මේ චරිතයේ සිගරට්, ලිකර් බොන සීන්ස් තිබුණා. මම තිළිණට කිව්වා මට ඒ දේ කරන්න බැහැ, ඒවා නැතිව මම චරිතය කරන්නම්, එහෙම නැතිනම් ඒ දේවල්වලට අකමැති නැති කෙනෙක් ලවා චරිතය කරගන්න කියල. නමුත් තිළිණ සහ රයිටර් දෙන්නම ඕකේ වුණා. ඔවුන් කිව්වෙ සිගරට්, අරක්කු බොන එකට වැඩිය ඔයාගෙ මුහුණයි අපිට වටින්නෙ කියල.
නිර්මාණයකට සිගරට් අරක්කු බොන සීන් එකක් කියන්නෙ ඒවා ඇත්තට කරන දෙයක් නෙමෙයිනෙ. චරිතයක් කරනකොට නළුවකුට හෝ නිළියකට ඒ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනා. මොකද මේ ලොකේ ජීවත්වෙන මිනිසුන්ගේ චරිත තමයි නළු නිළියො රඟපාන්නෙ. එතැන ඉන්නෙ තමන් නෙමෙයි, චරිතය. ඒ චරිතයට අවශ්‍ය විදිහට අපි හැඩගැහෙන්න ඕනා.
අතීතය දිහා බැලුවොත් මගේ තියෙන නීති පද්ධතිය නිසා ගොඩක් චරිත මම නැතිකර ගත්තා. නමුත් මම බැහැ කියපු චරිත කරපු ශිල්පීන්ට මම ගරු කරනව.
හිතවතිය ටෙලි නාට්‍යය කරන කාලෙ, මේ චිත්‍රපටයෙ චරිතය කළේ මාලිනී අක්කා. ඇය කරපු චරිතය තමයි ටෙලි නාට්‍යයේදි මම කළේ. ප්‍රියංකර අයියයි මමයි ප්‍රධාන චරිත දෙක. ෆිල්ම් එකේ තියෙනව මාලිනී අක්කා සිගරට් බොන ජවනිකා. මම ඩිරෙක්ටර්ට කිව්වා මට සිගරට් අරක්කු බොන්න බැහැ කියල. මේ කතාව ආර්. ප්‍රේමදාස මහත්මයාගෙ. ඩිරෙක්ටර් ඒ වෙලාවෙම ප්‍රේමදාස මහත්මයාට කතාකරල කියනව මෙයාට මේ කොටස කරන්න බැහැ කියනව කියල. ඉන් පස්සෙ එතුමා මට ෆෝන් එක දෙන්න කියල මට කියනව ඕක මහ ලොකු දෙයක් නෙමෙයිනෙ, මැරිච්ච ගහක් තියල සිගරට් කොටේ බීපු විදිහට ඒ ගහේ ගහල තියන්න, එතකොට ඕඩියන්ස් එක හිතයි අරක්කු හලල ගහ මැරිල, සිගරට් එක බීලා ගහේ ගහල තියෙනව කියල. එතකොට ඔයා ඒක කරන්න ඕන නැහැ කියල.
මගේ සීමාවන් නිසා ඒ කාලෙත් මේ වගේ දේවල් සිද්ධ වුණා.
නිල්මිණී තෙන්නකෝන් මේ කියන්නෙ ඇය රංගනයෙන් දායක වුණ අලුත්ම සිනමා නිර්මාණය, ‘මං හොයන්නෙ ප්‍රේමයක්’ ගැන. නිල්මිණී තෙන්නකෝන් කියන නමත් එක්ක එදා අතිශය කතාබහට ලක්වුණ ‘දියසුළිය’ ටෙලි නාට්‍යයේ රූපරාමු මේ මොහොතෙත් එකින් එක අපේ මතකයට නැගෙනව.
කලාව තුළ අවුරුදු හතළිස් පහක ගමනක මතක මේ කතාබහ අතරතුරදි ඇයගේ මතකයට නැගෙනව.
‘මං හොයන්නෙ ප්‍රේමයක්’, තිරගත කරන්න පටන්ගත්තෙ පසුගිය තුන් වැනිදා ඉඳන්. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් ප්‍රේක්‍ෂකයන් අතරට යන්න සති තුනක්වත් යන්න ඕනා. නමුත් කියන්න සතුටුයි, මේ වනවිටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව.
මේ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ තිළිණ බොරලැස්සගේ ‘අම්මා’ සහ ‘සිකුරු ඇවිත්’ ටෙලි නාට්‍යවල මම ප්‍රධාන චරිත රඟපාලා තියෙනව. ඔහු මේ ලොකේෂන්වලදි ෆිල්ම් එක ගැන මං එක්ක ගොඩක් කතාකරල තියෙනව. එහෙම වෙලාවක තිළිණ මට කියනව, අක්කේ මේ වගේ චරිතයක් තියෙනව, අක්කා කැමති වෙයිද දන්නෙත් නැහැ කියල. ඒ වෙලාවෙ මම කිව්වා මට පිටපත එවන්න අපි බලමු කියල. ඊට පස්සෙ පිටපත කියවල සමහර දේවල් අපි කතාබහ කරල වෙනස් කරගත්තා.
සමහර දවස්වල අපි රෑ එළිවෙනතුරු ෂූටිං කළා. ඒ වගේම සමහර සීන්ස් අපිට ටි්‍රම් කරන්න සිදු වුණ අවස්ථාත් තිබුණා. හරිම සුන්දරයි. අපි හැමෝම බොහොම සතුටින් සහයෝගයෙන් වැඩ කළා.
‘මං හොයන්නෙ ප්‍රේමයක්’ කියන්නෙ ලස්සන ස්ටෝරි එකක්. අපි ෂූට් කරපු සීන්ස් එකක් දෙකක් එඩිට් වෙලා තිබුණා. කාලය තමයි ඒකට ගැටලුව වෙලා තිබුණෙ. ඒ ටිකත් තිබුණා නම් කතාවට හොඳයි කියල මට හිතෙනව. සමස්තයක් විදිහට ගත්තාම පවුලක් විදිහට ඇවිත් බලන්න පුළුවන් ලස්සන කතාවක්.
මේ අතර තවත් නිර්මාණ කිහිපයකටම ඇය රංගනයෙන් දායක වෙලා තියෙනව.
ලක්‍ෂ්මන් පුෂ්පකුමාර රචනා කළ, ඔහුගේ පුතා නිපුන අධ්‍යක්‍ෂණය කරන ‘ගගන’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මට ලැබිල තියෙනව. ඊට අමතරව ශර්ලි පී. දෙලංකාවලගෙ ‘හන්තානට ඇහෙනවද’ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වුණා. ඒ අතරින් ‘අස්වැන්න’ ටෙලිය රූපවාහිනියෙ හෙට අනිද්දට විකාශය වෙනව.
මේ අතර මමත් නිර්මාණයක් කරන්න සැලසුම් කරල තියෙනව. ඒක ටෙලියක්. පිටපත ලක්‍ෂ්මන් පුෂ්පකුමාර විසින් මේ දවස්වල ලියාගෙන යනව.
මම රංගන ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු හතළිස් පහක් වෙනව. අපේ වගේ පුංචි රටක ජනතාවගේ ආදරය දිනාගන්න ලැබීම තමයි මම ලබපු ලොකුම භාග්‍ය. එදාත් අදත් ඒ ආදරේ වෙනසක් නැහැ.
කලාව තුළ මට නොලැබුණ දේවල් ගොඩක් තියෙනව. නමුත් ඇත්තටම මම ඒ ගැන දුක් වෙන්නෙ නැහැ. මොකද මම විහින්මයි ඒ දේවල් නැතිකර ගත්තෙ. මේ අතර සමහර අයගෙන් කැපිල්ලක් තියෙනව. ඒක එදා වගේම අදත් එහෙමයි. ඒ මොනවා තිබුණත් නිල්මිණී තෙන්නකෝන් මේ ගමන ඇවිත් තියෙනව. ඒ තැනට මාව ගෙනාපු හැමෝටම ස්තූතියි. විශ්වය මට දීලා තියෙන දේ හොඳටම ඇති කියල හිතෙනව.
අවුරුදු හතළිස් පහකට පස්සෙ ඇය ඇයගේම නිර්මාණයක් අධ්‍යක්‍ෂණය කරන්න යනව. රසිකයන්ට මේක සතුටුදායක ආරංචියක් වේවි.
මම ප්‍රඩියුස් කරල තියෙනව. ඒ වගේම සමහර අවස්ථාවලදි ඩිරෙක්ටර්ට එන්න බැරි වුණාම ඩිරෙක්ට් කරන වැඩෙත් කරල තියනව. ඒ අනුන්ගෙ ඒවා. මේක මම කාලයක් තිස්සෙ හදාරල ඉගෙනගෙන කරන දෙයක්. ඒ නිසා ඒකත් කරල බලනව.