පුංචි තිරය හරහා නිවේදිකාවක් විදියට රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක ආදරේ ලබන පමුදි අපොන්සු මේ දිනවල නම් කාගේත් කතාබහට ලක්වෙන්නේ දොරකඩ දෙවොලේ ජීවනි නිසා. ඒ නිසාම ඒ ගැන වගේම කලා ලොවේ ඉදිරි නිර්මාණ ගැන සතිඅග අරුණ පිනිපලස තුළින් අපි කතා කළා.
දොරකඩ දෙවොලේ ජීවනි වෙන්න ලැබුණේ කොහොමද?
ජීවනි වෙන්න ලැබුණු එක ගැන ලොකු සතුටක් වගේම ලොකු භාග්‍යක් විදියට මම සලකන්නේ. ජීවනි කියන චරිතය ගත්තම ග්‍රාමීයද, නාගරිකද කියන එකවත් මොන යුගයකද කියන එක අදාළ නැහැ. අතීතයේ සිට අද දක්වාත් අද සිට අනාගතය දක්වාත් ජීවනිලා ඉන්නවා. ගැහැනිය තුළ තියෙන ලක්ෂණ තමයි ජීවනි තුළ තියෙන්නේ. මේ චරිතය එතරම්ම දුරයි කියලා මට හිතුණේ නැහැ. ජීවනිට මුහුණ දෙන්න වුණු සමහර අත්දැකීම් වෙනත් විදියකට මටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා නේද කියන එක මට හිතුණා. බිඳ වැටෙන තැන් නැවත ගොඩ නැගෙන තැන් ඒ හැමදෙයක්ම මම හිතන්නේ අපි ගැහැනු විදියට අඩු වැඩි වශයෙන් විඳින්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රේමය සම්බන්ධව. අපි ප්‍රේමයට හරි ආදරෙයි. සමහර වෙලාවට ප්‍රේමය නිසාම මානසිකව බිඳවැටිලා ජීවිතේ තව දුරටත් ජීවත් කරවන්න බැහැ කියලා හිතුනා තැන් තියෙනවා. හැබැයි සමහර වෙලාවට අපි ප්‍රේමය කියලා අල්ලා ගත්ත තැන වරදින්න පුළුවන්. ඇත්තම ප්‍රේමය මේ ලෝකේ පවතිනවා. ඒ ප්‍රේමය අපිව හොයාගෙන ඇවිත් අපිට අලුත් බලාපොරොත්තුවක් දෙනවා. ජීවනි ඒ ජීවිතේ ගලාගෙන යන්නේ එහෙම.
ජීවනි වෙන්න ලැබුණු එක ගැන අද මොකද හිතන්නේ
මම මීට කලින් ටෙලි නාට්‍යය 4ක් කළා. මේ මගේ 5වෙනි නාට්‍යය. ඒ නාට්‍යය 4ත් මම බොහොම ආසාවෙන් වැඩ කරපු නිර්මාණ. එතකොට මේ නාට්‍යය අනෙක් නිර්මාණ වලට වඩා මට විශේෂයි. ඒකට හේතුව දොරකඩ දෙවොල නිසා මට රංගනය කියන විෂයට වඩාත් තදින් නැඹුරු වෙන්න ඕනේ කියන තීරණය ගන්නේ. කාලයක් මම සංගීතය එක්ක හිටියා. නිවේදනය කියන එක මම අවුරුදු 9ක් තිස්සේ කරනවා. මම උසස් අධ්‍යාපනය ලබන්නේ සිනමාව ගැන. හැබැයි ඒ සියල්ල අතරින් රංගනය කියන එකට ෆෝකස් වෙන්න ඕනේ කියන එක මට දැනුණා. ඒ එක්කම මට මාව මුණගැහෙන තැන රංගනය. මාව නිදහස් වෙන තැන රංගනය කියන එක මට තේරුම් යන්නේ දොරකඩ දෙවොල නිසා සහ ලලිත් රෝහිත එදිරිසිංහ කියන අධ්‍යක්ෂවරයා නිසා. මෙතනින් එහාට මම රංගනයට මුල් තැන දෙමින් තමයි මම මගේ ජීවිතේ හදා ගන්නේ. දොරකඩ දෙවොල කියන්නේ තවත් එක් නාට්‍යයක් නෙවෙයි. මේක මගේ පෞද්ගලික ජීවිතේ හැරවුම් ලක්ෂයක්.
පමුදි රංගනය ගැන හදාරනවද?
රංගනය කියන දේ හැදෑරීම අත්‍යවශයි. ඒක ස්වයං ව හෝ ගුරුවරයෙක් යටතේ හැදෑරීම වෙන්න පුළුවන්. මෙතනදී විශේෂයෙන්ම මගේ තාත්තා දීපාල් අපොන්සු ගැන කියන්න ඕනේ. තාත්තා මාධ්‍ය ක්ෂේත්‍රයේ, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කෙනෙක්. ඔහුගෙන් ලැබුණු ජාන හරහා ලැබුණු දේවල් සහ මම පුංචි කාලේ ඉඳන් අත්දැකපු දේවල් මට ඉවහල් වෙන්න ඇති. ඊට පස්සේ විධිමත්ව පළමුව රංගනය හදාරන තැන. සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් එක. එතැනදී කෞශල්‍යා ප්‍රනාන්දු මගේ ආදරණිය ගුරුතුමිය. චන්දන අලුත්ගේ සර්, ප්‍රසන්න මහගමගේ සර්, මයුර පෙරේරා සර් සහ නිලංක දහනායක ගුරුතුමා. එතනින් ලබපු උත්තේජනය එක්ක මම නාට්‍යයක් කළා 44 වෙනි ජාතික යෞවන නාට්‍ය උළෙල 2025 සඳහා කෙටි නාට්‍යයක්.
මෙතෙක් ලැබුණු ඇගයීම් සම්මාන මොනවද?
44 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙල 2025 - කෙටි නාට්‍ය අංශයේ හොඳම නාට්‍යයට හිමි සම්මානය මම දිනා ගත්තා මගේ THE GUEST “ජීවිතය කියන්නේ අනාරාධිතව එන අහඹු ගොඩකට” නාට්‍යට. ඒ වගේම ඒ නාට්‍යට මට හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රචනය, හොඳම නිළිය, හොඳම රංග වින්‍යාසය, හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මාන 6ක් ඇතුළුව සම්මාන 9ක් හිමි කර ගන්න පුළුවන් වුණා. ඒ එක්කම රයිගම් ටෙලීස් 2023 සහ 2024 වසර දෙකෙදිම වසරේ විශිෂ්ටතම රූපවාහිනි සම්ප්‍රවේෂක (සිංහල) සම්මානය වෙනුවෙන් නිර්දේශ වුණා.
නිවේදනය රංගනය කියන අංශ දෙකෙන් වැඩියෙන්ම කැමැති කොයි අංශයට ද?
මම අවුරුදු 9ක් තිස්සේ නිවේදනය කරනවා. රංගනයට ඇවිත් අවුරුදු 2යි. මට වඩාත් මාව දැනෙන තැන රංගනය. මට මාව හමුවුණු තැන රංගනය. ඒ නිසා වැඩි කැමැත්ත රංගනයට.
පවුලේ විස්තර මොනවද?
මගේ තාත්තා දීපාල් අපොන්සු. තාත්තා මාධ්‍ය ක්ෂේත්‍රයේ, ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කෙනෙක්. මේ වෙද්දි සියත ටීවී ආයතනයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරුවෙක් විදියට කටයුතු කරනවා. ඒ වගේම ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය සහ රංගනය තුළ තවමත් සක්‍රියව කටයුතු කරනවා. අම්මා අනුෂා රණතුංග. ඇය තමයි අපේ පවුලේ ලොකුම ශක්තිය. කලාව එක්ක අපේ ආදායම් මාර්ගය ස්ථිර වෙන්නේ නැහැ. නමුත් අම්මගේ මූලිකත්වයෙන් අපිට තියෙනවා Andees Cake Academy නමින් කේක් කලාව වෙනුවෙන්ම නිර්මාණය වුණු අධ්‍යයන ආයතනයක්. ඒක වසර 15ක කාලයක් තිස්සේ පවත්වාගෙන යනවා. ඒ එක්කම මගේ නංගි තිලිනි අපොන්සු. මේ වෙද්දී ඇමරිකාවේ ඉන්නේ. ඇය විවාහකයි. දුරින් හිටියත් ඇයවත් ආදරෙන් මතක් කරනවා. මමත් විවාහකයි. මගේ සැමියා එශාන් ජයවර්ධන. ඔහුවත් ඉතාම ආදරෙන් මතක් කරන්න ඕනේ. ලොකු සහයෝගයක් වගේම පුදුම නිදහසක් දෙනවා. මට වඩා මම රංගනයේ යෙදෙන එක එයාගේ හීනයක් විදියට මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මම තනියම එන ගමනක් නෙවෙයි. අපි හැමෝම එකිනෙකා මත යැපෙන අය. මේ පවුලේ හැමෝගෙන්ම ලැබෙන සහයෝගය වචනයෙන් කියන්න බැහැ.