සැමදෙනාගේ අවධානයට ලක්වූ පුවතක් පසුගිය දිනක භාරතය දෙසින් වාර්තා විය. ඒ ලෝ ප්‍රකට සුපිරි රංගන ශිල්පී අමීර් ඛාන් නැවත විවාහ වීම සම්බන්ධයෙනි. විශේෂත්වය වන්නේ මෙය බොලිවුඩයේ රජෙක් ලෙස වැජඹෙන සුපිරි නළුවාගේ තෙවන විවාහය වීමය. ඔහු මීට පෙර පිළිවෙළින් චිත්‍රපට නිෂ්පාදිකාවක වන Reena Dutta (1986-2002) සහ සිනමාවේදිනියක වන Kiran Rao (2005-2021) සමඟ විවාහ වී සිට වෙන් වූවෙකි.
මෙවර අමීර් ඛාන්ගේ අතගත් ඇය 47 හැවිරිදි Gauri Spratt ය. ඇය වෘත්තියෙන් ව්‍යවසායිකාවක් සහ රූපලාවණ්‍ය ශිල්පිනියකි. දමිළ – අයර්ලන්ත – බ්‍රිතාන්‍ය මිශ්‍රිත සම්භවයකින් පැවත එන ඇගේ සීයා මානව ක්‍රියාකාරිකයෙකු සහ රචකයෙකි. University of the Arts London වෙතින් මෝස්තර නිර්මාණකරණය සහ ඡායාරූප ශිල්පය ගැන උපාධියක් හදාරා ඇති ගෞරි මේ වන විට Bengaluru ආශ්‍රිතව රූපලාවණ්‍යාගාර ජාලයක් පවත්වාගෙන යයි. ඇය ඊට අමතරව අමීර් ඛාන් ගේ නිෂ්පාදන ආයතනය සමඟද සම්බන්ධව සිටියි.
අමීර් සහ ගෞරි ආදර කතාව ඇරඹෙන්නේ 2023 වසරෙනි. ඊට පෙර වසර 25ක් පමණ මෙම දෙදෙනා දැන හැඳිනගෙන ආශ්‍රය කර ඇති බවද සඳහන් වේ. අමීර් ඛාන් සිය නව සහකාරිය මාධ්‍ය වෙත නිරාවරණය කළේ 2025 වසරේදීය. ඊට සමගාමීව ඔහුගේ 60 වන උපන්දිනය යෙදී තිබීම විශේෂත්වයකි. එහිදී පැවසුණේ එම යුවළ ඒ වන විට වසරකට වැඩි කාලයක් ආශ්‍රය කරමින් සිටි බවයි.
ඔවුන්ගේ විවාහ උත්සවය පසුගිය ජූලි මස 05 වන දින මුම්බායි හි Bandra හි Pali Hill ප්‍රදේශයේ පිහිටි අමීර් ඛාන්ට අයත් නිෙවසේදී පැවැත්විණි. දෙදෙනාගේ පවුලේ සමීපතමයන් සහ ක්ෂේත්‍රයේ හිතවතුන් සහභාගී වූ මෙම උත්සවය චාම් එකක් බව කියැවේ. මීට සහභාගි වූ නමගිය ආරාධිතයින් අතර ව්‍යාපාරික Mukesh Ambani, ක්‍රිකට් ක්‍රීඩක Irfan Pathan, Lagaan චිත්‍රපටයේ අධ්‍යක්ෂ Ashutosh Gowariker, ප්‍රහසන නළු Vir Das ප්‍රධාන වේ.
මෙම යුවළේ පූර්ව විවාහයන්හි දරුවන්ද මංගල උත්සවය සඳහා සහභාගි වී සිටීම විශේෂත්වයකි. ඒ අතර අමීර් ඛාන් ගේ Junaid Khan (රංගන ශිල්පී), Ira Khan (චිත්‍රපට අධ්‍යක්ෂිකා) සහ Azad Rao Khan ද; Gauri ගේ පුත් Quinn ද වේ.
විවාහ උත්සවයේදී ගනු ලැබූ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල කලඹමින් ප්‍රචාරය වෙද්දී ඒ ගැන තොරතුරු දැනගැනීමට අමීර් ඛාන් ගේ රසික රසිකාවියන් නොඉවසිල්ලෙන් බලා සිටියහ.
මෙම සුපිරි නළුවාට තෙවන වරටත් මංගල සීනු හැඩවුණු මෙම මොහොතේ ඔහුගේ සිනමා දිවිය දෙස ආපසු හැරී බැලීම වටියි.
1965 මාර්තු 14 දා උපන් Aamir Hussain Khan ගේ චිත්‍රපට දිවිය දශක තුනක් ඈතට දිව යන්නකි. ඔහු ප්‍රථම වතාවට රිදී තිරයක චරිතයක් නිරූපණය කළේ Yaadon Ki Baaraat (1973) සිනමාපටයේ ළමා නළුවෙකු වශයෙනි. ඒ සඳහා ඔහුට අවස්ථාව ලැබුණේ එහි අධ්‍යක්ෂ Nasir Hussain සමඟ ඔහුට තිබූ ඥාති සම්බන්ධයකි. වැඩිහිටියෙක් ලෙස ඔහු ඉදිරිපත් කළ ප්‍රථම රංගනය Holi (1988) වෙනුවෙනි. අනූව දශකය වන විට බොලිවුඩයේ ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පියෙකු වශයෙන් සිය ස්ථාවරය සනිටුහන් කිරීමට අමීර් ඛාන් සමත් විය. ඒ Dil (1990), Rangeela (1995) සහ Raja Hindustani (1996) ඔස්සේය. Raja Hindustani ඔහුට ප්‍රථම ෆිල්ම් ෆෙයාර් සම්මානයද හිමිකර දුනි.
1999 දී Amir Khan Productions නමින් තමන්ගේම සිනමාපට නිෂ්පාදන ආයතනයක් පිහිටු වූ ඔහු Lagaan (2001) නමින් එහි ප්‍රථම නිෂ්පාදනය සිදු කළේය. විශේෂත්වයක් වන්නේ Lagaan, 74 වන ඇකඩමි සම්මාන උලෙළේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපටය සඳහා නිර්දේශ වීමය. අමීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම චිත්‍රපටය Taare Zameen Par (2007) ය. ඊට ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය යන සම්මාන ද්විත්වයම හිමි විය. මීට අමතරව ඔහුගේ Ghajini (2008), 3 Idiots (2009), Dhoom 3 (2013), PK (2014) සහ Dangal (2016) යන චිත්‍රපට වාණිජ වශයෙන් අතිශය සාර්ථක විය.
මේ වනවිට අමීර් ඛාන් බොලිවුඩයේ එදා මෙදා තුර බිහිවූ ප්‍රමුඛතම නළු ලැයිස්තුවට ඇතුළත් වී අවසන්ය. ඉන්දීය රජය විසින් පිරිනමන පද්ම ශ්‍රී (2003) සහ පද්ම විභූෂණ (2010) යන සම්මානවලින් පිදුම් ලැබූ ඔහු 2017 වසරේ චීන රජය පිරිනැමූ ගෞරව සම්මානයක්ද හිමිකර ගැනීමට සමත් විය. මීට අමතරව 2012 වසරේදී ලෝ ප්‍රකට Time සඟරාව විසින් නම් කළ ලොව වඩාත්ම බලපෑමක් ඇතිකළ හැකි පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවට තම නම ඇතුළත් වීමට තරම් අමීර් ඛාන් වාසනාවන්ත වී තිබිණි.
ප්‍රේක්ෂක මනසේ කාලාන්තරයක් ලැගුම් ගන්නා චරිත රිදී තිරය මත නිරූපණය කිරීමට අමීර් ඛාන් උපන් හපනෙකි. මේ හේතුවෙන් ඔහුගේ කීර්තිය භාරතයෙන් ඔබ්බට සිටින සිනමා රසිකයන් අතරද පැතිර ගොස් ඇත. නව විවාහයත් සමඟ ඔහුගේ සිනමා දිවිය මෙන්ම පෞද්ගලික දිවියද කෙසේ ඉදිරියට යනු ඇත්ද යන්න ලොවක් දෑස් අයා බලා සිටින්නේ එබැවිනි.