කලාවෙන් උපයාගත් දෙයක් නෑ -ලූෂන් බුලත්සිංහල

gossiplanka image 1
 

 


ජීවිතයේ හැම දෙයක් ම කළේ කලාව සහ දරුවන් වෙනුවෙනුයි. බුද්ධිමය දේපළ අයිතිය නැති වෙලා යද්දි ඒ වෙනුවෙන් සංවිධානයක් ඇති කරලා ජාත්‍යන්තර නීතියේ රැකවරණය අපේ කලාකරුවන් වෙනුවෙන් රැක දෙන්න අපි කටයුතු කළා. එහි මූලික සංවිධාන කටයුතු කළේ මගේ පුතා හර්ෂ බුලත්සිංහල. නමුත් අපේ වෙනත් සංගමයක් හැදිලා මේ සංවිධානය අඩාල කරන්න අපේම කණ්ඩායමක් කටයුතු කළ නිසා ඒ උත්සාහය වතුරේ ගියා. මේ නිසා අපේ නිර්මාණවල සුරක්ෂිත බව අද නැති වෙලා තියෙනවා. මගේ ‘පිනිබර යාමේ‘ ගීතය වෙනුවෙන් මම 2011දී පමණ නඩුවක් දැම්මා. මම ඒ ගීතය ගුවන්විදුලි වැඩසටහනක් සඳහා නොමිලේ ලියා දුන්න එකක්. මේ නඩුව අවුරුදු 14ක් තිස්සේ ඇදී ගියා. වන්දි මුදල ගෙවන්න කියලා 2026 මාර්තු 26 වැනිදා අභියාචනාධිකරණය තීන්දුව දුන්නා. තවම නම් ලැබුණේ නැහැ. ජීවත් වූ නිවසත් විකුණලා මගේ නංගිගේ ගෙදර පුංචි කාමරයක අද මම ඉන්නේ. මම කලාවෙන්වත්, තනතුරුවලින්වත් හම්බ කරපු දෙයක් නැහැ.


1971 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදකයකු ලෙස මම සේවය කළා. එතැනින් 1982 දී ජාතික රූපවාහිනියට මාරු කර යැව්වා. බොහෝ හැල හැප්පීම්, බාධක, කරදර, කඩාවැටීම් මධ්‍යයේ වැඩ කරගෙන ගියත් වසර දහයක් ගත වෙන්නත් පෙර මගේ වැඩ තහනම් කළා. නැවතත් රූපවාහිනී සංස්ථාවේ සේවය කරන්න ලැබුණා. 1997දී මාව අනිවාර්ය නිවාඩු යැවුවා. ඒ තරම් දේවල් දරාගෙනත් මම මගේ කලාව කරගෙන ගියා. ඒත් මගේ හිතේ තිබුණු පසු බෑම්, කළකිරීම් අනන්තයි, අප්‍රමාණයි. මගේ දුව ඉන්ද්‍රචාපා, පුතා හර්ෂ ලංකාවේ නැතත් ඒ දෙන්නම ඉතාම හොඳින් විදේශගතව ජීවත් වෙනවා. මගේ දුක සැප බලනවා. එයාලා වෙනුවෙන් වියදම් කළ දේවල් අපතේ ගියේ නැහැ. අනුලාත් මිය ගියාට පස්සේ දරුවෝ දෙන්නා නිතරම ලංකාවට එන්නේ නැහැ. මම පුළුවන් වෙලාවකට ඒ දෙදෙනා සිටින රටවලට ගිහින් ටික දවසක් ඉඳලා එනවා. පසුගිය කාලයේ නිතර සෙම් අමාරු, අත පය කැක්කුම් වගේ අසනීප තිබුණා. මේ වගේ කායික, මානසික හීනතාවන් යටතේ කවුරුහරි අහනවා නම් ‘ඇයි ඔයා දැන් නිර්මාණ කරන්නේ නැත්තේ….‘ කියලා මං මොනවා කියන්න ද…, එහෙම නිර්මාණයක් කරන්න තරම් මානසික නිදහසක්, සන්සුන් පරිසරයක් මට දැන් දැනෙන්නේ නැහැ.“


එහෙම කියන්නේ අපේ රටේ සිනමාව, වේදිකාව, රූපවාහිනිය රංගනයෙන් මෙන් ම නිර්මාණකරණයෙන් ද ජය ගත් ප්‍රවීණ ගී පද රචකයකු, නාට්‍යකරුවකු, අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු වන කලාශූරී ලූෂන් බුලත්සිංහල කලාකරුය.. මෙරට නාට්‍ය ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් බවට පත් කරවූ නිර්මාණයක් වශයෙන් ඔහු නිර්මාණය කළ ‘තාරාවෝ ඉගිලෙති‘ වේදිකා නාට්‍ය දශක ගණනාවක් ගතව ඇතත් අදටත් එහි නවමු බව නොනැසී පවතී. එහි වූ ගීත බෙහෙවින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් අතර ‘සෝබාව දේ මෙපුර‘, ‘මඩේ ළගින තාරාවන්‘ යන ගීත නාට්‍යයට පමණක් සීමා නොවී ගුවන්විදුලිය, ප්‍රසංග වේදිකාව ද ජය කෙහෙළි නංවන්නට සමත් විය. ඔහුගේ ‘රතු හැට්ටකාරී‘ නාට්‍ය ද එසේ ම ජනප්‍රිය වූ අපූරු ගීත ඇතුළත් වූ වේදිකා නාට්‍යයකි. ‘දීකිරි දීකිරි‘, ‘යස ඉසුරූ පිරුණු තැනා‘ වැනි ගීත ලූෂන් බුලත්සිංහලයන් කරළියට ගෙන ආවේ ‘රතු හැට්ටකාරි‘ නාට්‍යයෙනි. මෙම නාට්‍යයට 1974 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය, හොඳ ම සංගීතය, හොඳ ම නළුවා, හොඳම පිටපත යන සම්මාන හිමි විය. සිනමා නිර්මාණ රැසකට ද සම්බන්ධ වී ඇති ඔහු මෑතකදී රඟපෑ ‘හෝ ගානා පොකුණ‘ චිත්‍රපටයේ විදුහල්පති භූමිකාව ද සාර්ථක ඉදිරිපත් කිරීමකි. ලූෂන් බුලත්සිංහලයන් ලියූ ගී පද රචනා අතර ‘රජ මැඳුරක ඉපදී සිටියා නම්‘, ‘දම් පාටින් සඳ‘, ‘සිරියහනේ ලණු ඉහිරී‘, ‘ඔසරි පොටෙන් අදින්නෙපා‘, ‘කොළොම්තොට නැත මහලු වී‘, ‘කන්‍යාවි‘, ‘දෙතොල නොකී දේ‘ වැනි ගීත මෙරට ගීත ඉතිහාසයේ නවමු මං පෙත් විවර කළ ගීත බවට පත් විය.


“මම උපන්නේ රත්මලාන වෙඩිකන්ද ගම්මානයේ යි. මගේ තාත්තා රයිගම බුලත්සිංහලගේ මාර්ටින් පෙරේරා. අම්මා සෙනරත් ගොඩගේ ජේන් නෝනා. මට සහෝදරයන් තිදෙනයි, සහෝදරියන් දෙදෙනායි. මම මූලික අධ්‍යාපනය ලැබුවේ රත්මලාන ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන්. අපේ පාසලේ වාරයක් අවසාන වෙද්දි විවිධ ප්‍රසංගයක් පැවැත්වුණා. වැඩිහිටි ළමයි ඒ ප්‍රසංගයේදී නාට්‍ය, ගීත, විවිධ කතා, නැටුම් ආදිය ඉදිරිපත් කළා. මම ඒවා බොහොම කැමැත්තෙන් අහගෙන බලාගෙන හිටියා. කාලයක් යද්දි අපිත් ඒවාට ඉදිරිපත් වුණා. ඒ කාලේ ජනප්‍රිය වුණු චිත්‍රපට ගීත තෝරාගෙන මම ඒවට වචන දාලා ඒ ප්‍රසංගයේදී ගායනා කළා. ඒ කාලේ ලයනල් රණසිංහ කියලා ළමයෙක් අපේ පාසලේ හිටියා. එයා පොඩි පොඩි විහිළු නාට්‍ය ලියලා මාවත් සම්බන්ධ කරගෙ වාර අවසාන ප්‍රසංගයේදී අපි දෙන්නා රඟදැක්වූවා. එයා දවසක් මාව ගුවන්විදුලි සංස්ථාවට එක්කගෙන ගියා. ලයනල් ඒ වනවිටත් ගුවන්විදුලි ළමා නාට්‍යවල රඟපෑවා. පාසල් යන අතරතුරදීම ඉංග්‍රීසි ඉගෙන ගත්ත මම ගල්කිස්ස පොලීසිය පසුපස තිබුණු ශාන්ති කලා විද්‍යා පීඨයට ගියා. එහි ඉගැන්වූ ජෝසප් පෙරේරා නිර්මාණය කළ නාට්‍යයක මම හිඟන දරුවෙකුගේ චරිතයක් රඟපෑවා.


උසස් පෙළට අධ්‍යාපනය ලැබුවේ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ. ඒ අතරතුර අපේ විදුහලේ ළමයි සහභාගි කරගෙන ඒ කාලේ හිටපු විභාග කොමසාරිස් එල්. එල්. කේ. ගු‍ණතුංග මහතා අධ්‍යක්ෂණය කළ ‘අශෝකමාලා‘ නාට්‍යයේ ‘සාලිය‘ ලෙස මම රඟපෑවා. ඊට පස්සේ මම පාමංකඩ නවරංග සමුළුව කියලා යාළු මිත්‍රයින් සමඟ සංගමයක් හදාගෙන ‘මන්නඩියා‘ නමින් නාට්‍යයක් නිර්මාණය කළා. ඊට පස්සේ මම රචනා කළ ‘නොනිවෙන ගිනි‘ නාට්‍ය 1964 රාජ්‍ය නාට්‍ය උලෙළටත් ඉදිරිපත් කළා. 1966 දී බන්දුල ජයවර්ධනගේ ‘බිහිවන බෝසතාණෙනි‘ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළේ කුසලතා සම්මානයක් මට හිමි වුණා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘එලොව ගිහින් මෙලොව ආවා‘ නාට්‍යයේත් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මගේම නාට්‍ය නිර්මාණ ගණනාවක් කළා.


2017දි ‘වෙස්මුහුණ ගලවන්න‘ කියලා අලුත් නාට්‍යයක් කළා. ඒකට ගොඩාක් ආධුනික ශිල්පීන් සම්බන්ධ වුණා. ඒ අයගේ දැඩි ඉල්ලීම මත මම මේ නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙළට ඉදිරිපත් කළාම මේ නාට්‍ය ප්‍රතික්ෂේප වුණා. මට හරි පුදුම හිතුණා. මම ඒ වසරේ සියළුම නාට්‍ය එකක්වත් මඟ නොහැර බැලුවා. මගේ නාට්‍ය ප්‍රතික්ෂේප වෙන්න තරම් ඊට වඩා ප්‍රබල නාට්‍ය ඒ වතාවේ ඉදිරිපත් වෙලා තියෙන්න ඕනේ නිසා මටත් යමක් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතලා සියලු නාට්‍ය නැරඹුවා. නමුත් මගේ විනිශ්චයේ තරමට නම් ‘වෙස් මුහුණ ගලවන්න‘ නාට්‍යයට වඩා පහළ මට්ටම්වල නාට්‍ය කිහිපයක්ම ඒ නාට්‍ය අතර තිබුණා. මට තවදුරටත් හිතාගන්න බැරි වුණු නිසා මම විනිසුරු මණ්ඩලයේ සිටි හිතවත් කෙනෙකුගෙන් මගේ නාට්‍ය ප්‍රතික්ෂේප කරන්න සිදු වුණු හේතු මොනවාද කියලා ඇහුවා. ඔහු කිව්වේ මගේ නාට්‍ය ප්‍රචාරාත්මක නාට්‍යයක් නිසා ප්‍රතික්ෂේප කළ බවයි. ඉතිහාසය පුරාම නාට්‍ය කලාව අධ්‍යාපනය, ආගම වැනි යහපත් දේ ප්‍රචාරය සඳහා යොදගෙන තියෙනවා. බ්‍රෙෂ්ට් වැනි අය ප්‍රඥාව ප්‍රචාරයට එය යොදාගෙන තියෙනවා. මා උත්සාහ කළේ අපේ රටේ ජාතික සංහිඳියාව පිළිබඳ සෞන්දර්යාත්මක හැඟීමක් ‘වෙස්මුහුණ ගලවන්න‘ නාට්‍යය මඟින් ප්‍රචාරය කරන්න. එය නරක දෙයක් ද කියා මම ඇසුවාම මගේ හිතවතා නිහඬ වුණා.‘‘


ලූෂන් රඟපාන්නට, නාට්‍ය රචනයට, නාට්‍ය නිර්මාණයට, ගායනයට සේ ම ඔහු දක්ෂ බටනළා වාදයෙක් ද වේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘පේමතෝ ජායතී සොකෝ‘ නාට්‍යයේ ඔහු වාද්‍ය වෘන්දයට එක් වූයේ බටනලා වාද්‍ය ශිල්පියෙකු ලෙසිනි. එසේම ලූෂන් චිත්‍ර කලාවෙහි ද සහජ කුසලතා දැක්වූ අයෙකි. පාසල් අධ්‍යාපනය අතරතුර 1958 දී ලූෂන් රජයේ ලලිත කලායතනයට සම්බන්ධ වන්නේ චිත්‍ර ශිල්පය හැදෑරීම සඳහාය. ඔහු මහත් ඕනෑකමින් එහි චිත්‍ර කලාව හැදෑරුවේය. එහෙත් ඒ ගමන මාස කිහිපයකට පමණක් සීමා විය. “පුතේ උඹට චිත්‍ර ඉගෙන ගන්න යන්න දෙන්න මට සල්ලි නැහැ. උඹ ආයෙමත් ඉස්කෝලේ පලයන්“ කියලා තාත්තා කිව්වා. ලලිත කලායතනයේ ගුරුවරුන් දැඩි ලෙස එපා කිව්වාත් මම ඉන් ඉවත් වෙලා ආයෙමත් පාසල් යන්න පටන් ගත්තා. විශ්වවිද්‍යාලයට යවන්න මුදල් නැති නිසා රස්සාවක් කරමින් ඉගෙන ගන්න බලන්න කියලා තාත්තා කිව්වා. උසස් පෙළයි, රජයේ ලිපිකරු විභාගයයි දෙකම මම එකම අවුරුද්දේදී කළා. ලිපිකරු විභාගය සමත් වෙලා අඹේවෙල රජයේ ගොවිපොළේ ලිපිකරුවකු ලෙස රාජකාරි ආරම්භ කළා. ඒ අතරතුර බාහිර ශිෂ්‍යයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වුණා. මට අනුලාව හමුවන්නේ ප්‍රේමරංජිත් තිලකරත්නගේ ‘කෝන්තරේ‘ නාට්‍යයෙනුයි. ඇය මගේ නාට්‍ය රැසකත් පසුව රඟපෑවා. 2020 වසරේදී ඇය මිය ගියා.“


ලූෂන් බුලත්සිංහලයන් ලියූ ගී පද රචනා අතර සුවිශේෂි පරිවර්තනයක් ඇත. ඒ ඉන්දියාවේ සම්භාවනාවට පාත්‍ර වූ ලෝක ප්‍රකට කිවිවර රවින්ද්‍රනාත් තාගෝර් විසින් 1905 දී රචනා කර ලොව පුරා අති විශාල ජනප්‍රියත්වයක් ලද ‘එක්ල චලෝ රේ‘ (Ekla Chalo Re) ගීතය සිංහල බසට පරිවර්තනය කිරීම යි. එය වචන හරඹ කළ හැකි පහසු ගීතයක් නොවේ. එහෙත් ඔහු ඉතාම දක්ෂ ලෙස එම පරිවර්තනය සිදු කර තිබුණි. එසේ ම සිංහල ගීත රචනා වෙනුවෙන් සම්මාන රැසක් ද ලූෂන් බුලත්සිංහලයන් හිමි කරගෙන ඇත. ‘සිරි මැදුර‘ චිත්‍රපටය වෙනුවෙන් ඔහු ලියූ ‘මරණ තුනක් ඇති මිනිසා‘ ගීතය උදෙසා 1989 වසරේදී ස්වර්ණ සංඛ සම්මානයත්, සරසවිය සම්මානයත් වසරේ හොඳම ගීත රචනයට හිමි විය. 1994දී ‘මීහරකා චිත්‍රපටයට ලූෂන් ලියූ ‘ගෝපලු වස්‘ ගීතයට ස්වර්ණ සංඛ සම්මානය ලැබිණි.


1998 දී ‘ගිනිඅවි සහ ගිනිකෙළි‘ චිත්‍රපටය වෙනුවෙන් ලූෂන් ලියූ ‘නොසෙලයි දිවි මකුළු ඇස‘ ගීතයට හොඳ ම ගීතයට හිමි ජනාධිපති සම්මාන ලැබුණි. ලූෂන්ගේ ලිවීම සේම සිනමා රංගනයන් ද අපූරු බවට සාක්ෂි සපයන්නේ රෙජී පෙරේරාගේ ‘සැඩොල් කඳුළු‘, වසන්ත ඔබේසේකරගේ ‘වෙස් ගත්තෝ‘, විජය ධර්මශ්‍රීගේ ‘චූඩා මාණික්‍ය‘ චිත්‍රපටයේ මැණික් කොල්ලකරුගේ චරිතය, ‘හෝ ගානා පොකුණ‘ චිත්‍රපටයේ විදුහල්පතිගේ චරිතය ආදිය යි. වේදිකාවේ ද ‘වහලක් නැති ගෙයක්‘, ‘දුන්න දුනුගමුවේ‘, ‘හරිම බඩු හයක්‘ වගේ නිර්මාණවල ඔහුගේ රූපණයන් අපූරු ය. ටෙලි නාට්‍ය දහයකට වැඩිය නිර්මාණය කර ඇති ඔහු රඟපෑ ‘අප්පච්චි‘ ටෙලි නාට්‍ය මෑත කාලයේ විකාශය වූ නිර්මාණ අතර අතිශය සංවේදීවූ කලා කෘතියක් බවට පත් විය.




1987 වසරේ විජය රූපවාහිනී සම්මාන උළෙලේදී සම්මාන එකොළහකින් සම්මාන නවයක් හිමි කර ගනිමින් අතිශය ජනප්‍රිය නාට්‍යයක් බවට පත් වූ ‘තාරා දේවි‘ ටෙලි නාට්‍ය ද ලූෂන්ගේ අති විශිෂ්ට නිර්මාණයකි. ඔහු ලියූ ග්‍රන්ථ අතර ‘පිපුණු මලේ රුව‘, ‘කේමදාස න්‍යාය භාවිතය සහ අරගලය‘, ‘ඔපෙරා දෙකක්‘, ‘තාරාවෝ ඉගිලෙති‘ නාට්‍ය ග්‍රන්ථ ද වේ. එසේ ම පිටු හත්සිය ගණනක් පුරා ඔහු සිය ජීවන වෘත්තාන්තය වදන්වලට පෙරළා තබා ඇත්තේ ‘දවා හළු කළ නොහැක මතක‘ යනුවෙනි.


“මගේ මතක දවා හළු කරන්න බැහැ. ඒවා මා මියගිය පසුවත් සුන් බුන් ලෙස මේ දෙරණත ඉතිරි වී තියේවි. වෙනත් රටවල් අප පසුකරගෙන ගිහින් අසීමිතව දියුණු වෙන්නත්, අපේ රට හැමදාම එක තැන තියෙන්නත් හේතුව මේ රටේ සිංහල මිනිසුන්ගේ ලේවල කිඳා බැස ඇති අසමගිකමයි. තව කෙනෙක් දක්ෂතා දක්වමින් ඉදිරියට යද්දි ඒවා අගයන්න සහ දරාගන්න බොහෝ අයට බැහැ. ඉතිහාසයේ පටන් එකිනෙකා ඇන කොටා ගනිමින්, පාවා දෙමින් මේ රට හිස ඔසවාගෙන ආ සෑම අවස්ථාවකදීම කවුරුන් හෝ මේ රට යළි යළිත් ප්‍රපාතයට ඇද දමා තිබෙනවා. මගේ ජීවිත කාලය පුරා දිවෙන ඉතිහාස කතාව තුළ මා අත්දුටු සහ අත්විඳි බොහෝ දේ අනාගතයටත් ඒ ලෙසම ගලා යාම ගැන මට ලොකු කනගාටුවක් තියෙනවා. විශේෂයන් ම අපේ රටේ කලාව තුළ ඒ විනාශයේ වේගවත් බව වැඩියි. දැක දුක් වෙනවා හැර අතින් අල්ලා ගොඩගත නොහැකි බව මම කාලාන්තරයක් තිස්සේ අත්දකිනවා. ඇත්ත වශයෙන්ම කනගාටුයි.“


මෙතෙක් පැමිණි ගමන් මඟ සිහිකරන අතරේ ජීවිතයේ එදා මෙදාතුර තමන් ලැබු අත්දැකිම් එක මිටකට ගනිමින් ලුෂන් පවසන්නේය.

gossiplanka image 1
gossiplanka image 2
Previous Post Next Post