මං දැන් ආත්මීය තෘප්තිය හොයනවා -රොෂාන් රවීන්ද්‍ර

gossiplanka image 1
 


වේශ නිරූපණය හා සහාය අධ්‍යක්ෂණය වැනි ක්ෂේත්‍රයන් ඔස්සේ කලාවට අවතීර්ණව “ආදරණීය වස්සානය” චිත්‍රපටයෙන් රංගන ශිල්පියෙකු ලෙස ප්‍රේක්ෂක අවධානය දිනාගත් ඔහු පසුව ‘ඇඩ්‍රස් නෑ.’, උත්පලවණ්ණා, මවුස් වැනි චිත්‍රපටවලද රංගනයේ යෙදිණ. ඔහු නොමැකෙන මතකයන් රැසක් සනිටුහන් කරන චරිත ගණනාවකින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂි දායකත්වයක් ලබා දී ඇත. ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් කතාබහට ලක් ව මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශනය වන ‘නටත් අයෙක් සුරාමතින්’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි. මේ කතාබහ ප්‍රකට රංගන ශිල්පි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රොෂාන් රවීන්ද්‍ර සමඟිනි.


‘ආදරණීය වස්සානය” (2004) චිත්‍රපටය තුළින් පේ‍්‍රක්ෂකයින් ඔබව හඳුනාගත්තා කිව්වොත්?


ඒක ගැන කියනවානම් ‘ආදරණීය වස්සානය’ කරන්නේ ෂෙනේෂ් බණ්ඩාර දිසානායක විසින්. ලංකාවේ චිත්‍රපට කර්මාන්තය පිරිහිලාම තිබුණු වකවානුවකයි. චිත්‍රපට වලට අවශ්‍ය කරන පසුබිම හදාගන්න නිෂ්පාදකවරු ඉදිරිපත් නොවුණු කාලයක නිව්ස් කැමරාවක් භාවිතා කරලා කරපු පෙරළියක් හැටියට ඒක හඳුන්වන්න පුළුවන්. අලුත්ම නළු නිළියෝ හැටියට මම සහ චතුරිකා පිරිස් තෝරාගෙන ඔහු ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා කියලා හිතනවා. ඒ චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයෝ නළුවෙක් හැටියට මාව දැක්කා. මට මතකයි එහිදී මාලිනී ෆොන්සේකා මට කිව්වා මාව නළුවෙක් විදිහට පේනවා කියලා. ආපහු හැරිලා බලද්දි ඒ තාක්ෂණය අපිට ජයගන්න පුළුවන් කමක් තිබුණේ නැති වුණත් මට ජයග්‍රහණයක් ගෙනාව බව නම් කිව යුතුයි.


ඔබ අංග රචනා ශිල්පියෙක් සහ සහාය අධ්‍යක්ෂවරයෙක් හැටියට ක්ෂේත්‍රයට අවතීර්ණ වීම තුළ රංගන ශිල්පියෙක් වීම අහම්බයක්ද?


ඒක අහම්බයක් නෙවෙයි. පි‍්‍රයන්ත සිරිකුමාරව හඳුනා ගැනීම මඟින් 1997 දී විතර මාව ඔහු ක්ෂේත්‍රයට රැගෙන විත් සහාය අංග රචනා ශිල්පියෙක් බවට පත් කළා. නමුත් මට තිබුණෙ රංගන ශිල්පියෙකු වීමේ අරමුණයි. ඒ නිසා මම තරුණ සේවා සභාවේ රංගනය හැදෑරුවා. සෝමලතා සුබසිංහ යටතේ කෙටි කාලයක්, අනෝජා වීරසිංහ, මහේන්ද්‍ර පෙරේරාගේ දීර්ඝ කාලයක් ආදි වශයෙන් බොහෝ තැන් වලින් මම රංගන ශිල්පය හදාරලා තියෙනවා. විමුක්තිගේ ‘සුළග එනු පිණිස’ චිත්‍රපටයේ දෙවන සහාය අධ්‍යක්ෂවරයා සහ ටෙලි නාට්‍ය කිහිපයක සහාය අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කළා. වෘත්තීය දැනුම තාක්ෂණික ඥාාණය ආදි සියල්ලම එකට එකතු කරගෙන හොඳ රංගන ශිල්පියෙකු වීමේ අරමුණින් යුතුව ඉදිරියට ආවා.


රඟපෑ බොහෝ චරිතවලින් ඔබ දක්ෂ රංගන ශිල්පියෙක් බව සනාථ කර තිබෙනවා. රංගනය හදාරා කළයුතු කටයුත්තක්ද?


හැදැරීමෙන් කළයුතු කටයුත්තක් රංගනය කියන්නේ. කෙනෙකුගේ රූපකාය දිහා බලලා ඔහුව මගේ නිර්මාණයට ගැළපෙනවා කියලා තෝරාගන්න පුළුවන්. නමුත් ඒ තෝරා ගැනීම එක කොටසක් විතරයි සීයට පනහක් විතරයි. අනිත් කොටස තියෙන්නේ තෝරා ගත්තු කෙනා ළඟයි. හැදෑරීමක් නැතුව දීර්ඝ කාලීනව රංගන ශිල්පියෙක් වෙන්න බැහැ. අපිට ක්ෂේත්‍රය දිහා බැලුවොත් හැදෑරීමක් කළ අය රැදිලා ඉන්න විදිහත් එහෙම නොකළ අය එළියට විසිවෙන විදිහත් දකින්න පුළුවන්. විධිමත්ව හදාරන්න ඕනෑ කියල අපි අදහස් කරන කාරණය ඇතුළෙ ගාමිණී ෆොන්සේකා, මාලිනී, ජෝ, ටෝනි වගේ පෙර පරපුරත් ඉන්පසුව කමල්, මහේන්ද්‍ර, ශි‍්‍රයන්ත, ජැක්සන් සහ අපේ පරපුරේත් දක්ෂයෝ ගත්තම ඒ අය රඳා පැවතුණේ සමාජීය හැදෑරිම්, දේශපාලන හැදෑරීම් ආදිය මතයි. වර්තමාන රජය සිනමා පාසැලක් ආරම්භ කිරීමට සැලසුම් කරන බවක් කියනවා. සිනමා පාසැලක් අවශ්‍යයි. නමුත් ඒක මුලික අවශ්‍යතාවයක් නෙමේ. මේවා ඉගෙන ගත්තු රස්සාව අහිමි වුණු මිනිස්සු ඉන්නවා. ඔවුන්ගේ වෘත්තීය පසුබිම හැදීමයි මුලින්ම කළයුතු වෙන්නේ. කලාකරුවෙක් හැටියට කටයුතු කරන්න මම හදාරලා තියෙන දේවල් හොඳටම ඇති.


ටෙලි නාට්‍ය කලාවක් නොව මාධ්‍යයක් ලෙස අර්ථකතනය කරනවා. ඔබ එය හඳුනාගෙන තියෙන්නෙ?


ටෙලිවිෂන් එකට ආවට පස්සේ ඒක භාණ්ඩ විකුණන්න ආපු එකක් කියලා හිතුවට ඒක ඇතුළෙ කලාව කරපු අවස්ථා හුඟාක් තියෙනවා. ටෙලිවිෂන් එන්න කලින් සිනමාව තිබුණට හැදෑරීම් කරපු අය එළියට එන්නෙ ටෙලිවිෂන් එක හරහා රංගන ශිල්පීන් අධ්‍යක්ෂවරුන් කලර්ස් පෙන්නලා තියෙනවා ඒක ඇතුළෙන්. දැන් ටෙලිවිෂන් එක වල් වැදිලා තියෙන්නෙ. ඒක තව අවුරුදු 15කින් විතර බලාගන්න පුළුවන් අපට. එක් පෞද්ගලික නාළිකාවක් ටෙලි නාට්‍ය කලාවේ ‘ආර්ට්’ එක විනාශ කළේ. අපි තමයි හැමදේම මුලින්ම කළේ කියලා පටන් ගත්තා. ඊට පස්සේ ආපු චැනල් ටිකත් ඔක්කොම එකතුවෙලා තරඟෙට විනාශයක්ම තමයි කෙරුවේ. මෙය ගෞරවාන්විත වෘත්තියක් කරන එකේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. එහෙම නැතුව නළු නිළියන්ටවත් අධ්‍යක්ෂවරුන්ටවත් නෙමේ.


‘තණමල්විල කොල්ලෙක්’ සහ ‘නටත් අයෙක් සුරාමතින්’ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ඔබ අධ්‍යක්ෂණ භූමිකාවට අවතීර්ණව කතාබහට ලක්වෙමින් සිටිනවා….


මගේ ජීවිතයේ මම ලබන තෘප්තිය ඒක තමයි. මම සතුටුවෙන කාරණයත් එකමයි. ආර්ටිස් කෙනෙක් විදිහට. මම භෞතික දේ නැතිවුණත් පවතින රටාවේ ගිහින් මොකක් හරි කරලා සල්ලි හොයාගන්න පුළුවන්කම තිබුණත් මම එහෙම කරලා නැහැ. මම මෙගා නාට්‍ය වලට ගිහිනුත් නැහැ. නමුත් මට සතුටු වෙන්න පුළුවන් දේවල් ලැබිලා තියෙනවා. මම දැන් ආත්මීය තෘප්තිය හොයනවා. මම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍ය කරන්න නිෂ්පාදන දායකත්වය ලබාදුන් ෆාහිම් මඩුජුඩ්ට ඔහු එහෙම නොකළ නම් මට අධ්‍යක්ෂවරයෙක් වෙන්න ලැබෙන්නේ නැහැ. මම හැමවිටම හිතුවේ කලාව තුළින් මිනිස්සුන්ට ආනන්දයෙන් ප්‍රඥාව ලබාදෙන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ ටෙලි නාට්‍ය වෙනුවෙන් මං හුඟාක් දුෂ්කර ක්‍රියාවන් කළා. ඒ සඳහා කණ්ඩායමේ උදව් මට ලැබුණා. මගේ මහන්සිය වෙනුවෙන් ප්‍රේක්ෂකයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ටෙලි නාට්‍ය කරලා අවුරුදු 6ක් විතර වුණාට පස්සෙ තමයි මට නැවතත් අවස්ථාවක් ලැබුණේ. නිර්මාණයක් කරන්න. ඒ අතරතුර ගතවුණු කාලය සමහරු ඇවිත් අන්තිම මොහොත දක්වාම ඉඳලා අතැරලා දාලා ගියා. මම ටෙලි නාට්‍යයක් කරන්න කියලා කාටවත් අල්ලස් දීලා නැහැ. නිළියො පෙන්නලත් නැහැ. රොෂෙල් ස්ටෙෆනී මට උදව් කළ නිසා ‘නටත් අයෙක් සුරා මතින්’ පේ‍්‍රක්ෂකයෝ අතරට ගේන්න පුළුවන් වුණා. ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන සතුටුයි. මම ආයේ ටෙලිනාට්‍ය කරන්නෙත් නැහැ. රඟපාන්නෙත් නැහැ. චැනල් කාරයින්ගේ පස්සෙ ගිහින් අපේ නිෂ්පාදන වියදමවත් ලැබෙන්නේ නැතිනම් අපි මොකටද වැඩ කරන්නේ. අපේ හැමදේම හූරාගෙන කන තැනට පත්වෙලා තියෙන මාධ්‍යයක වැඩ කරන්න මම කැමැති නැහැ. නමුත් රූපවාහිනිය පැත්තකට විසි කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒක මතවාදයක් හදන්න පුළුවන් තැනක්. රජයේ නාලිකා දෙක නිහඬ නිසා පෞද්ගලික නාලිකා වලට ඕනෑ විදියට හසුරවනවා.


අධ්‍යක්ෂණය කරමින් රංගනයේ යෙදීම පිළිබඳව?


රඟපාන එකත් භාරදුරයි. අධ්‍යක්ෂණයත් එහෙම කටයුත්තක් ‘තණමල්විල කොල්ලෙක්’ කරද්දි මම අධ්‍යක්ෂණය කළා විතරයි. ‘නටත් අයෙක් සුරා මතින්.’ වල මුල් දවස් මට ටිකක් අපහසු වුණා. සීමාසහිත බජට් එකක වැඩ කරද්දි ඇතිවන අපහසුතා අමාරුවෙන් ජයගත්තා. රංගන ශිල්පියෙක් කියන්නෙ මනසත් එක්ක වැඩ කරන කෙනෙක්. මනස නිදහස්ව තියාගන්න ඕනෑ. ඔය කටයුතු දෙකම කළ කිහිප දෙනා අතර මමත් හොඳට ඉන්නවා කියලා අපේ ප්‍රවීණයෝ මට සුබ පැතුවා. ඔය දෙකම කරන මම කැමති කෙනෙක් ඉන්නවා බටහිර සිනමාවේ. ඔහු තමයි ක්ලින්ට් ඊස්ට්වුඩ්’ මම ඔහුව හිතේ තියාගෙන ඉන්නවා ඔහු කොහොමද මේ දෙකම හරියට කළේ කියල හොයා බලනවා. අධ්‍යයනය කරනවා. තමන්ගේ දැනුම තමයි අපිව ඉස්සරහට ගෙනියන්නේ. මම ඇත්තටම අධ්‍යක්ෂවරයෙක් වෙන්න හේතුවත් මගේ හිතේ තියෙන මම ආස කරන දේවල් කරන්න තමයි.


ඔබේ ගමන් මඟ දෙස නැවත හැරී බැලුවොත් මොකද හිතෙන්නේ…


මං තරම් සතුටුවෙන කෙනෙක් නැතුව ඇති. මං බොහොම පුංචි තැනකින් ආවේ. මගෙ දෙමව්පියෝ මේ ක්ෂේත්‍රයට සම්බන්ධයකුත් නැහැ. මං හිතන විදිය වෙනස් නිසා සමහරවිට සම්මානයක් වුණත් නොදී බැරි වෙලාවල් වලදී විතරයි ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ සම්මාන මගෙ පිටිපස්සෙන් ඇවිල්ලා තියෙන්නේ. මගෙ වටිනාකමට ලැබුණු දේවල් වලට මං ගෞරව කරනවා. මට දැන් චිත්‍රපටයක් කරන්න පුළුවන්. ලස්සන චිත්‍රපටයක් කරන්න සුදානම් වෙනවා. රටක් දියුණු වුණත්, මේ ක්ෂේත්‍රය දියුණු වුණත් වැඩක් නැහැ. මිනිස්සුන්ගේ මනස දියුණු නැත්නම්. අපි තවමත් එහෙම සංග්‍රාමයකට ගිහින් නැහැ. මං භෞතිකව ගොඩනැගිලි හදල නැතිවුණත් පවුලේ හැමෝම එක්ක සතුටින් ජීවත්වෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post