‘සුද්දෙක් කිව්වොත් රයන් තමයි’ කියලා ක්ෂේත්‍රයේ කතාවක් තියෙනවා -රයන් වැන්රෝයන්

gossiplanka image 1
මේ දිනවල විකාශය කෙරෙන ‘බෝල්ට් ඇණයක් ‘ ටෙලිනාට්‍යයේ ප්‍රියන්න නිතරම සැකයෙන්, අවධානයෙන් සිටින්නෙකි. ඒ මන්ද යත් ඔහුගේ කෙරුම් කොයි මොහොතක හෝ හෙළිවේ යැයි සිතන බැවිනි.


එවැනි ගතිගුණ සහිත ‘ප්‍රියන්න’ ගේ චරිතයට ජීවය දෙන රංගන ශිල්පි රයන් වැන්රෝයන් එකී චරිතය ගැන කීවේ මෙවැන්නකි.


“බෝල්ට් ඇණයක්’ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ ප්‍රියන්න නමැති ගුප්ත චරිතයක්. කොරියාවට මිනිසුන්ව යවන ව්‍යාජ ඒජන්සියක් පවත්වාගෙන යන කෙනෙක්. මිනිසුන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන්ට පොලු තියන සටකපට චරිතයක් ලෙසත් ප්‍රසන්නව හඳුන්වන්න පුළුවන්. ප්‍රියන්න නිතරම විපරමෙන්, අවධානයෙන් ඉන්නේ තමන්ගේ හොර, බොරු, වංචා හෙළිවේවි යන සැකයෙන්. ඔහු බිරිය සහ ඇගේ මල්ලි සමඟ ඉන්නේ. ඔවුන්ගේ අසල්වැසි නිවෙසට ඇවිත් ඉන්න පිරිමියා හා කාන්තාවන් තිදෙනා දිහා සැකයෙන් බලන්නේ ඒ තමන්ව සොයන්න ආව රහස් පරීක්ෂකවරුන් කියන සිතුවිල්ලෙන් ඉන්න නිසා. මම මෙතෙක් රඟපෑ චරිතවලට වඩා වෙනස්ම චරිතයක් ප්‍රියන්න කියන්නේ. ප්‍රියන්න මට වෙනස්ම අත්දැකීමක්. අලුත් රසයක් වුණා. ඉදිරියේදී ප්‍රසන්න අප්‍රසන්න වේවිද කියා දැන්ම කියන්න අපහසුයි ”


ප්‍රියන්න චරිතය සඳහා ලද ආරාධනය ගැන රයන් සිහිකළේ මෙලෙසිනි.


“චරිතයට මට ආරාධනා කළේ මෙහි සහය අධ්‍යක්ෂවරියක් වන චතු ගම්ලත් නංගි. මේ වගේ චරිතයක් තිබෙනවා කැමැතිද රඟපාන්න කියලා ඇහුවා. ඇය අධ්‍යක්ෂ දිල්ශාන් බණ්ඩාරටත්, නිෂ්පාදක ජනක තඹරවිලටත් මා ගැන කියා තිබුණා. ඔවුන්ට මා ගැන පැහැදීමක් තිබුණා. මේ චරිතය ගොඩනඟන්න අධ්‍යක්ෂවරයා මට විශාල සහායක් දුන්නා. එසේම නිෂ්පාදක ඇතුළු සමස්ත කණ්ඩායමේම උපරිම සහයත් මට ලැබුණා. ඔවුන්ව සහ චතූ නංගිව මෙහිදී විශේෂයෙන් සිහිපත් කරනවා.”


‘බෝල්ට් ඇණයක්’ ටෙලිනාට්‍යයට අමතරව මේ දිනවල සියත නාළිකාවේ විකාශය වන හර්ෂ උඩකන්දගේ ‘ආදරෙයි මං’ ටෙලිනාට්‍යයෙන් ද, එරංග සේනාරත්නගේ ‘ඔස්කාර්’ චිත්‍රපටයෙන් ද රයන් වැන්රෝයන්ගේ රංගනයන් දැකිය හැකි අතර, ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම නිර්මාණයට ද ආරාධනා ලැබ තිබේ.


බුද්ධික ජයරත්නගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය රයන්ගේ ද පළමු රංගන අත්දැකීම විය.


“නළුවෙක් ලෙස මම ක්ෂේත්‍රයට එන්නේ බුද්ධික ජයරත්න නිසයි. ඔහුගේ මුල්ම චිත්‍රපටයේ රංගනයට මට කතා කරද්දි මම කැමරාවක් ඉදිරියේ රඟපාලම තිබ්බේ නැහැ. “මම අලුත් වැඩක් කරනවා උඹ ඒකට වරෙන්” කියා බුද්ධික කිව්වා. ඔහුට මම ස්තුතිවන්ත වෙනවා දැනට වසර විසි ගණනක් පුරා නළුවකු ලෙස මට මේ ක්ෂේත්‍රයේ රැඳීසිටීමට ලැබීම නිසා. ඒවගේම මම මුලින්ම ටෙලිනාට්‍යයකට දායක වුණේ එරංග සේනාරත්නගේ ‘සොඳුරු සිතැත්ති’ ටෙලිනාට්‍යයෙන්.”


හර්ෂ උඩකන්ද ගැන ද රයන් සිහිපත් කළේ කෘතවේදීවය.


“හර්ෂ කියන්නේ අධ්‍යක්ෂවරයකුට වඩා හොඳ හදවතක් තිබෙන සහෝදරයෙක් . කලකට පෙර මම රංගනයෙන් ඉවත්වෙන්න හදද්දි ඔහු මගේ ගෙදරටම ඇවිත් “උඹ රඟපෑම නවත්වන්න එපා, උඹ අපි එක්ක ඉන්න ඕනේ” කියා මාව චිත්‍රපටයකට ඇදලාගත්තා. එවැන්නන් ඇසුරට ලැබීමත් ලොකු පිනක්”


රයන් වැන්රෝයන් සිනමාවේ විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණ තිබේ. ‘දේදුනු වැස්ස’ චිත්‍රපටයෙන් ඇරඹි ඔහුගේ සිනමා ගමන්මඟේ මෙතෙක් චිත්‍රපට 30කට වැඩි ප්‍රමාණයක රඟපා තිබේ. ‘ආසයි මං පියාඹන්න, සෙනසුරු මාරුව, ඇහැළේපොළ කුමාරිහාමි, විජයබා කොල්ලය, උදුම්බරා, සේද මාවත, රෝස ආදරය, ගින්නෙන් උපන් සීතල, හොරා අන්කල්, හවුස් ෆුල්, රයිඩර්, සුපර්ණා, අභීත, දේවි කුසුමාසන, ඔස්කාර්, යකඩ මනමාලි’ ආදි චිත්‍රපටවලින් රයන්ගේ සිනමා ගමන්මඟ වර්ණවත් විය.


උපතින් බර්ගර් ජාතිකයකු වන රයන් වැන්රෝයන්ට බොහෝදුරට රඟපෑමට ලැබුණේ විදෙස් ජාතිකයන්ගේ චරිත වීම විශේෂයකි.


“මට බොහෝ වෙලාවට රඟපාන්න ලැබෙන්නේ සුද්දාගේ චරිතම තමයි. සුද්දෙක් කිව්වොත් ඉතින් රයන් තමයි. ප්‍රේක්ෂකයා අතර මා ගැන එහෙම හැඳින්වීමකුත් තිබෙනවා. ඒවගේම වෙනස් මාදිලියේ චරිතවලටත් මට ආරාධනා ලැබී තිබෙනවා.


” යම් චරිතයකට ආරාධනා ලැබුණ විට රයන් විසින් සලකා බලන කරුණු කිහිපයක් ද වෙයි.


” මම මුලින්ම බලන්නේ ඒ චරිතයට මට සාධාරණයක් කළ හැකිද කියා. එම චරිතයට සාධාරණයක් කළ නොහැකිනම් මම ඒ චරිතය භාර ගන්නේ නෑ. අධ්‍යක්ෂ හා පිටපත් රචකගේ මඟපෙන්වීමෙන් චරිතය උපරිමයටම රඟපාන්න මම වෙහෙසෙනවා.”


හොඳ අධ්‍යක්ෂවරයකු, තිර පිටපත් රචකයකු යටතේ රඟපෑමට කැමැත්‍තක් දක්වන රයන්, විවිධ මානසික මට්ටම්වල සිටින පුද්ගල චරිත, මානසික රෝගී චරිත රංගනයට කැමැත්තෙන් සිටියි. එතුළින් සමාජයට මනා පණිවිඩයක් දිය හැකි බැව් ද හෙතෙම විශ්වාස කරයි.


අනාගත බලාපොරොත්තු ගැන රයන් පැවැසුවේ මෙලෙසිනි.


“හැකිතරම් කලක් ක්ෂේත්‍රයේ රැඳී සිට හොඳ නිර්මාණවලට දායක වී සමාජයට යම් පණිවිඩයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් තරම් මේ විශ්වයට අවනත වී බෞද්ධ දර්ශනය සහ මගේ රෝමානු කතෝලික ආගමත් එකට එක් කරගනිමින් අසරණ රෝගීන්ට උදවු කරමින් ජීවිතය ගෙවනවා. ඒ වගේම මට පුළුවන් හැමවිටම රෝගි අයෙකු වෙනුවෙන් බොහෝම කැමැත්තෙන් ලේ දන්දෙනවා.“.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post