වේදිකාවට තිබුණ ආදරේ නිසයි නළුවෙක් වුණේ -ඔවින් අභිෂේක

gossiplanka image 1
 


මේ දිනවල සාර්ථකව තිරගත වන ලලිත් රත්නායකගේ රිවර්ස්ටන් නැරඹුවොත් මුලින්ම අපිට ගැඹුරු හඬක් ඇහෙනවා. ඉන් පසු ඒ හඬ හිමි තරුණයා කවුද වග දැන ගන්නට ලැබෙනවා. වේදිකාවෙන් සුපෝෂණය වී තාරුණ්‍ය නියෝජනය කරන රංගන හැකියාව ඇති ඔවින් අභිෂේක බණ්ඩාර තමයි ඒ විදියට ප්‍රේක්ෂකයන් අතරට එන්නෙ. අද රසඳුන මේ කතාබහ ඔහු සමඟයි.


ඔවින්ට කොහොමද රිවර්ස්ටන් චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?


ඒ අවස්ථාව ලැබෙන්නේ එක සුන්දර හමුවීමකින්. මගේ විශ්වවිද්‍යාලයේ, ඒ කියන්නෙ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ 2023 අවුරුද්දෙ මම දෙවන වසරේ නාට්‍ය විෂය හදාරමින් ඉන්න කාලේ. ඒ වෙනකොට විශ්වවිද්‍යාලයේ හිටපු නර්තන අංශයේ අවසන් වසර සහෝදර පිරිස එයාලගෙ අවසන් වසර විභාග කටයුත්තකට චිත්‍රපටයක් නිර්මාණය කළා. අපේ විශ්වවිද්‍යාලයේ නර්ථන අංශයේ විද්‍යාර්ථීන්ට සිනමාකරණය විෂයක් විදිහට තෝරගෙන කරන්න පුළුවන්. ඒක තෝරගත්ත කණ්ඩායම සිනමා නිර්මාණයක් අවසන් වසර නිෂ්පාදනය විදිහට නිර්මාණය කරනවා. මට සහ මගේ මිතුරන් කීප දෙනෙක්ට ඒකට රංගනයෙන් දායක වෙන්න එයාලගෙන් ආරාධනාවක් ලැබුණා. ඒ නිෂ්පාදනය අධීක්ෂණය කරන්න ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් සම්බන්ධ කරගෙන තිබුණා. ඒ තමයි ලලිත් රත්නායක මහත්මයා. කොහොමහරි ඒ නිෂ්පාදනයේ රූගත කිරීම් අවසන් වුණාට පස්සෙ ඔහු මාත් එක්ක කතා කළා. හිතවත් වුණා. ඒ හමුවීම තමයි අර මම කලින් කියපු සුන්දර හමුව. ඇත්තටම ඔහු සුන්දර චරිතයක්. එතැනදි ඔහු කිව්වා අලුත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒකට මාව සම්බන්ධ කර ගන්නවා කියලා. එහෙම තමයි ඒ අවස්ථාව ලැබුණේ.


මුලින්ම ඇහෙන්නේ ඔබේ හඬ, පසුවයි ඔබව දකින්න ලැබෙන්නේ, ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මේක මගෙ ජීවිතේ විශේෂ අවස්ථාවක්. මේ තමයි මගේ පළමු සිනමා රංගන අත්දැකීම. දැන් මට ලැබෙන ප්‍රතිචාර ගැන කිව්වොත් ගොඩක් සතුටුදායකයි. මගේ මිතුරන්, හිතවතුන් මේ දින කීපයේ චිත්‍රපටය නරඹලා ඒ අයගෙ සතුට මාත් එක්ක බෙදා ගන්නවා. සුබ පැතුම් එකතු කරනවා. ඔව් ඇත්තටම මිතුරන් කිව්වා මුලින් සිනමා ශාලාවේ මගෙ හඬ ඒ විදිහට ආරම්භයේ ඇහෙනකොට ලොකු සතුටක් දැනුණා කියලා. ඒ ලැබෙන අදහස්, ප්‍රතිචාර තමයි මගෙ ලොකුම සතුට සහ ශක්තිය.


ඔවින් අභිෂේක කියන්නේ වේදිකාවෙන් ආව කෙනෙක්. ඒ පැමිණි ගමන මොන වගේද?


වේදිකාව කියන්නේ මගේ කලා ජීවිතේ මම වැඩිපුරම ආදරේ කරන තැන සහ ආරම්භය සිද්ධ වුණ තැන. පාසල් කාලයේ ඉඳන්ම මම වේදිකාවට ගොඩක් ආදරේ කළා. ඒ කාලේ වේදිකා නාට්‍ය ගොඩක් බැලුවා. බලන ගමන් ආසාවෙන් හිටියා කවදාහරි ඒ වේදිකාවල රඟපාන්න. උසස් පෙළ නිමා කරලා හිටිය කාල සීමාවෙ උපුල් සේමසිංහ සහ සමන් ලියනාරච්චි කියලා ගුරුතුමන්ලා දෙන්නෙක් අධ්‍යක්ෂණය කරපු ‘මනෝ මාලිගා’ කියලා වේදිකා නාට්‍යකට ‘පොතේගුරු’ කියන චරිතයෙන් රංගනයෙන් දායක වුණා. ඒක 2019 යෞවන සම්මාන උළෙලට සමගාමීව වේදිකාගත වුණා. ඒක තමයි නළුවෙක් විදිහට මම ප්‍රධාන චරිතෙකින් වේදිකාවට ආපු පළමු වතාව. ඊට පස්සෙ උසස්පෙළ සමත් වෙලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එන්න හැකි වීමත් එක්ක වේදිකාවත් එක්ක වැඩි වශයෙන් ගනුදෙනු කරන්න මට පුළුවන් වුණා.


නළුවෙක් වෙන්න හිතුවේ ඇයි?


මම හිතනවා වේදිකාවට තිබුණ ආදරේ, ආසාව එක්කම කලාවට තිබුණ ඇල්ම නිසා තමයි නළුවෙක් වුණේ කියලා. කුඩා කාලෙ ඉඳන්ම මම සංගීතය රස විඳින්න, ගීත ගායනයට ආසයි. ඒවත් එක්ක ටික ටික වැඩෙද්දි මට දැනුණා මම කැමති ඒ දේවල්, මට දැනෙන දේවල් මගෙ ළඟ ඉන්න, මං වටා ඉන්න තව පිරිසකට නිර්මාණාත්මකව පෙන්නන්න සහ ඒක බලන් ඉන්න ඒ අයට පණිවිඩයක්, රසයක්, තෘප්තියක් ලබා දෙන්න නළුවෙක් විදිහට මට පුළුවන් වෙයි කියලා. හැකි පමණින් මම ඒක සිදු කරමින් ඉන්නවා.


වේදිකාව නිසා ජීවිතේට ලද අත්දැකීම් මොනවද?


වේදිකාව නිසා ලබපු අත්දැකීම් නම් ගොඩයි. වේදිකාවේ රංගනයේ නිරත වෙනකොට අපි දිහා සජීවීව ප්‍රේක්ෂක පිරිසක් බලාගෙන ඉන්නවා. ප්‍රේක්ෂකයන් සමඟ ඒ මොහොතේ සජීවීව කරන ගනුදෙනුවත් එක්ක ඒ ගනුදෙනුව සාර්ථක කරගන්න නළුවෙක් විදිහට වැඩිදියුණු කරගන්න ඕන දේවල් මොනවද, පාලනය කරගන්න ඕන දේවල් මොනවද කියන එක සහ ඒ මොහොතේ වේදිකාවෙදි මුහුණ දෙන්න වෙන සමහර අනපේක්ෂිත අභියෝග කළමනාකරණය කරගන්නෙ කොහොමද කියන එක වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් හා අත්දැකීම් වේදිකාවෙන් මට ලැබුණා. ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පීන්, අධ්‍යක්ෂකවරු සමඟ වේදිකාවේ එකට වැඩ කරන්න ලැබීම තවත් වටිනා අත්දැකීමක්. උදාහරණයක් විදිහට ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය කණ්ඩායමත් සමඟ එක් වෙන්න ලැබුණා මට 2023 වසරේදි. එතුමන් ඒ වෙනකොට අප අතරෙ නොසිටියත් ඒ වසරේ ඉඳන් තලමල පිපිලා, ගුරු තරුව, කියන නාට්‍යවල එම නාට්‍යවල මුල් නිෂ්පාදනයන්ට රංගනයෙන් දායක වුණු ජ්‍යෙෂ්ඨ ශිල්පීන් සමඟ රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඔවුන්ගෙන් දේවල් ඉගෙනගන්න ලැබුණා.


පවුලේ විස්තර මොනවද?


මගේ පවුලේ මමයි අම්මයි තාත්තයි අක්කයි. තාත්තා පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා. මගෙ අම්මා ගෘහිණියක්. අක්කත් පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා.‍


මේ දවස්වල කලා නිර්මාණ මොනාද?


මේ දවස්වලනම් විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු අවසන් කරලා පොඩි විවේක කාලයක් ගත වුණා. ගෙවුණ මාස දෙකම වගේ විශ්වවිද්‍යාල අවසන් විභාග කටයුතුත් එක්කයි ගත වුණේ. දැන් ඉදිරි වැඩකටයුතු කිහිපයකට සූදානම් වෙමින්, පුහුණුවීම්වල නිරත වෙමින් ඉන්නවා.


ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ මොනවද?


‘බිත්තරේ’ කියලා ඉදිරියේ තිරගත වෙන්න නියමිත චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. ඒක සසික හේරත් මහත්මයාගෙ අධ්‍යක්ෂණයක්. තව දිනේෂ් හග්ගල්ල මහත්මයා අධ්‍යක්ෂණය කරන අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් ආරම්භ වුණා ‘ටැක්සි’ කියලා. අගෝස්තු මාසයේ වේදිකාගත වෙන්න නියමිත අලුත් වේදිකා නාට්‍යයක පුහුණුවීම් කටයුතුත් කරගෙන යනවා මේ දවස්වල. ඒ ෆෙරෝස් කමර්ඩීන්ගේ ‘Stagefright and Panic’s Guide to Romeo and Juliet’


පුංචි තිරේ නිර්මාණවලට ලැබෙන ඇරයුම් කොහොමද?


දැනට පුංචි තිරයේ මට ගොඩක් වැඩ කරන්න ලැබිලා නැහැ. මීට මාස කීපයකට කලින් හිරු නාළිකාවෙ විකාශය වෙලා අවසන් වුණ ‘පාවී එන්න ආසයි’ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඒකෙ තිර රචනය බුද්ධික සේමසිංහ මහත්මයාගෙ. ඒ නාට්‍යයේ උප ප්‍රධාන චරිතයකට ඔහු මට ආරාධනා කළා. ඊට පෙරත් යම් සුළු දායකත්වයන් ලබා දීලා තියෙනවා ටෙලි නාට්‍ය කිහිපයකට. කැමැත්තෙන් ඉන්නවා ඉදිරියේදී වෙනස් ආකාරයේ ටෙලි නිර්මාණයන්ට ආරාධනා ලැබුණොත් රංගනයෙන් දායක වෙන්න. ඒ එක්කම මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගෞරව උපාධි පාඨමාලාව සම්පූර්ණ කළා මේ වසරේ. දැන් උපාධිය අපේක්ෂාවෙන් ඉන්නවා. තවත් රංගනය පිළිබඳ වැඩිදුර හදාරමින් ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


මේ ගමන එන්න සහයෝගයක් වෙලා ඉන්නේ කවුද?


මම කරන වැඩ කටයුතුවලට මගේ පවුලේ අය මට ලොකු ශක්තියක්, සහයක් වෙලා ඉන්නවා. අම්මා, තාත්තා වගේම අක්කත් මගේ අම්මගෙ අම්මත් වැඩවලට ශක්තියක් වුණා. (පසුගිය වසරේදී ආච්චි අම්මා මිය ගියා.) ඒවගේම විශ්වවිද්‍යාල මිතුරන් මගේ ගමනට ලොකු උත්තේජනයක්. ගුරුවරු, හිතවතුන්, මගෙ රසිකයෝ, වචනෙකින් හෝ දිරිමත් කරන හැමදෙනාම මේ ගමනෙදි මට සහයෝගයක්.


අනාගත බලාපොරොත්තු මොනවද?


ප්‍රේක්ෂකයන් ආදරෙන් කතා වෙන, ආසාවෙන් වැලඳගන්න වෙනස් චරිත එයාලා අතරට අරන් එන්න පුළුවන් වෙන, අලුත් වෙන රංගන ශිල්පියෙක් වීම තමයි බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් හැකි අයුරින් මහන්සි වෙන්න සූදානමින් ඉන්නවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post