මං උයන කෑම කන ඕන කෙනෙක් ඒ කෑම රසයි කියනවා-ලෝචනා ජයකොඩි

gossiplanka image 1
වෙනිසියුලාවේ ලෙලේ පෝන්ස් ගැන අහලා තියෙනවද? හාස්‍යජනක වීඩියෝස් නිර්මාණය කරමින් යූටියුබ්, ටික්ටොක්, ෆේස්බුක් ඇතුළුව සමාජමාධ්‍ය ගිණුම්වල පළ කරන ඇය, මේ වෙනකොට ලෝකෙ ඉන්න අතිශය ජනප්‍රිය චරිතයක්. ඒත් අපි මේ කියන්න යන්නේ ලෙලේ ගැන නම් නෙවෙයි. ඔව්, අපි කියන්න යන්නේ එදා ලෙලේගේ වීඩියෝස් බලලා මේ වෙනකොට ඇය තරම්ම අපේ රටේ ජනප්‍රිය චරිතයක් වෙලා ඉන්න තරුණියක් ගැන. ඇය තමයි ‘ලෝචි’ කියන නමින් කවුරුත් දන්න කියන, ලෝචනා ජයකොඩි. හැමදාමත් වෙනස් දෙයක් කරමින්, තත්පර කීපයක් තූළ මිනිසුන්ගේ මුවට සිනහව කැන්දන ලෝචි මේ දිනවල රිදී තිරයෙනුත් අපිට දකින්න පුළුවන්. ඒ විශේෂත්වයත් සමඟම අපි හිතුවා මෙවර  ලෝචිගේ රුවින් සරසන ගමන් ඇයත් එක්ක සොඳුරු කතාබහක යෙදෙන්න.


වෘත්තිමය වශයෙන් ගත්තොත් ලෝචි කියන්නෙ ඔබ යූටියුබර් කෙනෙක් නේද?


ඔව්, යූටියුබර් කෙනෙක්. කන්ටෙන්ට් ක්‍රියේටර් (Content Creator) කෙනෙක්. එතැනින් ගියාම ඉන්ෆ්ලුවෙන්සර් (Influencer) කෙනෙක් කියලා කියන්නත් පුළුවන්. දැන් රඟපාන නිසා නිළියක් කියන්නත් පුළුවන්.


ලෝචි වඩාත් ප්‍රසිද්ධ යූටියුබර් කෙනෙක් විදිහට. ඒ ගමන ආරම්භ වුණේ කොතැනින්ද?


“ලෙලේ පෝන්ස්” (Lele Pons) කියලා යූටියුබර් කෙනෙක් ඉන්නවා. ඒ කාලේ මම නිතර නිතරම ඇයගේ වීඩියෝස් බැලුවා. ලෙලේ කළේ කෙටි හිනා යන වීඩියෝස්. එහෙම ඉන්නැද්දි දවසක් මට හිතුණා ලෙලේ වගේ සමාජමාධ්‍ය හරහා ලංකාව ඇතුළේ දෙයක් කරන්න. ඒ වෙද්දි අපේ රටේ සෝෂල් මීඩියාවල කන්ටෙන්ට් ක්‍රියේට් කරන කාන්තාවන් කවුරුත් හිටියේ නෑ. ඒ වාසියත් එක්ක මං 2016 “Lochi” නමින් ටික්ටොක් පේජ් එකක් පටන්ගත්තා. මාසයක්, දෙකක් යනකොට ඒකේ පළ කරපු වීඩියෝස්වලට හුඟාක් ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ තමයි “Lochi” යූටියුබ් චැනල් එක පටන්ගත්තේ. ඒක ම‍ං පටන්ගත්තේ 2018 දි.


ඒ පටන් ගන්නකොට ඔබට යම් සැලසුමක් තිබුණද?


ඇත්තටම එහෙම ලොකුවට සැලසුමක් තිබුණේ නෑ. ආ‍සාවට තමයි කරන්න ගත්තේ. ඒත් ඉතින් අවසානේ මටවත් හිතාගන්න බැරි තැනකට මට එන්න ලැබුණා.


අද ඉන්න තැන ඉඳන් ආපහු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?


ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දි හරි සතුටක් දැනෙනවා. මොකද මුලින් කියපු විදිහට අද ම‍ං ඇවිත් තියෙන්නේ මං බලාපොරොත්තු නොවුණු ගමනක්. කොහොම වුණත් අද ඉන්න තැන ගැන ලොකු සතුටක් වගේම ආඩම්බරයක් තියෙනවා.


මේ ආපු ගමනේ ඔබ ලබපු ජයග්‍රහණයන් මොනවද?


මේ වෙනකොට අපේ රටේ ලොකු පිරිසක් මාව දන්නවා. ඒ වගේම මට ආදරේ කරනවා. එහෙම ආදරේ ලබන කෙනෙක් වෙන්න ලැබීම තමයි ලොකුම ජයග්‍රහණය. යූටියුබ්, ටික්ටොක් සහ ෆේස්බුක් ඇතුළු මගේ සමාජ මාධ්‍ය පිටු එකතු කළාම මිලියන 4.5 ක් තරම් හිතාගන්නත් බැරි පිරිසක් මගෙත් එක්ක ඉන්නවා. යූටියුබ් විතරක් මිලියන 2 පැනලා ඉන්නවා. ඒ වගේමයි මේ ආපු ගමනේ මට බොහෝමයක් දේවල් ලබාගන්නත් පුළුවන්කම ලැබුණා. මේ වෙනකොට මට කියලා ස්ටූඩියෝ එකක් සහ ඩිජිටල් මාර්කටින් ඒජන්සි එකක් පවා තියෙනවා.


“ජනයි ප්‍රියයි” එක්ක රට වටේ ප්‍රසංගයකුත් කරනවා නේද?


ඔව්, “තුන්කොලොප්පම” ෂෝ එක. ඒකත් හරිම ආසාවෙන් කරගෙන යන වැඩක්.


අපි දකිනවා අපේ රටේ සමහර තරුණියෝ සමාජ මාධ්‍ය අවකාශය තුළ ලෝචි වගේ වෙන්න උත්සාහ කරනවා?


ඒකට කමක් නෑ. ඒත් ඔවුන්ට මම පොඩි දෙයක් කියන්න කැමතියි. විව්ස් ගන්න එකවත්, සල්ලි හොයන එකවත් ඉස්සරහට දාගෙන ටික්ටොක් චැනල්, යූටියුබ් චැනල් පටන්ගන්න එපා. යම්කිසි අරමුණක් එක්ක, නිර්මාණශීලීව, අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න. එතකොට සාර්ථක වෙන්න පුළුවන්. එහෙම කරන අතිදක්ෂ අලුත් ළමයි මං දැකලා තියෙනවා.


ඔබේ වීඩියෝස් බලන අය අතරින් අමතක නොවෙන ප්‍රතිචාර එහෙමත් ලැබිලා ඇති නේද?


(සිනාසෙමින්) එහෙම ප්‍රතිචාර නම් සෑහෙන්නම ලැබිලා තියෙනවා. මං පාරේතොටේ යද්දි සමහර පුංචි දරුවෝ මාව දැකලා “අන්න අන්න ලෝචි” කියලා එයාලගේ අම්මලාට මාව පෙන්නනවා. ඒ ප්‍රතිචාර හරිම ආදරණීයයි.


ලෝචිගේ වීඩියෝස් බලන අපේ රටේ ප්‍රසිද්ධ චරිත ඔබට මුණගැහිලා තියෙනවද?


ඔව්, එහෙම අය මුණගැහිලා තියෙනවා. ඒ අතර නළු නිළියෝ, ගායක ගායිකාවෝ සහ අපේ රටේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයොත් කීපදෙනෙක් ඉන්නවා.


ඔබ හිතන විදිහට ලෝචිට වැඩිපුර කැමති කවුද? තරුණ තරුණියෝද?


මම හිතන්නේ වයස් භේදයක් නැතුව හැමෝම මට ආදරෙයි. ඒ අතරින් චූටි ළමයි මට වැඩිපුර ආදරෙයි කියලා මට තේරිලා තියෙනවා. ඒ නිසා දැන් මං වීඩියෝ එකක් කරද්දි වුණත් වෙනදටත් වඩා සැලකිලිමත් වෙනවා.


මේ වෙද්දි ලෝචිගේ පවුලේ ඉන්නේ කවුද?


අපේ ගෙදර ඉන්නේ තාත්තයි, නංගිලා දෙන්නයි තමයි. අම්මා නැතිවෙලා.


ඔබ කරන වීඩියෝස් ඔබේ ගෙදර උදවියත් බලනවා ඇති නේද? ඒ ප්‍රතිචාර කොහොමද?


(සිනාසෙමින්) ඔව්, ඔව් ගෙදර අය අනිවාර්යයෙන්ම බලනවා. ඒ වගේම මට පිටිපස්සෙන් ඉඳන් හැම වෙලාවකම සහයෝගය දෙනවා. බෝයි ෆ්‍රෙන්ඩ් වගේම, බෝයි ෆ්‍රෙන්ඩ්ගේ අම්මත් මට සෑහෙන සහයෝගයක් දෙනවා. ඒ හැමෝම මේ වෙලාවේ හරිම ආදරෙන් මතක් කරනවා.


ඒ කියන්නේ ලෝචි පෙම්වතියක්. එහෙමද?


(සිනාසෙමින්) ඔව්, මේ වෙද්දි මම පෙම්වතියක්.


මේ දිනවල ලෝචි නිළියක් විදිහටත් අපි දකිනවා?


ඔව්, සුරංග ද අල්විස් මහතා අධ්‍යක්ෂණය කළ “ඒක තමයි මේක” චිත්‍රපටියේ මං රංගනයෙන් දායක වෙනවා. ලෝචි තමයි චරිතයේ නමත්. ඒ චිත්‍රපටිය ගැන කිව්වොත් ඒකෙ විශේෂත්වය තමයි ලංකාවේ ඉන්න ජනප්‍රිය යූටියුබස්ලා 6 ක් තමයි ප්‍රධාන චරිත කරන්නේ. ලස්සන පිටපතක් තියෙන ලස්සනම චිත්‍රපටියක්. ඉවෝක් රූපහල නිෂ්පාදනය කරපු “ඒක තමයි මේක” චිත්‍රපටියේ මං එක්ක ජනයි ප්‍රියයි, ලකයි සිකයි, රැට්ටා සහ සිරිල් අයියා තමයි අනෙක් චරිත ටික කරන්නේ.


මං හරි නම් මේ ලෝචිගේ පළවෙනි සිනමා නිර්මාණය නේද?


ඔව්, “ඒක තමයි මේක” මගේ කුළුඳුල් චිත්‍රපටිය.


ඉතින් කුළුඳුලේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එහෙම කොහොමද?


ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චිත්‍රපටියේ පුරාවටම වීඩියෝස්වල දකිනවට වඩා වෙනම පැත්තක් මගෙන් දැක්කා කියලා කීපදෙනෙක්ම කිව්වා. චිත්‍රපටියේ මං එක තැනක අඬන දර්ශනයක් එහෙම තියෙනවා. ඒවා මාව දන්න ප්‍රේක්ෂකයින්ට අලුත්. මොකද ම‍ං හිනායන දේවල් කළාට එහෙම අඬන්නේ නෑනේ.


ඔබට නැති, ඒත් තිබුණා නම් හොඳයි කියලා හිතෙන හැකියාවක් තියෙනවද?


(සිනාසෙමින්) මට සිංදු කියන්න බෑ. ඒ හැකියාව තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා.


සිංදු කියන්න බැරිවුණාට සිංදු අහනවානේ?


ඔව්, නිදහසේ ඉන්න වෙලාවට සිංදුත් අහනවා.


ඒ අතරින් ඔබ මේ දිනවල කැමති සිංදුවක් එහෙම තියෙනවද?


මේ දවස්වල නම් සංඛ දිනෙත්ගේ “විදුලිය සේ ඔබ ඇවිදින්” කියන සිංදුවට මං හුඟාක් ආසයි.


අපි නොදන්නවට මොකද ලෝචි කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක්?


ඔව්, බටහිර නර්තනය හදාරපු කෙනෙක්. මීට අවුරුදු කීපයකට උඩදි පෞද්ගලික පාසලක නර්තන ගුරුවරියක් විදිහටත් කටයුතු කළා. ඒ වගේම මම ඩාන්සින් ගෲප් කීපයකත් හිටියා.


නටන්න විතරක් නෙවෙයි, රසට උයන්නත් පුළුවන් කියලා දැනගන්න ලැබුණා?


ඔව් ඔව්, මං උයන කෑම කන ඕන කෙනෙක් ඒ කෑම රසයි කියනවා.


ලෝචිට රසටම උයන්න පුළුවන් මොනවද?


මං හිතන්නේ චිකන් තමයි රසටම උයන්න පුළුවන්.


පුදුම විදිහට සත්තුන්ටත් ආදරෙයිලු නේද?

අනේ ඔව්, ඒක නම් පුංචි කාලෙ ඉඳන් එහෙමයි.


සාමාන්‍යයෙන් ලෝචි විවේකය ගතකරන්න කැමති කොයි විදිහටද?


(සිනාසෙමින්) මං පිටරට ට්‍රැවල් කරන්න ආසයි.


එහෙම ට්‍රැවල් කරන්න ආසම රටක් ලෝචිට තියෙනවද?


ස්විස්ටර්ලන්තය තමයි. මෑතකදි මං එහේ ගියා.


වෙනත් තරුණියන්ට සාපේක්ෂව ලෝචිගේ විලාසිතා තරමක් වෙනස්. ඒකට උදාහරණයක් තමයි මේ දිනවල ඔබේ ඔය හැඩකාර කොණ්ඩා විලාසිතාව?


සාමාන්‍යයෙන් මට ගැළපෙනවා කියලා හිතෙන විලාසිතා මං කරනවා. ඒක නිසා වෙනසකටත් එක්ක කියලා කොණ්ඩේ මෙහෙම කැපුවා. මට තියෙන්නේ ඉක්මණින් වැවෙන කොණ්ඩයක්. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. මගේ අම්මත් මං පුංචි කාලේ මේ විදිහටම කොණ්ඩේ කපලා හිටියලු. ඒ නිසා අම්මව දන්න අය කියනවා දැන් මම අම්මා වගේ කියලා.


ඔබේ කතාව ඇසුරෙන් කෙනෙක්ට යම්කිසි පණිවිඩයක් දෙන්න පුළුවන්ද?


අපි හැමෝම තුළම මොකක්ම හරි හැකියාවක් තියෙනවා. අන්න ඒ හැකියාව ඔපමට්ටම් කරලා ගත්තොත් ඕනෑම කෙනෙක්ට සාර්ථක වෙන්න පුළුවන්. “ලෝචි” කියන්නේ ඒකට උදාහරණයක්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post