නයෝමී පෙරේරා ගැන මේ දිනවල වැඩිපුරම ඇසෙන්නේ සිනමාව දෙසිනි. අරුණ ජයවර්ධනගේ ‘එදා රෑ’ සහ ‘පිස්zoo’ සිනමාපටවලට රංගනයෙන් දායක වන නයෝමී ශලනි තාරකාගේ පළමු සිනමා නිර්මාණයටද ආරාධනා ලැබ සිටින්නීය. එමෙන්ම ‘විසේකාරී’ සහ ‘සිත නිදි නෑ’ ටෙලි නිර්මාණ ඔස්සේ පුංචි තිරයේද නිතර දකින නයෝමී තම සිනමා සිහිනය ඉක්මනින්ම සැබෑවීමේ සතුට විඳිමින් සිටින අතරේම අප හා කතාබහට එක්වූවාය.
නයෝමි මේ දවස්වල ගොඩක් කාර්යබහුල චරිතයක් වෙලා නේද?
ඇත්තටම ගොඩක් කාර්යබහුලයි. විකාශය වුණු ටෙලි නිර්මාණ තුනෙන්
‘හිතාගන්නම බැරි කතාවක්’ ඉවර වුණා. ‘විසේකාරී’ සහ ‘සිත නිදි නෑ’ තවමත් විකාශය වෙනවා. ඊට අමතරව තවත් ටෙලි නිර්මාණ තුනකට සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය දෙකක වැඩ නම් මේ වෙද්දි පටන් අරන්. අනෙක් එකේ ෂූටින් ඉදිරියේදී පටන් ගනීවි. ඊට අමතරව මේ වසරේ සිනමා නිර්මාණ තුනකට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඉන් දෙකක රූගත කිරීම් ඉවරයි. අනෙක් එක මේ දිනවල ෂූට් කෙරෙනවා. මේ සියල්ලම එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ.
පුංචි තිරයේත් ඔබ ගැන වැඩිපුර කතාබහට ලක්වෙනවා නේද?
ඔව්…ඔව්… පසුගියදා නිමාවට පත්වුණු ‘හිතාගන්නම බැරි කතාවක්’ ටෙලි නිර්මාණයේ අනර්කලීට ගොඩක්ම ප්‍රතිචාර ලැබුණා. කතාව ඉවර වෙලත් ඔයා නිසයි නාට්‍ය බැලුවේ කියපු කට්ටියක් අදටත් ඉන්නවා. අයියටම ගැළපෙන විදිහට නංගිගේ චරිතය කරනවා කියලත් සමහරු කියනවා. විසේකාරී ටෙලි නිර්මාණයේ ලෙක්චරගෙ චරිතයටත් ප්‍රතිචාරවලින් අඩුවක් නෑ. ‘සිත නිදි නෑ’ චරිතයටත් ඒ වගේම ආදරයක් ලැබෙනවා.
පුංචි තිරයේ වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතයටද කියලා ඇහුවොත්?
විසේකාරී සහ හිතාගන්නම බැරි කතාවක් ටෙලි නිර්මාණවලට තමයි ගොඩක්ම ප්‍රතිචාර ලැබුණේ. ඒ ලැබුණු ප්‍රතිචාර නිසා තමයි මේ තරම් පිරිසක් කතාව බලනවා කියන එක දැනගත්තෙත්. විසේකාරී චරිතයට ප්‍රතිචාර දක්වද්දී කියන්නේ එකම දෙයයි. චේතිය සර්ගෙන් පරිස්සම් වෙන්න කියලා. ඇත්තටම එයා ඒ වගේද කියලත් අහනවා.
විසේකාරී ලෙක්චරගෙ චරිතයට සමාජයෙන් බලපෑමක් වුණේ නැද්ද?
විසේකාරී ටෙලි නිර්මාණයට බලපෑම් එනවා. දරුණුවටම බලපෑම් ආපු අවස්ථා තියෙනවා. විශේෂයෙන් චේතිය සහ ඩීන්ගෙ චරිතවලට සමාජයෙන් ලොකු බලපෑම් ආපු අවස්ථා තිබුණා. මගේ චරිතයටත් බලපෑමක් නොවුණාම කියන්නත් බැහැ. නමුත් ඒ තත්ත්වය දිගටම පවතින්නේ නැත්තේ මගේ චරිතය ටිකක් ලිස්සල යන සුලු චරිතයක් නිසා. කියන්න ඕන දේත් කියලා යාළුකමත් තියාගෙන බැලන්ස් කරගන්න නිසා ලොකුවටම බලපෑමක් වුණේ නැහැ. සමහර රසිකයෝ මටත් “ලජ්ජ නැති ගෑනියෙක්“ කියල බැණලා එවනවා. විශේෂයෙන්ම මට බණින්නේ කරදර කරන්න යද්දි යාන්තම් ගැලවිලා ගිහින් ආයෙමත් ඔහු එක්ක හිනාවෙලා කතාකරලා සාමාන්‍ය විදිහට ඉන්නවා කියලයි. හමුවුණු අවස්ථාවල සමහරු මූණටම කියල යනවා ඔයාට නම් ලැජ්ජ නෑ කියලා.
‘සිත නිදි නෑ’ සඳලි කියන්නෙත් ඔබට ගොඩක් ආදරය ලැබුණු චරිතයක් නේද?
සිත නිදි නෑ නාට්‍යයේ දැන් ගොඩක් කොටස් විකාශය වෙලා තියෙනවා. පවුලේ නාට්‍යයක් වගේ. සඳලිටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.
ඔබ සිනමාවේ පළමු අත්දැකීම ලබන්නේ ‘එදා රෑ’ සිනමා නිර්මාණයෙන්?
අරුණ ජයවර්ධනගේ ‘එදා රෑ‘ සිනමා නිර්මාණයෙන් තමයි මං සිනමාවට පිවිසෙන්නේ. චිත්‍රපටයේ තිර රචනය සුනෙත් මාලිංගගේ. කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය. ඒ වගේ ප්‍රවීණ පිරිසක් එක්ක සිනමාවේ මගේ පළමු අත්දැකීම ලබාගන්න හැකිවීම මගෙත් වාසනාවක්. ‘එදා රෑ’ සඳහා මට ආරාධනා ලැබෙන්නේ මෙවන් ලියනගේ අයියාගෙන්. ටෙලි නාට්‍ය සහ සිනමාව අතර වෙනස හඳුනගන්න ඒ ප්‍රවීණයන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒක මට ලොකුම අත්දැකීමක් වුණා. ‘එදා රෑ’ පළමුව රූගත කෙරුණත් සිනමාවට මුල්ම ආරාධනය ලැබුණේ ශලනි තාරකාගේ ප්‍රේමියේ සිනමා නිර්මාණයට. නමුත් මුලින්ම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ එදා රෑ සිනමාපටයට. ඒකෙ වැඩ මේ වෙද්දි ඉවරයි. මගේ පළමු සිනමා අත්දැකීම මේ වසරේ තිරය මත දකින්න ලැබේවි කියන බලාපොරොත්තුවත් තියෙනවා.
පිස්ZOO සිනමා නිර්මාණය වෙනස්ම අත්දැකීමක් වෙන්න ඇති?
පිස්ZOO අරුණ ජයවර්ධනයේ අධ්‍යක්ෂණයක්. ඒකෙත් තිරපිටපත සුනෙත් මාලිංගගේ. ඒක සුවිශේෂී කතාවක් කිව්වත් හරි. ලංකාවේ තිරගත වන පළමු සෙමි ඇනිමේෂන් ෆිල්ම් එක. මිනිසුන් සහ සතුන් යොදාගෙන කරපු සිනමා නිර්මාණයක්. ලංකාවේ සිනමාවේ සත්තු එක්ක කතා කරන අත්දැකීමක් ලබන පළමු අවස්ථාවත් මේක. මට විලන් චරිතයක් ලැබුණු පළමු අවස්ථාව. ඒකත් වෙනස්ම අත්දැකීමක් වුණා.