* කාලෙකට පස්සේ කාවින්ද්‍යාට ආයෙමත් ලංකාව මතක් වෙලා නේද?
(සිනාසෙමින්) අනේ එහෙම අමතක වෙලා නෑ.
* කාවින්ද්‍යා ලංකාවට ආවේ මොකක් හරි විශේෂ කටයුත්තක් වෙනුවෙන්ද?
මගේ පුතාගේ පළවෙනි උපන් දිනය තිබුණා. ඒ වෙනුවෙන් මගේ පවුලේ අය, කලා ක්ෂේත්‍රයේ සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ හිතවතුන් සහභාගි කරගෙන ලස්සන උපන් දින පාටියක් ගන්න හිතේ ආසාවක් තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි තුන්දෙනා ලංකාවට ආවේ.
* අවුරුද්දක් වෙච්ච පුංචි පුතාගේ නම මොකක්ද?
පුතාගේ නම දැම්මේ කේඩන් ජයවර්ධන කියලා.
* කුලුඳුලේ මවක් වුණු හැඟීම කොයි විදියටද දැනෙන්නේ?
කුලුඳුලේ මවක් වුණු කිසිම අම්මා කෙනෙක්ට ඒ හැඟීම වචන කරගන්න තේරෙනවා කියලා මම හිතන්නේ නෑ. ඒක ඒ තරම්ම සුන්දර සහ ආදරණීය හැඟීමක්.
* පුතාගේ වයසත් එක්ක මේ ගෙවිලා යන්නේ ඔබේ ජීවිතෙත් සුන්දර කාලයක් නේද?
ඔව්, කේඩන් ඉන්නේ හරිම හුරතල් වයසක නිසා මේ ගෙවෙන්නේ හරිම සුන්දර කාලයක්. ඒ නිසා හැම මොහොතක්ම පුතාත් එක්කම තමයි ඉන්න උත්සාහ කරන්නේ.
* සාමාන්‍යයෙන් දරුවෙක් ලැබුණම අම්මගේ පෙනුම සෑහෙන්න වෙනස් වෙනවා. හැබැයි ඔබ හිටියටත් වඩා හැඩවෙලා. මොකක්ද රහස?
මගෙත් පෙනුම ගොඩාක් වෙනස් වුණා. ඒත් මම මහන්සි වෙලා ආයෙත් රඟපාන කාලේ තිබුණු පෙනුම හදාගත්තා. ඒකට මට උදව් කළේ මගේ සැමියා බුද්ධික ජයවර්ධන. සාමාන්‍යයෙන් මව් පදවිය ලබන ඕනෑම කාන්තාවක් ඒ සමඟින් කාර්යබහුල වෙනවා. එතකොට තමන්ගේ ගැන හිතන්න කාලයක් නෑ. ඒත් මගේ සැමියා ඒකට මට කාලය හදලා දුන්නා. ඒ නිසා මට, මවක් විදියට සහ බිරිඳක් විදියට ඒ වගකීම් ඉටුකරන ගමන් මං ගැන බලාගන්නත් පුළුවන් වුණා. රහස ඒක තමයි.
* ආයෙත් කාවින්ද්‍යා රඟපාන්නේ නැද්ද?
අවුරුදු තුනකට ආසන්න කාලයකින් මම කිසිම නිර්මාණයකට රංගනයෙන් දායක වුණේ නෑ. මේ වෙද්දි මං වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ පවුල් ජීවිතේ පැත්‍තට. දැන් පුතාත් ඉන්න හින්දා තව ටික කාලයක් රංගනයෙන් ඈත්වෙලා ඉන්න වෙයි. ඒත් ඒකෙන් කියවෙන්නේ නෑ මං ආයෙමත් රඟපාන්නේ නෑ කියලා. ඉදිරියේදී අලුත් වැඩකින් මාව දකින්න ලැබෙයි.
* කාවින්ද්‍යා පුංචි කාලේ හීන දැක්කේ කවදා හරි නිළියක් වෙන්නද?
ඇත්තටම එහෙම හීනයක් තිබුණේ නෑ. මගේ අම්මා නීති ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම මගේ එකම හීනය වුණේ නීතිඥවරියක් වෙන්න. ඒත් එක තැනකදි ඒ හීනය වෙනස් වුණා.
* හීනය වෙනස් වුණු තැන කොතැනද කියලා කියන්න පුළුවන්ද?
මං 2015 වසරේ ITN අවුරුදු කුමරිය තරගය සඳහා ඉදිරිපත් වුණා. ඒකෙ අවසන් 12 අතරේ ඉන්නකොට ඒ නාළිකාව මඟින් කරපු ‘මේඝා’ කියන ටෙලිනාට්‍යයට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. එදා ටෙලිනාට්‍යය වගේම, මගේ චරිතය ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැලඳගත්තා. මගේ ගැන ගොඩාක් අය කතා කරන්නත් ගත්‍තා. එතැනින් පස්සේ මට දිගටම රඟපාන්න ආරාධනා ලැබුණා.
* ගෙවුනු අවුරුදු 11 තුළ ඔබට ලැබුණු චරිත ගැන මොකද හිතෙන්නේ?
ඕනෑම නළුවෙක් හෝ නිළියකගේ හිතේ රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත ටිකක් තියෙනවා. මටත් එහෙම තිබුණා. ඒ අතරින් ගොඩාක් චරිතවලට මට ආරාධනා ලැබුණා. එකම චරිතයකට කොටු නොවී විවිධ චරිත කරන්න ලැබුණු එක ගැන මං ඇත්තටම සතුටු වෙනවා.
* රංගන ජීවිතයේ අමතක නොවෙන දවසුත් කාවින්ද්‍යාට තිබිලා ඇති?
(සිනාසෙමින්) අනේ ඔව්, සැරයක් අනූනවයෙන් ජීවිතේ බේරගත්තේ. ඒ සිදුවීම වුණේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරපු, සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා තිර රචනය කරපු ‘කෝලම් කුට්ටම’ ටෙලිනාට්‍යයේ රඟපෑ කාලේ. ඒකෙ මට ඔරු පදින්න තිබුණා. මාදු ගඟේ පැද්දේ. සැරයක් ඔරුව පදිනකොට එකපාරට ඒක පෙරළුණා. මම වතුරට වැටුණා. එදා ඒ වෙලාවේ චමීර ලියනගේ අයියා තමයි මාව බේරගත්තේ. චමීර අයියාත් ඒ ටෙලිනාට්‍යයේ රඟපෑවා. ඒ සිදුවීම් නම් ජීවිතේට මට අමතක වෙන්නේ නෑ.
* සාමාන්‍යයෙන් ඔබ විවේකය ගතකරන්න කැමති කොහොමද?
ගොඩාක් වෙලාවට මං කරන්නේ නවල් එකක් කියවන එක. මොකද මං නවල්වලට කැමතියි.
* මෑතකදි ඔබ ආසාවෙන් කියවපු නවකතාව මොකක්ද?
මොහාන් රාජ් මඩවල ලියපු ‘මාගම් සෝලිය’ නවකතාව ආසාවෙන් කියෙව්වා. ඒක හුඟාක් ලස්සන නවකතාවක්.
* ලස්සනට සිංදු කියන්න පුළුවන් කියලත් අපිට ආරංචියි?
(සිනාසෙමින්) ඒ ආරංචිය නම් බොරුවක්. මට එහෙම සිංදු කියන්න බෑ.
* කාවින්ද්‍යාගේ පවුලේ වෙන ඉන්නේ කවුද?
මට ඉන්නේ අම්මයි, තාත්තයි ඇරුනම නංගිලා තුන්දෙනෙක්.
* අවසාන වශයෙන් කාවින්ද්‍යාගේ අනාගත බලාපොරොත්තු ගැන කිව්වොත්?
දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට මගේ බලාපොරොත්තු නම් කීපයක් තියෙනවා. කලා ක්ෂේත්‍රය පැත්තෙනුත් බලාපොරොත්තු ටිකක් තියෙනවා. ඒවා සැබෑ කරගන්න උත්සාහ කරන ගමන් සතුටින් ඉන්න එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ.