සමාජ මාධය හරහා ජනප්‍රියත්වයට පත් ලෝචි මේ දිනවල රිදී තිරයෙන් දැක ගන්න පුළුවන්. ඒ සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කරන ලද ‘ඒක තමයි මේක‘ සිනමා නිර්මාණය හරහා. මෙම සිනමා නිර්මාණය විශේෂ වෙන්නේ ද යූ ටියුබ් අවකාශය හරහා ජනප්‍රියත්වයට පත් ශිල්පීන් හත් දෙනෙකු ප්‍රධාන රංගනයෙන් දායක වීමයි. මේ අතර ඉන්න එකම නිළිය ලෝචි. එහෙම නැත්නම් ලෝචනා ජයකොඩි. මේ කතාබහ ලෝචනා ජයකොඩි එක්ක.
‘ඒක තමයි මේක‘ සිනමා නිර්මාණය හරහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එදා මංගල දර්ශනය බලන්න ආව මගේ යාළුවො, ක්ෂේත්‍රයේ ඉන්න අයත් හොඳ කිව්වා. නිතරම මාව දකිනවට වඩා ටිකක් වෙනස් චරිතයකින් මාව ‘ඒක තමයි මේක’ චිත්‍රපටයෙන් දකින්න ලැබුණු එක ගැනත් ගොඩක් දෙනෙක් කතා කළා. මාව මේ වගේ ටිකක් සීරියස් චරිතයකින් දකින්න ලැබෙනවා අඩුනේ.
ඔබ නිළියක් වෙන්නත් කලින් ප්‍රේක්ෂකයෝ අතරට ඇවිත් හිටියේ ?
ඒක ඇත්ත. මම මුලින්ම ප්‍රේක්ෂකයෝ අතරට ආවේ ටික් ටොක් හරහා. ඉන් පස්සෙයි මම යූ ටියුබ් එකට එන්නෙ. දැන් අවුරුදු දහයක් විතර පටන් මේ දේවල් කරගෙන යනවා.
යූ ටියුබර්ස්ලම හය දෙනෙක් එක්කයි රඟපාන්න තිබුණේ, මේ අත්දැකීම කොහොමද?
මට චිත්‍රපටය සඳහා අවස්ථාව ලැබුණේ ජනයි – ප්‍රියයි නිසයි. මීට කලිනුත් මට ෆිල්ම්වලට ආරාධනා ලැබුණට තෝරලා බේරලා යන අවස්ථාවක් ලැබුණේ නෑ. ජනයි – ප්‍රියයි සහ අපි දන්නම සෙට් එක නිසා තමයි කැමති වුණේ. නිතර අපි හමුවෙනවා. අපි එකට එක් වුණාම හරි සුන්දරයි. ඒ නිසා මම දන්නවා මේ වැඩෙත් සුන්දර වෙයි කියලා. අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මාස එකහාමාරක් තිස්සේ අපි කට්ටිය විතරයි මුණගැහුනේ. ලංකාවේ ජනප්‍රියම යූටියුබර්ස්ලම හය දෙනෙක් එක්ක ඉන්නකොට ගොඩක් දේවල් ඉගෙන ගෙන සුන්දරව කාලය ගත වුණා.
සුරංග ද අල්විස් කියන අධ්‍යක්ෂවරයාව දැනුණේ කොහොමද?
සුරංග අයියාගේ ෆිල්ම් මම බලලා තිබුණට සුරංග අයියා ගැන ලොකුවට දැනගෙන හිටියේ නැහැ. එයාට කලින් මම වෙන ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා හමුවෙලා තිබුණෙත් නැහැ. සිනමා අධ්‍යක්ෂවරයෙක් කිව්වම මගේ හිතේ ඇඳිලා තිබුණේ ටිකක් සැර ආඩම්බර චරිතයක්. නමුත් සුරංග අයියා එහෙම කෙනෙක් වුණේ නැහැ. බොහොම සරල, අපි වගේම හිනා වෙලා විහිළු කරගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම එයා කොයි වෙලාවකවත් අපට නීති දැම්මේ නැහැ අපේම දේ අපිට කරන්න නිදහස දුන්නා.
රිදී තිරයේ පළමු නිර්මාණය වුණාට පුංචි තිරයේ රඟපාලා තියෙනවා නේද?
මම මේ වෙද්දී ටෙලි නිර්මාණ හතරක් වගේ කරලා තියෙනවා. ටෙලි නාට්‍ය භාරගනිද්දිත් මම ගොඩක් පරිස්සම් වෙනවා. මම මගේ යූ ටියුබ් එකට කන්ටෙන් දෙකක් අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඒ නිසා මම කරන වැඩකට පාඩුවක් වෙනවනම් කිසිම වැඩකට සම්බන්ධ වෙන්නෙ නැහැ.
සිනමාවට එන්න ආසාවක් තිබුණා ද?
නැහැ. චිත්‍රපටයක රඟපාන්න ඕනේ කියලා කවදාවත් මම හිතුවෙ නැහැ. මම පොඩි කාලේ නිළියක් වෙන්න ආසයි. හැබැයි සිනමා නිළියක් වෙන්න හිතුවේ නැහැ.
පළමුවරට රිදී තිරයෙන් ඔබ ඔබවම දකිද්දී මොකද හිතුණේ ?
පුළුල් තිරයේ මම මාවම දකිනකොට ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි. දැන් මම ෆිල්ම් එකකත් ඉන්නවනේ කියන හැඟීම මට දැණුනා. ඒ එක්කම මගේ ළඟම ඉන්න අය මට නිතරම කිව්වා ඔයා ෆිල්ම් එකක රඟපාන්න ඕනේ කියලා. එහෙම කියද්දීවත් මට ආසාවක් ඇති වුණේ නැහැ. දැන් මාවම රිදී තිරයෙන් දකිද්දී අනේ මේකනේ මේ කියලා තියෙන්නේ කියලා දැනුණා. මට ගොඩක් අය ආදරේ කරනවා. ඒ හැමෝගෙම ආශීර්වාදය නිසයි අද මම මේ තැන ඉන්නේ.
ඉදිරියටත් සිනමාවෙන් දකින්න ලැබෙනවා නේද?
මේ වෙද්දී තව එක සිනමා නිර්මාණයක් කරලා තියෙනවා. ඒ මංචන පීරිස් අධ්‍යක්ෂණය කළ අග්නිජය චිත්‍රපටය. අග්නිජය චිත්‍රපටයේ විශ්වවිද්‍යාල සිසුවියකගේ චරිතයක් තමයි මම රඟපාන්නේ.
ඉදිරියටත් ඇරයුම් ලැබුණොත් භාර ගන්නවද?
මම දන්නවා මට කරන්න පුළුවන් ප්‍රමාණය. ඒ වගේ මට රිදී තිරයේ සාධාරණයක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් භාරගන්නවා. මම ආසයි සීරියස් විදියේ චරිත කරන්න. මම ගොඩක් ලැබෙන ඇරයුම් භාර නොගන්නෙම මට ලැබෙන්නේ මම සමාජ මාධ්‍ය ඔස්සේ කරන චරිතමයි. හැබැයි මම ඒකම කරන එක කිසි තේරුමක් නැහැ.
අන්තිමට ලෝචිට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට කියන්න දෙයක් ඇති
අපිට ආදරේ කරන හැමෝටම බොහොම ආදරෙන් ආරාධනා කරනවා එන්න සිනමාශාලාවට ඇවිත් ඒක තමයි මේක බලන්න. බලලා හොඳ නරක කියන්න. අපි නිතරම කමෙන්ට්ස් බලනවා. ඒ නිසා ඔබට දැනෙන ප්‍රතිචාරය අපිට කියන්න.