ජාතික රූපවාහිනියේ විකාශය වන ගේට්ටුවා ටෙලිනාට්‍යයේ දුල්ෂන්ගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ඔහු දක්ෂ රංගන ශිල්පියෙකි. අද අපේ කතාබහ ඔහු සමඟයි. ඔහු නමින් හර්ෂ තෙන්නකෝන්.
‘ගේට්ටුවා‘ අවුරුදු පහකට වඩා පරණ නාට්‍යයක් කිව්වොත්?
ඒක ඇත්ත. ගේට්ටුවා ටෙලිනාට්‍යය කියන්නේ අවුරුදු හතකට විතර කලින් කරපු එකක්. අවුරුදු හතකට පස්සේ තමයි නාට්‍යය විකාශය වුණේ. අපි ඉස්සර කරපු ලෙවල් එකයි දැන් කරන ලෙවල් එකයි සෑහෙන්න වෙනස්. ඒකට හේතුව මේ ක්ෂේත්‍රයේ තියෙන අපි හැමදාම වගේ කතා කරන ප්‍රශ්න. චැනල්වලින් ගෙවන ගාණ අඩු වෙනකොට නාට්‍යයේ ගුණාත්මක බව සෑහෙන්න අඩු කරන්න සිද්ධ වෙනවා. ඒක ඇතුළේ ප්‍රේක්ෂකයාට සෑහෙන අසාධාරණයක් වෙනවා කියලා තමයි මම හිතන්නේ. මම සෑහෙන්න ට්‍රයි කරලා තියෙන්නේ මගේ think career එක ඇතුළේ ප්‍රේක්ෂකයාට වග කියන කෙනෙක් වෙන්න. ඒක මගේ යුතුකමක් විදිහට මම විශ්වාස කරනවා. චරිතයක් හරියට ගොඩ නඟා ගන්න, ඒ චරිතයේ ධාවනය සහ විකාශනය සම්බන්ධයෙන් හරි අදහසකින් තමයි මම චරිතයක් භාර ගන්නේ. නළුවෙක් විදිහට ගේට්ටුවා නාට්‍යයට සම්බන්ධ වීම සහ මාව තෝරා ගැනීම සම්බන්ධයෙන් ලොකු සතුටක් තියෙනවා.
ගේට්ටුවා නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ කොහොමද ?
මට මුලින්ම නාට්‍යයට කතා කළේ ඉස්සර හිටපු ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්. පස්සේ තමයි මුහුරත් එකේදි හම්බ වුණේ අපේ ඩිරෙක්ටර් අසිත. මේකේ රන්මලීට ඇක්ට් කරන යශෝ මම කලින් දන්නවා. අපි හැමෝම වැඩ කළේ එකට. නාට්‍යයේ ඉන්න ගොඩක් අය මම කලින් දන්න කට්ටිය. මම ආස වුණා ඒ චරිතය සම්බන්ධයෙන්. සහාය අධ්‍යක්ෂක හරහා තමයි මට මුලින්ම කෝල් එක එන්නේ. ඊට පස්සේ අසිත කාරියවසම් එක්ක අපි නාට්‍යය ගැන කතා කරනවා.
ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය මොන වගේද?
මම ඒ චරිතයට ගොඩක් ආසයි. මගේ චරිතය ගැන කතා කළොත් ඉතාම අහඹු ලෙස යන ට්‍රිප් එකකින් අහඹු ලෙස ගැහැනු ළමයෙක් වැවට පනින්න යනවා. එයාව බේර ගත්තට පස්සේ තමයි දන්නේ ඇය වැවට පනින්න හේතු වෙන කාරණයට මගේ තාත්තත් සම්බන්ධයි කියලා. දුල්ෂන් කියන්නේ මුලදී හිතුවක්කාර, දඩබ්බර, තාත්තාගේ බලය ගත්ත ලොකු ඊගෝ එකක් තිබ්බ කොල්ලෙක්. ඒ වගේම නීතිය ඉගෙන ගත්ත සල්ලි කාරයෙක්ගේ පුතෙක්. නමුත් රන්මලීගේ ඛේදවාචකය ඇහුවට පස්සේ දුල්ෂන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දුල්ෂන්ට ඕන වෙන්නේ රන්මලීට සාධාරණයක් ඉෂ්ට කරන්න. ගමට ගියාට පස්සේ තමයි සුසිරිට වුණු අසාධාරණය ගමේ ඉහළ පැලැන්තිය පහළ පැලැන්තියව පෙළෙමින් ගෙන යන වැඩවසම් පාලන ක්‍රමය අහු වෙන්නේ. දුල්ෂන් ඒ වෙනුවෙන් සටන් කරනවා. චරිතය විකාශය වෙන්නේ එහෙම. ඔහු හැම වෙලාවෙම උත්සාහ කරනවා සමාජ අසාධාරණයට ලක් වෙන පැලැන්තිය වෙනුවෙන් තමන්ට පුළුවන් විදිහට සේවය සපයන්න.
අධ්‍යක්ෂවරයා ඇතුළු සෙසු රංගන ශිල්පීන්ගෙන් ඔබේ චරිතයට ලැබෙන සහයෝගය කොහොමද ?
අපි මුලින්ම පිටපත බලලා තමයි වැඩේ පටන් ගත්තේ. හැම වෙලාවෙම චරිතය ගොඩනඟා ගන්න හැමෝම උදව් කළා. අවුරුදු හතක් ගිහිල්ලා ඉතිරි ටික ෂූටින් කරත් දුල්ෂන්ගේ මූලික ලක්ෂණ ටික අමතක කරගන්නේ නැතුව චරිතය ගෙනියන්න තමයි මම සෑහෙන්න උත්සාහ කළේ. දුල්ෂාන් මේ වෙලාවේ ගමට ඇවිත් හිටියත් ඊට කලින් නාහෙට අහන් නැති, ක්ලබ් ගිය තරුණයෙක්. එහෙම කෙනෙක් තමයි පසුව ගමට ඇවිත් අසාධාරණය වෙනුවෙන් පෙනී ඉන්නේ. එතකොට ඒ චරිතයේ චරිත ලක්ෂණ බිඳ වැටෙන් නැතිව පවත්වා ගෙන යන්න හැමෝම ලොකු සපෝර්ට් එකක් දෙනවා.
රංගන කටයුතු සාර්ථක කර ගන්න පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
පවුලෙන් ලැබෙන සහයෝගය තමයි මගේ රංගන කටයුතු වලට බාධා නොකර සිටීම. මුල් කාලයේ මම ඒ අයට ආරාධනා කරා මගේ නාට්‍ය බලන්න කියලා. මම අවුරුදු 19 දී තනියෙන් ජීවත් වෙන්න ඕනි කියලා තීරණයක් මත ගෙදරින් එළියට ආව කෙනෙක්. ඒත් අම්මා අප්පච්චිලා එක්ක මගේ සම්බන්ධය තිබුණා. මේ වෙලාවේ මගේ ප්‍රේක්ෂකයාට තමයි ස්තූති කරන්නේ. මා තුළ ඉන්න නළුවට මැරෙන්න දෙන්නේ නැතිව පරිස්සම් කරගන්න මට දිරියක් වුණාට.
ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අලුත් වැඩ මොනවද ?
මේ වන විට මම අධ්‍යක්ෂණයට පිවිසිලා ඉන්නේ. ඉදිරියේදී නාට්‍යයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ ලොකුම අරමුණ තමයි මම ආස විදිහේ, මට කරන්න බැරි වුණු විදිහේ නිර්මාණ කරන එක. රඟපාන්න විතරක් නෙවෙයි අධ්‍යක්ෂණයටත් මම ඉතාම ආසාවකින් ඉන්නවා. මැරෙන්න කලින් මගේ ඔළුව ඇතුළේ තියෙන වැඩ ටික එළියට දා ගන්න ඕනේ. කා සමඟවත් මට තරගයක් නෑ. හිමින් ගමනක් හිමින් වැඩ ටිකක් කරගෙන මගේ විදියට ඉන්න කෙනෙක්. මම කැමති නිදහසේ ඉන්න. කරන වැඩවලට කවුරුත් ඇඟිලි ගහනවට කැමති නෑ.
හර්ෂ තෙන්නකෝන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ ?
මම හැකිතාක් උත්සාහ කරනවා ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු බිඳ දමන්නේ නැතිව ඉන්න. නිතර පේන්නේ නැති කොට ගොඩක් අය හිතනවා මම රඟපාන්නේ නෑ කියලා. ඒකට හේතුව තමයි මම දිග නාට්‍ය කරන්නේ නැති එක. පොඩි නාට්‍යවලට ලංකාවේ තියෙන්නේ ඉතාම පොඩි බෙල්ට් සංඛ්‍යාවක්. එතකොට මාව පේන්නේ ඉඳලා හිටලා. මං ආසයි ඉඳලා හිටලා පේනවට. මම රසිකයන්ගෙ බලාපොරොත්තු කඩා දමන්නේ නෑ. මට කැමති පොඩි හරි ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා කියලා දන්නවා.