“රඟහල දැන් ඇත අඩ අඳුරේ
අප දෙදෙනා පෙම් පිළිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ“
එකල ගුවන්විදුලියෙන් නිතර දෙවේලේ ඇසුණු මේ ගී හඬේ හිමිකරු ඔහුය. ඔහුගේ කටහඬට යම් අනන්‍යතාවක් ඇත. ඒ වසරක දෙකක කාලයක නොව වසර පනහකට ආසන්න කාලයක් තිස්සේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන ‘මුවන්පැලැස්ස‘ ආරච්චිල එහෙමත් නැත්නම් ‘කෝරළේ මහත්තයාගේ‘ කටහඬේ හිමිකරු ඔහුය. චිත්‍රපට නළුවෙක් ලෙස, වේදිකා නළුවෙකු ලෙස, මෙන්ම ගායන ශිල්පියෙකු ලෙස කලාවේ විවිධ ඉසව්වල නියැළෙන ඔහු මේ ගෙවන්නේ සිය දිවියේ 93 වැනි වියයි.
“නළුවෙක් වීම ගැන මම සතුටු වෙනවා. මගේ ඇඟේ තියෙන්නේ නළුකම. නමුත් මම තවමත් විශ්වාස කරන දෙයක් තමයි මගේ හැකියාවන්ගෙන් හරියට කවුරුවත් වැඩක් ගත්තේ නැහැ කියලා.“
රංගනයට පිවිසි දා සිට අද දක්වා වන අත්දැකීම් විමසුමකදි විජේරත්නයන් එසේ පැවැසුවේය.
“මම ඉස්සෙල්ලම ගුවන්විදුලියෙන් තමයි කලාවට අතතැබුවේ. මම මුලින්ම ගුවන්විදුලි පරීක්ෂණයකට ඉදිරිපත් වී ඉන් ඒ ශ්‍රේණියේ ගායකයකු ලෙස තේරුණා. ඒ කාලේ ගුවන්විදුලියෙන් මාස තුනහතරකට සැරයක් නවක ශිල්පීන්ට සංගීත වැඩසටහනක් දෙනවා. ඒකට ගැයෙන්නේ අලුත්ම ගීත. මටත් එහෙම අවස්ථා ලැබුණා. 1960 වර්ෂයේ ගුවන්විදුලියෙන් නාට්‍ය ශිල්පීන් ලෙස බඳවා ගන්න කටහඬ පරීක්ෂණයක් පැවැත්වුවා. මමත් ඊට සහභාගි වුණා. එයින් මාව තේරුණා. ඉන් පසුව මට නාට්‍ය ගණනාවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මට මතකයි මම ඒ කාලේ දොළේ ලන්ද, කිවුලේ ගෙදර, දඹතැන්න, හේන්යාය ආදි නාට්‍යවලට ශිල්පියෙකු ලෙස සම්බන්ධ වුණා. 1963 අවුරුද්දේ තමයි මුවන්පැලැස්ස නාට්‍ය පටන් ගත්තේ. මුලින්ම කටහඬ දායකත්වය දුන්නේ සුදු ජාතිකයෙකුගේ චරිතයට. පසුව ආරච්චිලගේ චරිතය කළා. මම තවමත් මුවන්පැලැස්සේ කටහඬ රංගනයේ යෙදෙනවා. ඔහොම ඉන්න අතර රොබින් තම්පෝ කියන අධ්‍යක්ෂවරයා නිසයි ‘සුහද දිවිපිදුම‘ චිත්‍රපටයේ නීතිඥවරයකුගේ චරිතය රඟපාන් අවස්ථාව ලැබුණේ. චිත්‍රානන්ද මහත්මයා තමයි මාව එතැනට යොමු කළේ. මම ෂූටින් බලාගෙන හිටියා. එදා නීතිඥයාගේ චරිතය කරන කෙනා ඇවිත් හිටියේ නැහැ. රොබින් තම්පෝ මහත්මයාව ඒ වෙනකොට මම හඳුනනවා. ඔහු මගෙන් ඇහුවා නීතිඥයාගේ චරිතය රඟන්න පුළුවන්ද කියලා. මම හා කිව්වා. ඉන් පසුව ‘සුදු සඳේ කළු වලා‘ ආදි චිත්‍රපටවල චරිත රඟපාන්න ලැබුණා. දවසක් ගුවන්විදුලියේ මිතුරෙක් වුණ හර්බට් අමරවික්‍රම මාව ලෙස්ටර් මහතාට හඳුන්වා දුන්නා. ඒ ලෙස්ටර් මහත්තයා ගම්පෙරළිය චිත්‍රපටය කරන කාලේ. ඒ වෙනකොට ප්‍රධාන චරිත ඔක්කොම තෝරගෙන ඉවරයි. අන්තිමට ලෙස්ටර් මහත්තයා කිව්වා පුංචි චරිතයක් තියෙනවා කියලා. මම ඒකට කැමැති වුණා. ‘ගම්පෙරළිය‘ චිත්‍රපටයේ ජිනදාස මියගියාම රෝහලට යන නන්දාට ජිනදාසගේ මිනිය පෙන්වන දොස්තරගේ චරිතය. මම එය බොහෝම කැමැත්තෙන් රඟපෑවා. පසුව එතුමා ‘ගොළු හදවත‘ කරන කාලේ සුගත්ගේ අයියා, ඒ කියන්නේ සරත්ගෙ චරිතයට මාව ගත්තා. දොළොවක් අතර චිත්‍රපටයේ පොලිස් නිළධාරියකුගේ චරිතය රඟපෑවා. මහගම සේකරයන්ගේ තුම්මං හන්දිය චිත්‍රපටයට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා.
සිනමාවෙන් එසේ පැමිණි විජේරත්නයන් පසු කලෙක අමරනාත් ජයතිලකයන්ගේ අරුණට පෙර චිත්‍රපයේ ද රඟන්නේය.
1963 වසරේදී අජාසත්ත නාට්‍යයේ රඟපාන්නේය. ඒ වෙනුවෙන් එවකට පැවැති නාට්‍ය සම්මාන උලෙළේදී හොඳම ශෛලිගත නළුවා ලෙස ජනාධිපති සම්මාන හිමිකර ගන්නේය.
“පසුව මට හේන්රි ජයසේනයන්ගේ කුවේණි නාට්‍යයේ පොතේගුරුගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. ඉන්පස්සේ මට සරච්චන්ද්‍රයන්ගේ ආරාධනයෙන් මුලින්ම මනමේ නාට්‍යයේ පොතේ ගුරාගේ චරිතය කරන්න ලැබුණා. පසුව සිංහබාහු හී යුවරජු, මහාසාර හී රජු, පේමතෝ ජායති සෝකෝ නාට්‍යයේ සුත්‍රධර, ලෝමහංස නාට්‍යයේ පොතේ ගුරු වගේම මනමේ නාට්‍යයේ වැදි රජ, රාජගුරු චරිත රඟන්න ලැබුණා.“
1933 වසරේ නොවැම්බර් 21 වැනි දින ජන්මලාභය ලැබු විජේරත්න වරකාගොඩයන්
සිය බාලවිය සිහිපත් කළේ මෙලෙසිනි.
“අපි තාත්තාට කතා කළේ පප්පා කියලා. මගෙ පප්පා පොලිස් නිලධාරියෙක් . ඒ නිසා අපිත් පුංචි කාලේ ඉඳලම තැනින් තැනට යමින් ජීවත් වුණේ. අයියලා දෙන්නත් පොලිස් සේවයට බැඳුණා. මම මුලින්ම ඉගෙන ගත්තේ මාරවිල කතෝලික පාසලෙන්. ඉන් පස්සේ පුත්තලම ශාන්ත ඇන්ඩෘෘ විද්‍යාලයේ ඉගෙන ගත්තා. පසුව කුලියාපිටිය ශාන්ත ජෝසප් පාසලට ගියා. ඉන් පස්සේ ගලගෙදර පාසලටත් එතැනින් කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයටත් ගියා. උසස් පෙළ හදාරන්න කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ හැදෑරුවත් විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණ මම ලිපිකරුවෙකු ලෙස ලංකා බැංකුවට බැඳුණා. ඔය අතරම මම රජයේ ලිපිකරු විභාය ලිව්වා. ඒ විභාගයෙන් සමත්ව කුරුණෑගල කච්චේරියේ කලක් වැඩ කළා. ඒ ඉන්න අතර තමයි මම දැක්කේ පොලිස් සේවයට බඳවා ගන්නා කියන දැන්වීම. ඒ අනුව මම එයට ඉල්ලුම් කළා. 1956 ජූනි මාසයේ දිනෙක උප පොලිස් පරික්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වුණා. මම වසර අටක් පොලීසියේ සේවය කළා. නමුත් ඉහළ පොලිස් නිලධාරියෙක් නිසා රැකියාව කලකිරුණා. පොලිස් සේවයෙන් ඉවත් වුණ මම කලක් ඔරුවල වානේ සංස්ථාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි ලෙස සේවය කළා. පසුව ජාතික චිත්‍රපට සංස්ථාවේ ගබඩා පාලක, කළමනාකරු ලෙස කලක් සේවය කළා. ඔහොම ඉන්න අතර ගෙයක් හදාගන්නත් ඕන නිසා මම විදේශගත වුණා. “
විජේරත්න, ජීවිතේ ස්ථාවරත්වයක් ගොඩනගා ගන්නේ එලෙසිනි. ඔහුගේ බිරිද බිරිඳ චිත්‍රාද රංගන ශිල්පිනියකි. ඔහුට ඇය හමුවුණේ ද ඒ යන එන ගමන්වලදීය. විජේරත්නයන්ට දරුවන් දෙදෙනෙකි. පුතු ප්‍රකට වාදන ශිල්පියෙකි ඒ ජයනාථ ය. දියණිය වින්ධ්‍යාය. දු දරු මුනුබුරන් සෙවණේ වරකාගොඩ යුවළ සතුටින් දිවි ගෙවන්නාහ.