‘ඔය හැමෝම අහන්නේ මගේ අලුත්ම වැඩේ ගැනනේ. ඒකේ නම තාප්පෙන් පැන්නා. මේක මගේ අලුත්ම ටෙලිනාට්‍ය ය. ‘තාප්පෙන් පැන්නේ’ තාප්පෙන් පනින්න තමයි කියලා ධනා කතාවට මුල පිරුවා.
තාප්පෙන් පනිනවා කියලා වැඩක් කරන්න හිතුණේ ඇයි කියන ප්‍රශ්නය අපි ධනාගෙන් ඇහැව්වා
ඕක ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. මමත් ඉතිං ගොඩක් ටෙලිනාට්‍ය රඟපාලා තියෙනවානේ. මම දැකලාත් තියෙනවානේ අවුරුදු ගණනාවක් තිස්සේ. මට ඕනෑ වුණා ටිකක් වෙනස් විදිහේ නමක් චාමරට යෝජනා කරන්න. චාමර ප්‍රසන්න කොඩිතුවක්කු තමයි මෙහි සමරචකයා. අපි දෙන්නා මේ කතා තේමවා ගැන කතාබහ කරද්දි වුණත් ‘Out of the Box’ කියලා අපිට ඉංග්‍රීසි නමක් තිබුණා.
මේ නාට්‍ය පටන් ගත්තේම කොළඹ හතේ ගෙදරකින්. කොල්ලෙක් නාගෙන කලිසමකුත් ඇඳගෙන කමිසයකුත් නැතිව තාප්පෙන් පනිනවා දර්ශනයකින්. එතකොට මේ මුළු නාට්‍යයම වෙළාගෙන යන්නේ ඔය සිදුවීමත් එක්ක. ඇයි පැන්නේ කියන කාරණාවත් එක්ක බලනකොට ‘තාප්පෙන් පැන්නා’ කියලා නම යෙදුවා. ප්‍රේක්ෂකාගාරයට සිද්ධ වෙනවා මොකක්ද මේ ගෙදර ඇතුළේ සිද්ධ වුණේ සහ මේ කතාවේ කවුද මේ තාප්පෙන් පනින්නේ කියලා බලන්න.
ඇත්තටම කවුද තාප්පෙන් පැන්නේ. අපි එහෙම අහනකොට ධනා හරි අපූරු උත්තරයක් දුන්නා.
දැනට නම් සඳකැළුම් කියන තරුණ කොල්ලෙක් නේ. හැබැයි මම හිතනවා මේක බැලුවාට පස්සේ හැමෝටම හිතෙයි තාප්පෙන් පනින්න කියලා.
ඔය පසුගිය දවස්වල මම ස්වාධීන රූපවාහිනියේ තාප්පෙන් පැන්නා කියලාත් පින්තූරයක් වෛයිරල් වුණා. මේ නාට්‍යය ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා කියලා දැනගත්තහම එළියට ආපු නිවුස් එකක් තමයි ඒක. මේ ටෙලිනාට්‍ය ය සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.30 ට විකාශය වෙන්න පටන් ගත්තේ. මේකේ දීර්ඝ කොටස් ප්‍රමාණයක් නැහැ. මේක මම සහ චාමර ප්‍රසන්න කොඩිතුවක්කු රචනා කරනු ලබන්නේ. චාමර සමරවික්‍රම තමයි නිෂ්පාදන කටයුතු සිදුකරන්නේ.
ධනා කියන්නේ ඇතිවෙන්න රඟපෑ නළුවෙක්නේ. අධ්‍යක්‍ෂණය සිදුකිරීමේදී තියෙන්නේ මොන වගේ අභියෝගයක් ද කියන ප්‍රශ්නයට ඔහු ලබා දුන්නේ මේ වගේ උත්තරයක්.
අධ්‍යක්‍ෂණය සිදුකරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. මාව අවුරුදු ගණනාවක් අධ්‍යක්‍ෂණය කරපු සියලු අධ්‍යක්‍ෂවරුන්ගේ ලක්‍ෂණ මා ළඟ තියෙනවා. මොකද ඒගොල්ලෝ තමයි මගේ ගුරුවරු. මට හම්බවුණු පළමු අධ්‍යක්‍ෂවරයා මගේ තාත්තා. එතැනින් එහාට අශෝක හඳගමගේ ඉඳලා අලුතෙන් ක්‍ෂේත්‍රයට ආපු අධ්‍යක්‍ෂ මල්ලිලා දක්වා හැමෝගෙන්ම ඉගෙනගත්තු දේවල් තමයි මේකේ තියෙන්නේ. ඉතිං ඒ හින්දා මම දන්නවා ඒකේ තියෙන බැරෑරුම්කම සහ බරපතළකම. තනියම තාප්පෙන් පනින්න බැහැ. මට ඒකට හොඳ ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එකේ කර මතින් අපි හැමෝම තාප්පෙන් පනින්නයි ලෑස්ති වෙලා ඉන්නේ.
ටෙලි නාට්‍යයක් හරි අමාරුවෙන් කළත් විකාශය කරගන්න නාළිකාවක් හොයාගන්න එකත් ලේසි නැහැ කියන කතාවත් මේ කතාව ඇතුළේ කතාබහ වුණා.
ගොඩාක් අයට ටෙලිනාට්‍ය කරන්න ආසාව තියෙනවා. නිෂ්පාදකවරුන් ඉන්නවා. නමුත් මම හැමතිස්සේම හිතන්නේ එහෙම නිෂ්පාදකවරයෙක් හම්බවුණා කියලා ටෙලිනාට්‍යයක් කරන්නේ නැහැ කියලා. මේ මගේ දෙවැනි අධ්‍යක්‍ෂණය. සිදාදියේ සමනලියොත් මට ලැබුණේ, නිෂ්පාදකවරයකු මා සොයාගෙන ඇවිත් මගේ සහාය අධ්‍යක්‍ෂවරයා මට ඒ නිෂ්පාදකවරයා හඳුන්වා දෙනවා. ඊට පසුව තමයි අපි මේ වැඩේ කරමු කියලා යෝජනා කරන්නේ.
එතකොට නම්බර් 9 කියන්නේ මම ලියපු ටෙලිනාට්‍ය ය. නිෂ්පාදකවරයකුගේ ආරාධනාවක් මත තමයි මම ඒක ලියන්නේ. දැන් මේ වැඩේදිත් මම චාමරට මේ වැඩේ යෝජනා කරනවා. චාමරට මේ වැඩේ සම්බන්ධයෙන් ලොකු අවධානයක් තිබ්බා සහ අවබෝධයක් තිබ්බා. චාමර කියන්නේ ටෙලිනාට්‍ය පනහකට වැඩිය නිෂ්පාදනය කරපු ජනප්‍රිය ධාරාවේ නිෂ්පාදකවරයෙක්. ඔහුටත් කාලෙක ඉඳලා වුවමනාවක් තිබ්බා ප්‍රාසාංගික ටෙලිනාට්‍යයක් කරන්න. එතකොට මම නිකං නිෂ්පාදකවරු අමාරුවේ දාන වැඩ කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් විශ්වාස කරනවා වැඩක් කරන කොට ඒක හරියට කරනවා කියලා. ඉතිං හරියට කරපු වැඩකට විකාශය කිරීමේ හැකියාව තියෙනවා කියලත් මම හිතනවා. ඒ බලාපොරොත්තුවත් එක්කයි මේ වැඩේ කළේ.
මම ස්වාධීන රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා මම වගේ පොඩි අධ්‍යක්‍ෂවරයකුට මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධව.
ඔය අතරේ ධනා රංගනයෙන් දායක වුණ Room No.106 චිත්‍රපටයත් තිරගත වෙනවා. ඒ ගැනත් ඔහු කතා බහ කළා.
Room No.106 චිත්‍රපටයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේක සත්‍ය කාතවක්. මම හිතනවා සත්‍ය කතාව ඇතුළෙත් සහන් වගේ පොලිස් නිලධාරියෙක් ඉන්න ඇති. ඔහුට මේ ප්‍රශ්නය ඇත්තටම විසඳන්න තිබ්බා. සහන් වගේ නිලධාරියකුට මේ ප්‍රශ්නය විසඳන්න බැරි වුණේ ඇයි කියන ප්‍රශ්නයට උත්තරය හොයාගන්න නම් Room No.106 චිත්‍රපටය නරඹන්න සිද්ධ වෙනවා. අනික මම හිතනවා ඇත්තටම එදත් මේ වගේ දක්‍ෂ පොලිස් නිලධාරියෙක් ඉන්න ඇති කියලා.
Room No.106 චිත්‍රපටයට ධනංජයට ආරාධනා ලැබුණු ආකාරයත් මතක් කළා.
Room No.106 චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වන සුරංග ද අල්විස් මට අභියෝගයක් විදිහටයි සහන්ගේ චරිතය ලබාදෙන්නේ. එතකොට මම මදර් ලංකා, බුද්ධ මාතා වගේ චිත්‍රපටවල රඟපාලා තිබුණේ. ඒ කියන්නේ පෙළගැස්මක තිබුණේ. එතකොට ඔහු මට දෙන අභියෝගය තමයි ස්වාමින් වහන්සේ නමක් හැටියට බුද්ධ මාතා එකේ ඉන්න පුළුවන් නම් සංක්‍රාන්ති ලිංගිකයෙක් හැටියට, මදර් ලංකා එකේ ඉන්න පුළුවන් නම් මෙන්න මේකත් කරපන් කියලයි මට ඒ චරිතය භාර දුන්නේ. මොකද ඔහු කිව්වා නළුවෙක්ට ඒ තුනම කරන එක හරි අමාරු වැඩක් කියලා. ඇත්තටම සුරංග මට ලබාදෙන්නේ අභියෝගයක්. සුරංගගේ වචනවලින්ම කියනවා නම් මම හරිම සාර්ථකයි.
මෙහි රූගත කිරීම් සිදු කළ ආකාරය පිළිබඳවත් ධනා මෙහිදී කතාබහ කළා.
මම මේ වකවානුවේදීම තමයි ‘බුද්ධ මාතා’චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා කොණ්ඩය තට්ටය ගාලා සහභාගි වෙන්න හිටියේ. ඒ නිසා සුරංග බොහොම හොඳට කළමනාකරණය කරලා ඒ ටික තමයි මුලින්ම රූගත කිරීම් සිදු කළේ. සිනමා අත්දැකීමක රූගත කිරීම් කියන්නෙත් බොහොම සුන්දර අවස්ථාවක්. මෙහි චරිතය ටිකක් වෙනස් විදිහකට පවත්වාගෙන යන්න සිද්ධ වුණා. සිනමාපටය බැලුවොත් ඒක තේරෙනවා. මම හිතනවා අපි හොඳ වැඩක් කළා කියලා.
ධනංජය සිරිවර්ධන කියන නළුවා මේ දවස්වල මොකද කරන්නේ කියන පැනයටත් ඔහු පිළිතුරක් දුන්නා.
සමහර විට තාප්පෙන් පනින්න ඉඩ තියෙනවා අපි ඒක ඉස්සරහට බලමු. මේ ටිකේ නම් මෙහි රංගන වැඩකටයුතුවලට වඩා මෙහි පිටපතේ වැඩකටයුතු තමයි සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. තාප්පෙන් පැන්න එකත් එක්කයි මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ.
තවත් එක් සිනමාපටයක් සඳහා සූදානම් වෙනවා. ඒක සැප්තැම්බර් විතර වෙයි.
රංගන ජීවිතය දෙස ආපසු හැරී බැලුවහම හිතෙන අදහස ගැනත් ඔහු අපිට කිව්වා
මම එනකොට නම් මේ කිසිම දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ආපු කෙනෙක් නෙමෙයි. මට ඕනෑ වුණේ නළුවෙක් වෙන්න. නමුත් ආපස්සට හැරී බැලුවොත් මම නළුවෙකුත් වෙලා, නිවේදකයෙකුත් වෙලා, රචකයෙකුත් වෙලා, අධ්‍යක්‍ෂවරයෙකුත් වෙලා. ඉතිං මට හිතෙනවා තවම මම ඒ කවුරුවත් නෙමෙයි කියලා. මම මේ හැමදෙයක්ම අත්දැකීමක් හැටියට අරගෙන යන කෙනෙක්. මට ඕනෑ යහපත් සමාජයක් උදෙසා හොඳ කලාකාරයෙක් බවට පත්වෙන්න. ඉතිං අපි අතිනුත් වැරදි සිද්ධ වෙනවා. ඒවා මිනිස්සුන්ට සිද්ධ වෙන සාමාන්‍ය දේවල්. අවසාන වශයෙන් මම කැමැති, ධනංජය කියන්නේ හොඳ කලාකාරයෙක් වෙන්න.
ධනාගේ ජීවිතය ගැන ආපසු හැරී බැලීමට දැන්ම සූදානම් ද කියලා ඇහැව්වහම දුන්නේ හරි අපූරු උත්තරයක්.
ජීවිතය ආපස්සට හැරෙන්න මට හිතෙනවා තවම වේලාසන වැඩියි කියලා. මම එක්තරා දවසකදී ආපස්සට හැරෙයි. හැබැයි ඒ හැරෙන මොහොත දක්වා මම ආපස්සට හැරෙන එකක් නැහැ. එතකම් මම ආපස්ස බලන්නේ නැතිව ඉස්සරහට යනවා.
මේතාක් ජීවිතයේ ගත්තු තීන්දු තීරණ ගැනත් කියන්න ඔහු පැකිළුණේ නැහැ.
ජීවිතයේ ගත්තු කිසිදු තීරණයක් පිළිබඳව දුකක් නැහැ. වේදනාවක් තියෙනවා. මම හිතනවා අපි තව අවුරුදු විස්සක් ආපස්සට ගියත් ඒ තීරණය අපි ඒ වේලාවේ ගනීවි. මොකද ඒක තමයි ජීවිතය කියන්නේ. ජීවිතය කියන්නේ හරිම තීරණ එක්ක එන ගමනක් නෙමෙයි. මම හිතනවා මම ඇතුළුව ඔබ ඇතුළුව අපි හැමෝම ජීවිතයේ එක් තැනකදී තාප්පෙන් පැන්නා කියලා.
ධනා මෑත කාලයේ හරි නිහඬව වැඩ කරගෙන ගියේ ඇයි කියලා ඇහැව්වහම ඒකටත් කියන්න කතාවක් ඔහුට තිබුණා.
එහෙම නැහැ, නිහඬත් නැහැ. මම කොහොමටත් සද්ද දදා හිටපු කෙනෙක් නෙමෙයි. මගේ වැඩක් ආවහම මම උපරිමයෙන් කරනවා සම්මාන ලැබුණත් නැතත්. සම්මාන නොලැබුණ නිසා සාමාන්‍යයෙන් ප්‍රේක්‍ෂකාගාරයට පොඩි සද්දයක් දැම්මා, ඉතිං ඒවාට උත්තර දුන්න ඇරෙන්න මට ලැබෙන වැඩේ හොඳට කරන එකයි සතුට. ඒ නිසා සද්ද බද්ද අඩුවෙන් වැඩ ටිකක් වැඩියෙන් කරන්න තමයි කැමැති.
සම්මාන උළෙල ගැනත් ප්‍රශ්නයක් ඇහැව්වහම හරි හයියෙන් හිනාවෙලා මේ වගේ කතාවක් කිව්වා
මාසෙකට සැරයක් දැන් සම්මාන උළෙලවල් තියෙනවා. මේ මාසේ බැරි වුණොත් ලබන මාසේ. අනේ මන්දා මම ඒ ගැන කතා කරන්න එච්චර සතුටු නැහැ. මෙ සැරෙත් මම හොඳම සහාය නළුවට නිර්දේශ වෙලා ඉන්නවා. ස්තූතියි.
මම ඇහැව්වා ‘ඉරගිනිමද්දහනට’ ද කියලා. ඒකට ධනා මෙහෙම කතාවක් කිව්වා.
ඔයා ඒ ප්‍රශ්නය ඇහැව්වා කියලාත් දාන්න. හැමෝම අහන ප්‍රශ්නය තමයි ඉරගිනිමද්දහනට ද නිර්දේශ වෙලා තියෙන්නේ කියලා. නැහැ. ඉරගිනිමද්දහමට නෙමෙයි මම නිර්දේශ වෙලා තියෙන්නේ. ඒක තමයි මගේ ප්‍රේක්ෂකයන්ට ඔබ ඇතුළු මාධ්‍යවේදීන්ට තියෙන ලොකුම ප්‍රශ්නය.
ඔබ ඒ කතාව අහපු එකත් හොඳයි. ඔබ අප්ඩේට් එකේ ඉඳලා තියෙනවා. මිනිස්සු බලාපොරොත්තු වුණා ඉරගිනිමද්දහන වෙනුවෙන් මට සම්මානයක් ලැබෙයි කියලා. නමුත් පුදුමය තමයි මම නිර්දේශවල වෙලා තියෙන්නේ ඉරගිනිමද්දහනට නොවීම.
ධනංජයගේ ජීවිතයේ ඉදිරි සැලසුම් මොන වගේද සිද්ධ වෙන්නේ කියන කාරණාවෙන් අපි මේ කතාබහ අහවර කරන්න අදහස් කළා.
මම එහෙම ලොකු දේවල් ප්ලෑන් කරන කෙනෙක් නෙමෙයි. මගේ ටාගට් එක තාප්පෙන් පැන්නා තමයි. ඒක සාර්ථකව නිම කරන්න තමයි මට අවශ්‍ය. ඒ සඳහා මට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම මතක් කරන්නේ නැතිවම බැහැ. චාමර සමරවික්‍රම සහ චාමර කොඩිතුවක්කු. ඊට අමතරව මංජුල කුමාරතුංග කැමරා ශිල්පියා. මහේෂ් ප්‍රමුදිත සංස්කරණ ශිල්පියා. දිනේෂ් හග්ගල්ල සහාය අධ්‍යක්‍ෂවරයා. ධනුක හේවා විතාරණ නිෂ්පාදන කළමනාකරු. දිලීප කලා අධ්‍යක්‍ෂ. මොහාන් වේශ නිරූපණ ශිල්පියා ඇතුළු මගේ නළු නිළි කණ්ඩායම ගැනත් දැඩි විශ්වාසයක ඉන්නවා.
දිනේෂ් විතානඡායාරූප – සජීව ලක්‍ෂාන්