මෞලි දුෂ්මන්ත ෆර්ඩිනැන්ඩු කියන්නේ ළමා රංගන ශිල්පියෙක් විදියට කලාවට ඇවිත් අද වෙද්දී වෘත්තීමය නීතිඥවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙක් විදියට අපිට හමුවෙන තාරුණ්‍ය නියෝජනය කරන දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල තිරගත වන ‘සූරිය සුළඟ’ චිත්‍රපටයේ කළණගේ චරිතය නිරුපණය කරන්නේද මෞලි දුෂ්මන්ත ෆර්ඩිනැන්ඩු. මේ සූරිය සුළඟ ගැන මෞලි ෆර්ඩිනැන්ඩු සමඟ කළ කතාබහ.
සූරිය සුළඟේ කලණට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම මම හිතුවේ නැති තරම් හොඳ ප්‍රතිචාර තියෙනවා. චරිතේ ලොකු කාලයක් නිර්මාණය තුළ නොහිටියත් සූරිය සුළඟ හමන්න හේතු වෙච්චි කාරණාව කලණ. මේ කලණව ප්‍රේක්ෂකයාට මතක හිටිනවා සහ ප්‍රේක්ෂකයාගේ හිත තුළ යම් තරහවක් ඇති කරන චරිතයක් වෙලා තියෙනවා. ඒ හැම අතින්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
කලණ තමයි සූරිය සුළඟට මුල, මේ ඇරයුම ලබුණම මොකද හිතුණේ?
මේ චරිතේ ලැබුණාම පොඩි චැලේන්ජ් එකක් තිබුණා. මෙතෙක් නොකරපු චරිතයක්. කලණ කියන චරිතයෙ දඟකාර, කටකාර සෙල්ලක්කාරකමක් තිබුණා. මේ චරිතය මට ලැබුණු ලොකු අවස්ථාවක් විදියට සැලකුවේ. මේ ඇරයුම ලැබුණාම හිතුණේ මතකයේ හිටින චරිතයක් කර ගන්න පුළුවන් කියලයි.
සූරිය සුළඟේ කලණ වෙන්න ලැබුණ එක ගැන අද මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ද සෙසු චරිතයක් ද කියන එකට වඩා යම් කිසි විදියට චිත්‍රපටයේ තේමාවට වැදගත් වන මතකයේ හිටින චරිතයක් කරන්න ලැබීම ගැන සතුටුයි. එහෙම චරිතයක් හින්දම තමයි මම මේ චරිතේ භාර ගත්තෙත්.
ඉදිරියට එන්න තියෙන සිනමා නිර්මාණ මොනවද?
‘හුස්මක් ළඟින්‘ සහ ‘නිහාරා‘ නාට්‍යය මේ දිනවල විකාශය වනවා. විමල් දේශප්‍රිය අයියා කරපු ‘සසර යාත්‍රා’ එන්න තියෙනවා. සසර යාත්‍රා ටෙලිනාට්‍යයේ මම රඟපෑවේ ප්‍රධාන චරිතයක් වන රාහුල හාමුදුරුවන්ගේ චරිතය. එය නොබෝ දිනකින් දකින්න ලැබෙයි. ඒ වගේම සුමිත් රත්නායක අධ්‍යක්ෂවරයාගේ ‘ගැහැනු පිරිමි මල් පලතුරු‘ ටෙලි නාට්‍යය එන්න තියෙනවා. සිනමාවෙන් ගත්තම රුක්මාල් නිරෝෂ්ගේ ‘අවාළු පැහැ වලාකුළක්‘, වෛද්‍ය කපිල සූරියආරච්චිගේ ‘අග්නික‘, ලලිත් රත්නායකගේ ‘ඩෙල්ෆ් සහ චොකලට්‘ යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.
ඔබේ වෘත්තිය රංගනය නෙමෙයි?
මම වෘත්තීය නළුවෙක් වෙන්න හිතපු කෙනෙක් නෙවෙයි. මට ඕනේ වුණේ වෙනත් වෘත්තියක් කරලා කලාව ජිවිතේ කොටසක් කර ගත්තු මනුස්සයෙක් වෙන්න. අද වෙද්දී නීතිඥවරයෙක් විදියට වැඩ කරනවා. ඒ එක්කම කලාවත් කරනවා. එහෙම බැලුවම මේ අංශ දෙකම මගේ වෘත්තීන් තමයි. මම කැමතියි ඒකට. මෞලි කියන කෙනා නීතිඥවරයෙක් සහ නළුවෙක් කියන දෙකම අහගන්න මම කැමතියි.
නීතිඥ වෘත්තීය කරන ගමන් රඟපාන්න චරිත තෝරා ගනිද්දී මොනවද මුලින්ම බලන්නේ?
මට පොඩි කාලේ චරිත තෝරා දුන්නේ මගේ තාත්තා. තාත්තත් කලා අධ්‍යක්ෂවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන හේමසිරි ෆර්ඩිනැන්ඩු. අද වෙද්දී නම් මම ස්වාධීනව චරිත තෝරා ගන්නේ. මට කරන්න දෙයක් තියෙන මට අභියෝගයක් තියෙන වටිනාකමක් තියෙන චරිත කරන්න කැමතියි.
වැඩි කැමැත්ත සිනමාවටද?
සිනමාවට ලොකු කැමැත්තක් තියෙනවා. පුංචි තිරයටත් කැමතියි. ඒ වගේම මම ආවේ වේදිකාවෙන් නිසා වේදිකාවටත් කැමතියි. මේ තුන තුනක්. ඒ රහ තුන්විදිහක්. මගේ කැමැත්ත සිනමාවට ද පුංචි තිරයට ද, වේදිකාවට ද කියලා කියන්න අමාරුයි.
ක්ෂේත්‍ර දෙකේම නියැළෙන්න ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
මට කවදාවත් ගෙදරින් බලපෑමක් තිබුණේ නැහැ. ගෙදර අය කැමති වුණේ මම කැමතිම දේ කරනවා බලන්න. මගේ ගමනට ශක්තිය වුණේ මගේ අම්මයි තාත්තයි. මට අදටත් ගෙදරින් බාධාවක් නැහැ. එයාලගෙ එකම සතුට මම සතුටින් ඉන්න එක. lලැබෙන ප්‍රේක්ෂක ආදරේට කියන්න දෙයක් ඇති
ඔව්. අනිවාර්යෙන්ම. නළුවෙක්ට වටිනාම දෙයක් තමයි ප්‍රේක්ෂක ආදරේ සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර. හැමදාම මෞලි කියලා රංගන ශිල්පියෙක් ඉදියි. හයියෙනුත් නැති හිමිනුත් නැති ගමනක් මට තියෙන්නේ. ඒ හැමදෙයක් එක්කම මා එක්ක ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.
අනාගත බලාපොරොත්තු මොනවද?
මම පවුල් ජීවිතේට ආදරේ කරන කෙනෙක්. හොඳ පවුලක් තුළ සතුටින් මේ හැමදෙයක්ම හොඳින් කරගෙන ඉස්සරහට යන එක තමයි බලාපොරොත්තුව. කලාව පැත්තෙන් මගේම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම සහ නීතිඥ ක්ෂේත්‍රය තුළ හොඳ නමක් තියෙන නීතිඥවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා.