගතවුණා. මේ කාලය ඇතුළත මේ තත්ත්වයට මාව ගේන්න බොහෝ පිරිසක් දායක වුණා. ඒ අතර මාව සිනමා නිර්මාණ සඳහා තෝරාගත් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් මාත් සමඟ එක්ව රඟපාපු නළු නිළියන්, චිත්‍රපට සඳහා දායක වුණු සියලුම කාර්මික ශිල්පීන්, කැමරාකරුවන්, වේශ නිරූපණ ශිල්පීන්, කොණ්ඩා නිර්මාණ ශිල්පීන් මෙකී නොකී සියලුම දෙනා නිසා තමයි මම කියන රංගන ශිල්පිනිය අද මෙතන ඉන්නේ. ඉතින් ඒ සියලු දෙනාටම මගේ නොවක් ගෞරවය මේ මොහොතේ මම පුද කරන්න අවශ්‍යයි.”


නීටාගේ සිනමා ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසින් 1974 දී තිරයට පැමිණි “ළසඳා” චිත්‍රපටිය සැලකිය හැකිය. එසේම 1976 තිරයට පැමිණි “වාසනා” චිත්‍රපටයද 1976 තිරයට පැමිණි ‘දුහුළු මලක්’ චිත්‍රපටයද මේ අතරට වැටේ. ‘දුහුළු මලක් ‘ චිත්‍රපටය තිරගත වූ කාලයේ නීටා මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ගේ නොමඳ අවධානය දිනා ගත්තාය. අසම්මත ප්‍රේමයක පැටලෙන විවාහක ගැහැනියක ලෙසින් ඇය එහි ඉදිරිපත් කළ රංගනය බොහෝ දෙනාගේ කතාබහට ලක් වූවක් විය. ඉන් පසු ආශා, හාරත හතර, හරියට හරි, ඔන්න මාමේ කෙල්ල පැනපි, දෙවියන්ගේ තීන්දුව, මංගලා, සූරියකාන්ත, හිතුවක්කාරයෝ වැනි නිර්මාණ රැසකට ඇය දායක වූවාය. මේ අතරතුර ඇය සිය ජීවන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 1975 දී විවාහ දිවියට එළඹුණාය. ඇගේ අතගත් සහකරු වූයේ වෘත්තීයෙන් නීතිඥවරයකු වූ ඊලියන් පෙරේරාය. විවාහයෙන් පසුව සිය ස්වාමි පුරුෂයාද සමඟ සිනමාවට සමු දී කැනඩාව බලා පිටත්ව ගියාය. නීටාගේ සිනමා ගමන් මගේ එක් පරිච්ඡේදයක් එසේ සමාප්ත වූ අතර ඇය කැනඩාවට ගොස් මොන්ට්‍රියෙල් රෝහලේ පිළිගැනීම් නිලධාරිනියක වශයෙන් රැකියාවක නියුතු වූවාය.


විවාහයෙන් පස්සෙත් මම චිත්‍රපට කිහිපයකටම දායක වුණා. මගේ සැමියා කවදාවත් මම රඟපානවාට විරුද්ධ වුණේ නෑ. ඔහු හැම මොහොතෙම කිව්වේ කරන දේ හරියට කරන්න කියලා. ඔහුගේ රැකියාව නිසා තමයි අපි කැනඩාවට පදිංචියට ගියේ. ඒ යනකොටත් ඔහු කිව්වා කවද හරි දවසක නැවත සිනමාවට එවනවා කියලා. ඒ කිව්වා වගේම ඔහු නැවත මාව සිනමාවට එව්වේ චිත්‍රපට නිෂ්පාදිකාවක් විදියට. සූරියකාන්ත සහ පවුරු වළලු නිෂ්පාදනය කරමින්.


නීටාගේ ජීවිතයේ වාසනාවන්තම කාල පරිච්ඡේදය එළැඹෙනුයේ ඉන් පසුවය. පවුරු වළලු චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සහ එහි රඟපාමින් නීටා අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වනුයේ ඉන් පසුවය. 1998 දී සිංගප්පූරු අන්තර්ජාතික චිත්‍රපට උලෙළින් හොඳම නිළිය සම්මානය ඇය දිනා ගන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පවුරු වළලු ‘ චිත්‍රපටයේ ‘වයලට්ගේ’ චරිතය නිරූපණය කිරීම උදෙසාය.


“මගේ රංගන ජීවිතයේ මේ රටේ හිටපු ඉහළම ගණයේ රංගන ශිල්පීන් සමග රංගනයේ යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. ජෝ අබේවික්‍රම, අශෝක පොන්නම්පෙරුම, ටෝනි රණසිංහ, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙණිය ඇතුළු පිරිසත් ඒ අතර ඉන්නවා. අපි අතර කවදාවත් ආරවුලක් හිත් නොහොඳකමක් ඇතිවෙලා නෑ. අපේ පෙර පරම්පරාව වගේම අපට සමගාමී පරම්පරාවත් ඊළඟට අපෙන් පසු පරම්පරාවේ නළුවන් සමඟත් කටයුතු කිරීමේ වාසනාව මට ලැබුණා. මේ දිනවල තිරගත වන අලුත්ම චිත්‍රපටය වන ඨඪඨචතධ චිත්‍රපටයේ මම රඟපාන්නේ සිනමාවට අළුතින්ම පැමිණි තරුණ නළුවෙක් සමඟ. ඔහුගේ නම රැන්ඩි. ඒ වගේම තමයි ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට දෙකකම නවක නළු නිළියන් සමග වැඩ කිරීමේ අවස්ථාව ලැබුණා. චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කළ මාගම් සෝලිය චිත්‍රපටය සහ ‘රිදී දෝලි‘ චිත්‍රපට දෙක ඉදිරියේදී ප්‍රදර්ශනයට නියමිතයි. ‘රිදී දෝලි’ චිත්‍රපටයේදී මට සූර්යා දයාරුවන් සහ ශ්‍යාම් ප්‍රනාන්දු මුණ ගැහෙනවා. වෛද්‍ය කපිල සූරියාරච්චිගේ නවතම චිත්‍රපටය වන අග්නිත චිත්‍රපටයේත් පසුගිය කාලයේ මම රඟපෑවා.


නීටාගේ සිනමා ගමන් මඟ සම්මානවලින් වර්ණවත් වනුයේ ඇගේ නිහඬතාවයෙන් පසු පැමිණි ගමන් මඟේ දීය. ‘පවුරු වළලු’ චිත්‍රපටය සඳහා සම්මානනීය වූවා සේම ඉන් පසු ඇය රංගන දායකත්වය සැපයූ විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ ‘පාංශු ‘ චිත්‍රපටයෙන් ද ලාංකේය සිනමාවට අන්තර්ජාතික සම්මාන රැගෙන දුන්නීය. ප්‍රංශයේ දඪජඥ අන්තර්ජාතික සිනමා උලෙළේදී ඇයට හොඳම නිළිය සම්මානය හිමිවූයේද එම චිත්‍රපටය වෙනුවෙනි එසේම එම වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළිය සම්මානය ද ‘පාංශු’ වෙනුවෙන් ඇය දිනා ගත්තාය. විශ්ව කීර්ති සම්මාන, ජනාධිපති සම්මාන, ඕ සී අයි සී සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනාගන්නට සමත් වූ ඇය 2026 වසරේ 37 වැනි සරසවිය සම්මාන උලෙළින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රණ තිසර සම්මානය ලබමින් අති මහත් වූ ගෞරව බහුමානයට පාත්‍ර වූවාය.


මම මුලිනුත් සඳහන් කළ පරිදි මාව මේ තැනට ගේන්නට උදව් උපකාර කළ අති විශාල පිරිසක් සිටිනවා. ඒ හැමෝටම ස්තූතිවන්ත වෙන්න මේක මම අවස්ථාවක් කරගන්නවා . විශේෂයෙන් මගේ අම්මාව සිහිපත් කරන්න ඕන. ඇය මම කලාවට එනවට අකමැති වුණත් ඊට පස්සේ ඇය මා පසු පස්සේ වැටිලා හිටියා. ඒ වගේම තමයි ඒ කාලේ මාව කැප්චර් කරගත්ත සුමිත්ත අමරසිංහ වැනි කැමරා ශිල්පීන් ආදරයෙන් මතක් කරන්න ඕන. හැත්තෑව දශකයේ මාව ලස්සන කළ මගේ කොණ්ඩා සැකසුම් කළ සෑම් පෙරේරා වගේම දැන් මාව හැඩ ගන්වන තුෂාර විදානගමගේටත් බෙහෙවින්ම ස්තුතියි. අනිත් පැත්තෙන් මට අවශ්‍ය වෙලාවට හැමදාමත් මට ප්‍රචාරය ලබල දුන්න සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයනුත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. දශක හයක් ගතවෙලත් මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගෙන් තවමත් මට අඩුවක් නෑ. ඒ හැම දෙනාටම මගේ ගෞරවය ආචාරය මේ මොහොතේ පිරිනමනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post