මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ‘සිත් අතර හිස්තැන්’ ටෙලි නිර්මාණයේ සයුරිගේ භූමිකාවට පණ පොවන දසුනි නවෝද්‍යා ඉතාම කෙටි කලකදී ඔබේ ආදරය ඉහළින්ම දිනාගත් රංගන ශිල්පිනියකි. පසුගියදා ඇය ආලෝචනා ලෙසින් ඔබේ හදවත ගැඹුරින්ම ස්පර්ශ කළාය. ටෙලිවිෂනයේ මෙන්ම සමාජ මාධ්‍යයේද බොහෝ සෙයින් කාර්යබහුලව සිටින ඇය අද අප හා කතාබහට එක්වූවාය.
මේ දිනවල ඔබ දකින්නේ ‘සිත් අතර හිස්තැන්’ ටෙලි නිර්මාණයෙන්. ඒ ගැන කතා කරනවා නම්?
‘සිත් අතර හිස්තැන්’ කියන්නේ සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නවතම ටෙලි නිර්මාණය. අරුණ ප්‍රේමරත්නගේ තිරපිටපතක්. අධ්‍යක්ෂවරයාගෙන්ම ලැබුණු ආරාධනාවක්. ඔහු වගේ අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබීම මගේ ජීවිතේට ලොකු අවස්ථාවක්. එතැන හිටිය පොඩිම රංගන ශිල්පිනියත් මම. එක පැත්තකින් මමත් අනෙක් පැත්තෙන් මනෝජා ප්‍රනාන්දුත් ප්‍රධාන චරිතවලින් එක් වෙනවා. ඊට අමතරව විශ්වජිත් ප්‍රනාන්දු, චමිලා පීරිස්, චම්පා ශ්‍රියානි, රන්දික ගුණතිලක, රෙබෙකා දිල්රුක්ෂි දායක වෙනවා. ප්‍රවීණයන් පිරිසක් සමඟ වැඩ කරන්න ලැබීමත් සතුටක්. මම ප්‍රියන්ත ප්‍රනාන්දු අයියගේ වැඩකට සම්බන්ධ වෙන පළමු අවස්ථාවත් මේක. ඔහුත් එක්ක වැඩකරනවා කියන්නෙම කෙනෙකුගෙ ජීවිතේට ලැබෙන ලොකු අත්දැකීමක්. මේ අවස්ථාව මට ගොඩක් වටිනවා.
‘සිත් අතර හිස්තැන්’ කියන නමේම යම්කිසි දෙයක් දැනෙනවා?
මිනිස්සුන්ගේ ජීවිතවල එක එක හිස්තැන් තියෙනවා. සයුරිගේ ජීවිතේ පළමුවෙනි හිස්තැන බවට පත්වෙන්නේ තාත්තා අහිමි වීම. තාත්තා නැති වෙනවා කියන්නෙම ගෑනු ළමයකුගේ ජීවිතේ ලොකුම හිස්තැනක්. තාත්තගේ අහිමිවීමත් එක්ක ඇය ජීවිතේට මුහුණ දෙන විදිහ තමයි ගලාගෙන යන්නේ. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
සයුරි කියන්නෙ හරිම තැන්පත් තරුණියක්. ඔබට මේ වගේ චරිතයක් ලැබුණු පළමු අවස්ථාව නේද?
සයුරි කියන්නේ මගේ ජීවිතේ මං මෙච්චර කාලෙකට නොකරපු චරිතයක්. හරිම නිශ්ශබ්ද, මොළේ කල්පනා කරලා වැඩ කරන බුද්ධිමත් තරුණියක්. ඇතුළතින් ප්ලේ කරන්න පුළුවන් හරි ලස්සන චරිතයක්. සාමාන්‍යයෙන් මට ලැබෙන්නෙම කෑගහන, තරහ යන චරිත. දසුනි වුණත් සයුරිට වැඩිය සද්දෙට කතා කරනවා. සයුරිට ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු ආදරයක් ලැබෙනවා. හැමෝම කියන්නේ පොඩි වයසකදී විවිධාකාර චරිත කරන්න ලැබිම නිසා මම හරි වාසනාවන්තයි කියලා.
මේ ඔබ රන්දික ගුණතිලක එක්ක ගැටෙන දෙවැනි අවස්ථාව?
ඔව්. මීට කලින් රොකී ටෙලි නිර්මාණයේ රන්දිකයි මමයි අයියයි නංගියි. එතැනදි අපි දෙන්න අතරේ ඇත්තම අයියයි නංගියි වගේ මාරම බොන්ඩ් එකක් හැදුණා. ඒ නිසා මට මේ කැරැක්ටර් එක ඇතුළේ ඔහුත් එක්ක රඟපාන එක පොඩ්ඩක්වත් අපහසු වුණේ නැහැ.
දසුනි මේ දවස්වල කලා කටයුතුවලින් ඈත්වෙලා කියලත් ආරංචියි?
ඔව් ඒක ඇත්ත. මං පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඒකට ප්‍රධානම හේතුව මගේ උසස් අධ්‍යාපන කටයුතුවලට කාලය යොදවන්න සිදුවීම. මේ දිනවල විභාගයකට සූදානම් වෙනවා. පහුගිය කාලෙ ටෙලිවිෂන් එකෙන්, සෝෂල් මීඩියාවලින් මිනිස්සු මාව නිතරම දැක්කා. කරපු සමහර වැඩත් වයිරල් වුණා. ඒ හැමදේමත් එක්ක ලොකු ප්‍රේක්ෂක ආදරයකුත් ලැබුණා. ඒ නිසා මාසයක් දෙකක් පොඩි විවේකයක් ගන්න හිතුවා. ඒත් භාරගත්ත වැඩවලට සම්බන්ධ වෙන්න වෙනවා. දැනට විකාශය වන ‘සිත් අතර හිස්තැන්’ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහන කරනවා. ඒ ඇරුණම මේ මාසේ කළයුතු කිසිම වැඩක් භාරගත්තෙ නැහැ.
ඔබ රංගනයට පිවිසෙන්නේ ඉතාම මෑතකදී ?
ඔව්. තාම මම රංගනයට පිවිසිලා අවුරුදු තුනයි. නමුත් මම ක්ෂේත්‍රයට එන්නේ 2021 වසරේ. දැනට අවුරුදු 5ක්. කොහේ ගියත් එක්කෙනෙක් හරි මාව අඳුනගන්නවා. මට හිතෙනවා මං හරිම වාසනාවන්තයි කියලා. ඉතාම කෙටි කාලෙකදි එකිනෙකට වෙනස් කැරැක්ටර් ගොඩක් කරන්න ලැබුණා.
ඔබ කලාවට පිවිසෙන්නේ නිවේදිකාවක් විදිහට. ඒ නිවේදිකාවට මොකද වෙන්නේ?
මගේ ගමන පටන් ගන්නේ නිවේදිකාවක් විදිහට. 2021දී ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය වීමත් එක්ක මට අවස්ථාව ලැබෙන්නේ නිවේදිකාවක් විදිහට. ඒ කාලෙ රංගනයට ආරාධනා ලැබුණත් මං රංගනයට එන්නෙ නෑ කියන තීරණයේ හිටියා. නමුත් මේ වෙද්දි නිවේදිකාව අබිබවා ගිහින් රංගන ශිල්පිනිය උඩට ඇවිත්. භාරගන්න බැරි තරමටම රංගන ශිල්පිනිය කාර්යබහුල වෙලා. යොදවන්න තියෙන කාලය කොතරම් අඩු වුණත් නිවේදිකාව කියන භූමිකාව කවදාවත් අත්හරින්නෙ නැහැ. ‘චැට් ඇන්ඩ් මියුසික්’ වැඩසටහන ඉදිරිපත් කරන්න ලැබීම තමයි නිවේදිකාවක් විදිහට මට ලැබුණු හොඳම අවස්ථාව. දැන් අවුරුද්දකට ආසන්නයි. මං දන්න තරමින් මෙතෙක් ‘චැට් ඇන්ඩ් මියුසික්’ කළ ළාබාලම නිවේදිකාවත් මම වෙන්න ඕන.
නිවේදිකාවක් වීමත් පහසු දෙයක් නෙවෙයි නේද?
නිවේදිකාවක් කියන්නේ ඒ මොහොතට කටට එන දෙයක් කියන කෙනෙක් නෙවෙයි. මට මගේ ප්‍රවීණයන් නිතරම කිව්ව දෙයක් තමයි පෙර සූදානම හොඳින්ම තියෙන, හැම වෙලේම අප්ඩේට් වෙන්න ඕන භූමිකාවක් කියන එක. මොන දේ කළත් ඒ සඳහා කලින්ම සූදානම් වීම මගේ පුරුද්දක්. රංගනයට ගියත් එහෙමයි. ජිවිතේ කිසිම වැඩකට මම සූදානමක් නැතුව යන්නෙ නැහැ.
ආලෝචනා කියන්නෙ ඔබට හොඳ නරක ප්‍රතිචාර දෙකම එක විදිහට ලැබුණු චරිතයක්?
‘හිතාගන්නම බැරි කතාවක්’ ටෙලි නිර්මාණයේ ආලෝචනාට මුලින්ම ප්‍රේක්ෂකයන් සෑහෙන්න බණින්න ගත්තා. නමුත් අවසානය වෙද්දි මුළු ඩ්‍රාමා එකේම ආදරේ කරන චරිතය බවට පත්වුණා. අපරාදෙ ඉවර වුණේ කියන තැනට මිනිස්සු ආවා. එතරම්ම ආදරයක් ලැබුණා. කොහොමත් මං කරන හැම චරිතයකටම වගේ මුලින්ම බැනලා පස්සේ ආදරණීයම චරිතය බවට පත්කර ගන්නවා.
අපි තාම දසුනිව දකින්නේ පුංචි තිරයේ විතරයි. සිනමාවේ අත්දැකීමක් නැද්ද?
සිනමාපට දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. නුදුරේදීම දැකගන්න ලැබෙයි. සිනමාවේ පළමු අත්දැකීම ලබන්නේ ඩොක්ටර් කපිල සූරියආරච්චිගේ නිර්මාණයක උප ප්‍රධාන චරිතයකින්. දෙවනි අත්දැකීම ශලනි තාරකාගේ ‘ප්‍රේමියේ’ චිත්‍රපටයේ විශේෂ ආරාධිත රංගනයක්. ඒක මට විශේෂ අවස්ථාවක් වෙන්නේ මගේ ජීවිතේ මං මෙතෙක් කළ චරිතවලින් ස්ක්‍රීන් ටයිම් එක අඩුවෙන්ම ගිය ලොකු දෙයක් කරන්න තිබුණු චරිතයක්. ඒක මට සුවිශේෂී අත්දැකීමක් වුණා. තව මාස තුනකින් විතර මං ප්‍රධාන චරිත මවන සිනමාපට දෙකක් පටන් ගන්න නියමිතයි.