පියුමිට බිස්නස් අමතක කළ බෝල්ට් ඇණයක්

gossiplanka image 1
 


පියුමි ශ්‍රීනායක කාලෙකට පස්සෙ ‘බෝල්ට් ඇණයක්’ එක්ක පුංචි තිරයට ඇවිත්. වෙනස්ම පිටපතක් නිසා කාලෙකට පස්සෙ භාරගත්ත මේ වැඩේට ලැබෙන ප්‍රතිචාර නම් ඉතාම ඉහළයිලු.එකම චරිතයකට කොටු වෙන්න බැරි නිසාම එක වගේ චරිත ගොඩක්ම මගහැරපු පියුමි, ඒ කාලය බිස්නස් වැඩවලට යොදාගත්තලු.මේ තියෙන්නෙ ඒ ගැන වැඩිදුරටත් අපි කරපු කතාබහ.


පියුමි ‘බෝල්ට් ඇණයක්’ එක්ක ගෙවෙන ජීවිතේ කොහොමද?


ඇත්තටම සතුටුයි. මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ බෝල්ට් ඇණයක් එක්ක නිසා ටිකක් බිසී.


කොහොමද මේ ඇණේ පැටලෙන්නෙ?


මාව මේකට පටලවන්නෙ ජනක සම්පත් තඹරවිල අයියා. මුලින්ම මම ෆීල්ඩ් එකට එන්නෙත් ජනක සහ සුධාර අයියලා නිසා. ඉතිං ජනක අයියගෙ වැඩක් කිව්වට පස්සෙ මම ඕකේ වුණා. චාලක අයියා පිටපත ලියන්නෙ, ඩිල්ෂාන් අයියා අධ්‍යක්‍ෂණය කරන්නෙ. හොඳ වැඩක් කියල දන්න නිසා ඉක්මනින්ම කැමති වුණා.


මේ වෙනකොට ෆීඩ්බැක් එක මොන වගේද?


මම හිතන්නෙ මේ දවස්වල පීක්ම ටෙලි ඩ්‍රාමා එක බොල්ට් ඇණයක් කියල. මොකද ලැබෙන ප්‍රතිචාර ඉතාම හොඳයි. යන යන තැන කතා වෙන්නෙ බෝල්ට් ඇණයක් ගැන. මම ගියොත් මිනිස්සුන්ට මතක් වෙන්නෙ බෝල්ට් ඇණයක්.


අමායා මොන වගේ කෙනෙක්ද?


අමායා කැකිරාවෙ ඉඳන් කොළඹ එන්නෙ කැම්පස් යන්න. අගහිඟකම් නිසා ඉගෙනගන්න අතරතුර ඇය ස්පා එකක වැඩට යනව. ඇයට ඉන්නෙ හරිම ටොක්සික් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්. හැම දෙයක් ගැනම හොයනව බලනව. නමුත් අමායාගේ ජොබ් එක අනුව ඒ වැඩි ආදරය කරදරයක්. මේ සියල්ල අතර අමායාගේ ජීවිතේ දෝලනය වෙනහැටි තමයි කතාවෙන් දිගහැරෙන්නෙ. ඒ තුළ තියෙන්නෙ ගැහැනු ළමයෙක් මෙවැනි තැනකට වැටුණොත් ඇයගේ ජීවිතයට මොකද වෙන්නෙ කියන දේ. සමාජයෙන්, ගෙදරින්, තමන්ගෙ ආදරයෙන් තමන්ට එන බලපෑම් මොන වගේද කියන දේ ඉතා හොඳින් පැහැදිලි කෙරෙනව.


ස්පා රංගනය ගැන දෙවරක් හිතුවද?


නැහැ… ඒ තරම් දුරට හිතන්න අවස්ථාවක් ඇති නොවුණෙ ස්පා එකේ සීන්ස් ලියැවෙන්නෙ එක්තරා සීමාවකට. අපි එතැන වැඩකරන හැටි, සේවාව සපයන හැටි රඟපාන්න නැහැ. ඒ ගොඩක් දේවල් තියෙන්නෙ දෙබස්වල විතරයි.


පියුමි ටෙලියකින් දකින්න ලැබෙන්නෙත් කාලෙකින්?


ඔව්, විසේකාරී ටෙලියෙන් අවුරුද්දකට ටිකක් අඩු කාලයකට විතර පස්සෙ බෝල්ට් ඇණයක් භාරගන්නෙ. අපි එක ටෙලි නාට්‍යයක චරිතයක් කළාම ඉන් පස්සෙ ලැබෙන ආරාධනාවලත් තියෙන්නෙ ඒ වගේම චරිත. එතකොට ඩිරෙක්ටර්ස්ලට, රයිටර්ස්ලට කිසිම බරක්පතළක් නැහැ, දැකල තියෙනව ඒ චරිතය හොඳින් කරනව කියල ඒ වගේම එකකට ගන්නව. ඒකෙන් අපිට වැඩක් වෙන්නෙ නැහැනෙ. ඒ නිසා මේ වගේ ආරාධනා ගොඩක් මගහැරල තියෙනව. ඉවසීමෙන් ඉඳල හොඳ චරිතයක් තෝරාගෙන භාරගන්නව වගේම ඒ නාට්‍යයත් හිට් වෙනව.


ව්‍යාපාරයට මුල්තැන දීමත් රංගනයෙන් ඈත් වෙන්න හේතුවක් වුණා?


ඔව්, මගේ හර්බල් ඔයිල් ව්‍යාපාරය ටිකක් දියුණු කරගන්න වැඩි කාලයක් යොදවන්න සිදු වුණ නිසා රංගනයෙන් ඈත් වෙලා හිටියා. නමුත් හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා කියන තැන මම හිටියා. මේ අතර ආපු ගොඩක් නිර්මාණ කරනවාට වැඩිය මගේ ව්‍යාපාරය වෙනුවෙන් ඒ කාලය යොදවන එක හොඳයි කියල හිතුවත් බෝල්ට් ඇණයක් නිසා ව්‍යාපාරයත් අමතක වුණා.


ඔව්, ඇත්තටම ඒක මම ඉක්මනින්ම ගත්ත හොඳ තීරණයක්.


සෙට් එකේ හොඳ පිරිසක් ඉන්නව?


ශෙහානි, පියුමි, සංජය, ජෙනට් ඇතුළු පිරිසක් එක්ක අපි ඉන්නෙ හොඳම යාළුවො වගේ. රංගනය තුළ මගේ මොනව හරි වරදක් දැක්කොත් අපි කතාවෙලා හොඳම විදිහට චරිතය ගොඩනගා ගන්නව. ඒකෙන් වෙන්නෙ හොඳම නිර්මාණයක් එළියට එක එක. අපි දකිනව ගොඩක් තැන්වලදි ආටිස්ට්ල එකිනෙකාට වැඩියෙන් ස්කෝර් කරන්න ඕන කියල වැඩකරන හැටි. අපි හතරපස්දෙනා කවදාවත් එහෙම හිතල නැහැ. මම සීයක් ගැහුවොත් එයාලත් සීය ගහන්න ඕන. නිර්මාණයක සාර්ථකත්වය තියෙන්නෙ එතැන.


පියුමිත් කට්ටක් කාලයි මෙතැනට ආවෙ?


අපේ ජීවිතය ඉස්සරහට ගෙනියන්නෙ අපි ලබන අත්දැකීම්. පොඩි කාලෙ ඉඳන්ම ලබන අත්දැකීම් වලින් අපි ශක්තිමත් වෙනව. අපි ධෛර්යමත් වෙනව. දවසක ස්ථාවර මට්ටමකට ආවොත් ඒක දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. මොකද අපිව කාටවත් වට්ටන්න බැහැ. වැටෙන්න ගියත් කොහොම හරි ඒකෙන් ගොඩ යන්න පුළුවන් අත්දැකීමක් අපිට තියෙනව. කට්ටක් කන මනුස්සය දියුණු වෙන්නෙ ඒකයි. ඒ නිසා මම හිතනව ගැහැනු ළමයකුට විශේෂයෙන්ම උගත්කම වගේම සමාජ දැනුමත් තියෙන්න ඕන. මමත් ඒ වගේ හොඳ ගමනක් ආවා කියල අද මම විශ්වාස කරනව.


කැපිලි කෙටිලි තිබුණද?


මම ඉන්න විදිහත් එක්ක කාටවත් මාව කපන්න හිතෙන්නෙ නැහැ. නැති තැන හොර රහසේ කපනවද කියල මම දන්නෙ නැහැ. නමුත් මගෙත් එක්ක වැඩකරන සහෝදර ශිල්පීන් මට ගොඩක් ආදරෙයි සහ මම එයාල එක්ක ඉන්න විදිහක් තියෙනව. ප්‍රශ්න ගේන්නෙ නැහැ. මගෙ ඊගෝ එකක් තිබුණත් ඒක ගොඩක් අඩුකරගෙන තමයි ඔවුන් එක්ක ජීවත් වෙන්නෙ.


පියුමි රංගනය, ව්‍යාපාර නොකළා නම්?


එහෙම වුණානම් මොනවා කරයිද කියල මට හිතාගන්න බැහැ. සාමාන්‍ය කාන්තාවක් විදිහට දරුවෙක් හදාගෙන ඉඳීවි කියල හිතනව. නමුත් දැන් මම වෙනස්ම කෙනෙක්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post