මම ගොඩක් සතුටින් ඉන්නවා – උමයංගනා

gossiplanka image 1
 


ඇය පුංචි තිරයේ අහිංසකාවිය යි. කලක් ටෙලිනාට්‍යයට සිනමාවට නැතිවම බැරි වූ ඇය වර්තමානයේ තරමක් නිහඬ ජීවිතයක් ගෙන යයි. එළැඹෙන 24 වැනිදා සිට ඇය ප්‍රධාන චරිතයක් නිරූපණය කරන මොණර විලක් සිනමා පටය තිරගත වේ. රුව දුටු සැණින් ඔබ ඇයව හඳුනයි. ඇය නමින් උමයංගනා වික්‍රමසිංහයි.


කොහොමද මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ?


ඇත්තට ම මම කාලෙකට පස්සේ ටිකක් නිදහසේ සතුටින් කාලය ගෙවනවා. ඒ වගේම උදයසිරි වික්‍රමරත්නගේ 361 වේදිකා නාට්‍ය සමග රට වටා දර්ශන වාරවලට සහභාගි වෙනවා.


ටෙලිනාට්‍ය රඟපෑම අතහැරියේ ඇයි?


ටෙලි නාට්‍ය අතහැරියේ නැහැ. වැඩ කිහිපයක් ඉදිරියේ කරන්න නියමිතයි. කොටස් ගණන වැඩි නොවී මට කරන්න පුළුවන් පිටපතක් ආවොත් මම භාර ගන්නවා. හැබැයි ඉස්සර වගේ ගොඩක් කාර්යබහුල වෙන්න ටිකක් කම්මැළි වෙලා තියෙනවා. ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න පුළුවන් වාතාවරණයක තමයි දැන් කාලය ගතවන්නේ.


ඒ කියන්නේ තවමත් ඔබට ආරාධනා ලැබෙනවා?


අනේ ඔව්. ආරාධනා තවමත් ලැබෙනවා. ඒ සතුටුයි.


ඔබ අවසන් වතාවට රඟපෑවේ මොන නිර්මාණයේද?


මට මතක විදියට ටෙලිනාට්‍ය ගත්තොත් අනිච්චාවත සංකාරා නාට්‍යයේ.


චිත්‍රපට කිහිපයකට ම දායක වුණා. ඩෙන්සිල් ජයවීර මහත්මයාගේ වස්සානයේ සෙනෙහස. සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂවරයාගේ ටවුමේ ඉස්කෝලේ ඒ අතුරින් කිහිපයක්.


කාලෙකට පස්සේ ඔබ ප්‍රධාන චරිතයක් රඟපෑ චිත්‍රපටයක් තිරගත වෙනවා නේද?


අනේ ඔව්. රසික ලියනගේ නිර්මාණකරුවාගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වන මොණර විලක් හි වන්දනා කියන චරිතය. ජීවිතයේ හැලහැප්පීම් මැද ජීවත්වන කාන්තාවක් වටා තමයි රසික මේ පිටපත රචනා කරලා තියෙන්නේ.


නිළි රැජින මාලිනී ෆොන්සේකා සමගත් ඔබට මෙහිදී රඟපාන්න ලැබෙනවා ?


මාලනී ෆොන්සේකා මහත්මිය මට මුලින්ම මුණගැහෙන්නෙ මට මතක විදිහට 2006 වසරේ ඇය අධ්‍යක්ෂණය කරපු දෝණි ටෙලිනාට්‍යයෙන්. ඒ මීට වසර 20කට පමණ පෙර. එහිදී ඇය යටතේ රංගනයෙන් දායක වුණා. ඇයත් එක්ක පසුකාලීනව දමයන්ති ෆොන්සේකා මහත්මිය අධ්‍යක්ෂණය කරපු රං කිරි අම්මා ටෙලි නාට්‍යයේත් බොහොම සමීපව රංගනයෙන් ඇසුරු කරන්න ලැබුණා. එය ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට රූපවාහිනි තිරයෙන් දැකගන්න ලැබෙයි. මොණර විලක් සිනමාපටයෙන් මෑතක දී ඇයත් සමග වැඩ කරන්න ලැබීම ගොඩක් සතුටුයි. හෙළ සිනමාවේ ඇයගේ රුව දකින්න කැමැති රංගනය රසවිඳින්න කැමැති ප්‍රේක්ෂකයන්ට වගේම සනත් ගුණතිලක මහත්මයත් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන්ටත් මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම ප්‍රවීණ ජායාරූප ශිල්පී දයාන් විතාරණ සහ අප අතර අද නැති දක්ෂ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම තමයි හැත්තෑව දශකයේ සිනමාවටත් සංගීතයටත් හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්නේ. ගීත කෝකිලාව ලතා වල්පොල මහත්මිය විසින් චිත්‍රපට පසුබිම් ගායනා කරන ලද අවසන් චිත්‍රපටයත් මෙයයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂ රසිකට ඕනෑ වුණේ අපේ චිත්‍රපට ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය නියෝජනය කරන චිත්‍රපටයක් කරන්න. ඔහු පැරණි සිනමා රසිකයෙක්. මං හිතනවා ඒ යුගයට ආස කරන සිනමා රසික රසිකාවන් මෙම චිත්‍රපටය නරඹයි කියලා.


පුංචි තිරයේ අහිංසකාවිය ලෙස ඔබ අබිසෙස් ලබන්නේ ඉතින් ඊට පස්සේ දේදුනුගෙන් පසුවද?


ඒක තමයි ප්‍රේක්ෂකයන්ගේ ආදරය. ඉතින් ඊට පස්සේ කියන්නේ ගොඩක් ජනප්‍රිය චිත්‍ර කතාවක්. ජනප්‍රිය චිත්‍ර කතාවල ඉන්න චරිත ඒ විදිහට ම මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඒ පරිපූර්ණත්වය ටෙලිනාට්‍යය තුළ තියෙන්නට ඇති. ඉතින් ඊට පස්සේ කරද්දී ජීවිතය ලස්සනයි නාට්‍යයේ ධනුගේ චරිතයට ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබිලා තිබුණේ.


පුංචි තිරයෙන් මඳක් ඈත් වුණත් ඔබට තවමත් හොඳ ප්‍රේක්ෂක කණ්ඩායමක් ඉන්නවා නේද?


පසුගිය දවස්වල නිහඬව ඉද්දි මං පිළිබඳ යම් යම් සටහන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. තාත්තා තමයි ගොඩක් ඒවා මට එවලා තිබුණේ. තාත්තා කිව්වා, බලන්න ඔයාට තියෙන ආදරේ කොච්චරද? කියලා කමෙන්ට් එහෙම කියවන්නත් කිව්වා. හුඟක් කමෙන්ට් තිබුණා. ඒවා බොහෝමත් ම ආදරණීයයි. ඒකෙන් දැනෙනවා මගේ ප්‍රේක්ෂකයෝ තවමත් මට ආදරෙයි කියලා. හැබැයි ඉතිං යථාර්ථය තමයි සියලු දේ වෙනස් වෙමින් පවතිනවා කියන කාරණය. කිසිම දෙයක් ස්ථිරව පවතින්නෙ නෑ කියන ස්වභාවය පසුකාලීනව මම තේරුම් ගත්ත දෙයක්. ඉතිං ජනප්‍රියත්වය කියන කාරණයටත් ඒක වලංගුයි.


ඔබ වර්තමානය වන විට වේදිකාවට වැඩි බරක් දීලා කියලා හිතෙනවා?


වේදිකාව කියන්නේ සජීවී මාධ්‍යයක්. ඒකට මම ගොඩක් ප්‍රිය කරනවා.


රජා මං වහලා ඇතුළු මම දායකත්වය ලබාදුන් සියලු නාට්‍යවලට මම දායකත්වය ලබාදුන්නේ හදවතින්මයි. ඒ නාට්‍ය 2016 වසරේ සම්මානයට ද පාත්‍ර වුණා.


කොහොමද ඔබේ පුද්ගලික ජීවිතය ගෙවෙන්නේ?


මමයි මගේ මහත්තයයි අපේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් එක්ක බොහොම සන්තෝසෙන් ජීවත් වෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ.


ප්‍රසාද් සමරතුංගඡායාරූප – ප්‍රවීන් ලෝචන

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post