වීණාගේ අතින් හැඩවෙන ‘උරුවිසි’

gossiplanka image 1
 

අසූව දශකයේ ලාංකේය ප්‍රේක්ෂකාගාරය විසින් මහත් ඉහළින් වැලඳගත්, රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම් ලැබූ ඩී.කීරගල ආරච්චිගේ මුල් නාට්‍ය නිර්මාණයක් වූ ‘උරුවිසි’ වේදිකා නාට්‍යය, නව නිෂ්පාදනයක් ලෙස නැවත වේදිකාගත කිරීමට සියල්ල සූදානම් කර ඇත. සිනමාවට සහ කලාවට පණ මෙන් ආදරය කළ යුගයක, ලාංකේය වේදිකාව ස්වර්ණමය මතකයන්ගෙන් වර්ණවත් කළ මෙම නාට්‍යය නැවත කරළියට පැමිණෙන්නේ එහි මුල් නිර්මාණකරු වූ ඩී. කීරගල ආරච්චිට උපහාරයක් ලෙසින් ඔහු සිහිපත් කරමිනි.


එදා එහි ‘උරුවිසි‘ ප්‍රධාන චරිතය රඟදැක්වූ හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ, අදටත් අපේ මතකයේ රැඳුණු ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පිනී වීණා ජයකොඩි සිය අලුත්ම කලාත්මක අත්දැකීම ගැන අප සමඟ තැබූ සටහනයි.


​”උරුවිසි කියන්නේ ඇත්තටම සිනමාව ගැන කෙරෙන කතාවක්. එදා සිනමාවට සම්බන්ධ අය ගැන, ඒ කියන්නේ නළු නිළියන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් වගේම පුවත්පත් කලාකරුවන් ගැනත් පත්තරවල නිතරම ලියැවුණා. මිනිස්සු සිනමාවට පුදුමාකාර විදිහට ආදරය කළා. අපේ පින්තූර තියෙන පත්තර පිටු එකතු කරලා ළඟ තියාගත්තා. කොහේදී හරි දැක්කොත් අත්සනක් ගන්න පොරකෑවා. ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලදී මිනිස්සු අපිට දුන්නේ වෙනමම තැනක්. ඒ කාලේ මේ නාට්‍යය සියයකට ආසන්න වාර ගණනක් ලංකාව පුරාම වේදිකාගත වුණා, අතිශයින්ම ජනප්‍රිය වුණා.”


ඇය අතීතය ආවර්ජනය කළේ බොහෝ ආඩම්බරයෙනි.


​ උරුවිසි නාට්‍යයේ නාමයේ අර්ථය සහ එහි අන්තර්ගතය ගැන ඇය පැහැදිලි කළේ මෙලෙසිනි.


“උරුවිසි කියන්නේ දිව්‍ය ලෝකයේ ඉන්න හොඳම නාට්‍ය දිව්‍යාංගනාවියටයි. මේ කතාව ගෙතෙන්නේ පරණ නිළියක් සහ අලුත් නිළියක් වටා. එහි ප්‍රධාන චරිතය උරුවිසි. ඇය ගමේ ඉඳන් නිළියක් වෙන්න නගරයට එන කෙල්ලෙක්. පරණ නිළිය වෙන්නේ රාජකුමාරි. රාජකුමාරිගේ පුතා බැඳලා ඉන්න කෙල්ල තමයි උරුවිසි. ගමේ කෙල්ල කොළඹ ආපු වෙලාවේ ඇයව බලාගන්න කියලා භාරදෙනවා. එතැනදී අම්මා ඒ කෙල්ලව ‘උරුවිසි’ නමින් ක්ෂේත්‍රයට හඳුන්වා දීලා නිළියක් කරවනවා. ජීවිතේ කොච්චර ප්‍රශ්න තිබුණත් ඒවා දරාගෙන, සමාජයට සිනහවක් පෙන්වන කලාකරුවන්ගේ ඇතුළාන්තය මෙයින් කියැවෙනවා. හැබැයි කාලයක් යද්දී වටිනාකම තිබුණත් පරණ අයට කලාවෙන් සමුගෙන යන්න වෙනවා. රාජකුමාරි සියල්ල අත්හැරලා, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියලා අලුත් පරම්පරාවට හැමදේම භාර දීලා යනවා. ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතයේ අන්තිම කාලයේදී වැරදි හදාගෙන ලෝකය ඉස්සරහා හොඳින් ජීවත් වෙන්න පුළුවන් කියන උතුම් පණිවිඩය මේ කතාවෙන් දෙනවා.”


එදා සහ මෙදා වේදිකාව අතර වෙනසත්, කාලීන අවශ්‍යතාව මත සිදුකළ වෙනස්කම් ගැනත් ඇය අප සමඟ මෙසේ අදහස් දැක්වූවාය.


“මුල් නාට්‍යයේ ‘උරුවිසි’ චරිතය වෙනුවෙන් එදා මම හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. රාජකුමාරිගේ චරිතය එදා කළේ අවන්ති අපොන්සු. විජය නන්දසිරි, කැලුම් විජේසූරියත් හිටියා. කැලුම් මා සමඟ කළ පළවෙනි නාට්‍යය ඒක. ඒ කාලේ පැය දෙකකට වඩා දිග කතාවක් විදිහටයි නාට්‍ය වේදිකාගත වුණේ. නමුත් දැන් ඉන්න පිරිස කාර්යබහුල ජීවිතය එක්ක දිගු වෙලාවක් වෙන් කරන්න අමාරුයි. ඒ නිසා අපි දැන් නාට්‍ය කෙටි කරලා තියෙනවා. කලින් චරිත 12ක් විතර හිටියත්, වියදම් සහ ගමනාගමන ප්‍රශ්න නිසා දැන් චරිත 7කට සීමා කරලා, එක පුද්ගලයෙක් චරිත දෙකක් කරන විදිහට හැදුවා. එදා මම තරුණ කාලේ කරපු, මට හොඳම නිළිය සම්මානය ගෙනත් දුන්නු උරුවිසි චරිතය දැන් වර්තමානයේ කරන්නේ ප්‍රතිභා හෙට්ටිආරච්චි. මෙවර නව නිෂ්පාදනයේදී මම රඟපාන්නේ එදා අවන්ති අපෝන්සු රඟපෑ වයසක රාජකුමාරිගේ චරිතයයි. මට තවමත් උරුවිසි චරිතයේ දෙබස් කටපාඩම්. ඒත් රාජකුමාරි වෙන්න මට අලුතින් පුරුදු වෙන්න වුණා, දෙබස් ටිකක් වැඩියි. මගේම ස්ටයිල් එකට මම ඒක කරනවා. ඒක එක අතකින් ලොකු අභියෝගයක්.”




​මෙම නාට්‍යය නැවත නිර්මාණය කිරීම පිටුපස ඇති සංවේදී කතාවද ඇය අපට හෙළි කළාය.


“අද සමාජයේ වේදිකා නාට්‍ය බලන්න මිනිස්සුන්ගේ ලොකු ආසාවක් තියෙනවා මම දකිනවා. ඒ නිසා මෙහි නිෂ්පාදක අජානි පෙරේරා කිවුවා අපි ආයෙත් උරුවිසි කරමු කියලා. අලුත් නළු නිළියන් මේ චරිතවලට ගන්න එක ලොකු ප්‍රශ්නයක් වුණා, ඒකට ලොකු මහන්සියක් වුණා. නාට්‍යයට අලුතින් සින්දුවක් ලිව්වේ සුරම්‍යා මාපිටිය. ඇය දැන් අසනීපෙන් ඉන්නේ. අපි මේ නාට්‍යය නැවත කරන්න ප්‍රධානම හේතුවක් වුණේ ඇයගේ අසනීප තත්ත්වයට ආධාරයක් ලබාදීමේ අරමුණින්. කලින් පුහුණුවීම් කරලා නතර කරලා තිබුණත් සුරම්‍යා වෙනුවෙන්මයි අපි උරුවිසි නාට්‍ය කරන්න පටන් ගත්තේ. සුරම්‍යා ලියපු සින්දුවක් වේදිකාවේ ඇහෙද්දී ඇයට දැනෙන සතුට ඇයගේ මානසිකත්වයට ලොකු රුකුලක් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේම මෙයට අලුතින් නැටුම් දෙකකුත් එකතු කරලා තියෙනවා.”


මෙම දැවැන්ත සාමූහික ප්‍රයත්නය සාර්ථක කරගැනීමට උරදුන් පිරිස ගැන වීණා සිහි කළේ කෘතවේදීවය.


“නාට්‍යයේ අධ්‍යක්ෂණය ඩී. කීරගල ආරච්චිගේමයි. ඔහු ලියලා අධ්‍යක්ෂණය කරපු ඔහුගේ ඒ තැන අපි වෙනස් කරන්නේ නැහැ. ඔහු සෑහෙන දුකක් විඳලා මේ නාට්‍යය මේ තැනට ගෙනත් තියෙන නිසා ඒ නම අපිට අමතක කරන්න බැහැ. හැබැයි සමාජයට වඩාත් හොඳ පණිවිඩයක් දෙන්න ඕන නිසා අවසාන කොටසට මමත් මැදිහත් වෙලා, තව කිහිපදෙනෙක් එක් වෙලා සිදුවීම් කිහිපයක් අලුතින් ලියාගත්තා. නිෂ්පාදනය කරන්නේ මීට පෙරත් චිත්‍රපට සහ නාට්‍ය කරපු අජානි පෙරේරා. එඩ්වඩ් (නිෂ්පාදන කළමනාකරණය), ශබ්ද පරිපාලනය කරන චන්දන නිශාන්ත (ලකී), සංගීතය කරන චූලසිංහ මාස්ටර්වත් වගේම මාලී ජයවීරත් මේ නාට්‍යය වෙනුවෙන් සෑහෙන බරක් ඇදගෙන ආවා. ඒ වෙනුවෙන් මාලිට මගේ හදපිරි ස්තුතිය හිමිවෙනවා. ඒ වගේම විශේෂයෙන්ම බර්ට්‍රම් නිහාල් මුදල් අය කරන්නේ නැතුව සෑහෙන්න උදව් කරලා වැදගත් කරුණු කියලා දුන්නා. කලින් නාට්‍යයේ හිටපු සඳුන් සහ උදේනිගේ වයසත් එක්ක තමයි අපි ගාමිණී, සුසිල්, ඕදාත, ශෂිරංග වගේ අලුත් කට්ටියක් මේකට එකතු කරගත්තේ. අපි හැමෝම සල්ලි විතරක් නෙවෙයි බැලුවේ, පවුලක් වගේ හරිම ආදරයෙන් සහ සහයෝගයෙන් මේක කරන්නේ.”


තම කලා ජීවිතයේ සැඳෑ සමය ගැනද ඇය සංවේදී අදහසක් එක් කළාය.


“මේ දවස්වල මම හරිම කාර්යබහුලයි. උරුවිසි මගේ අවසාන නිර්මාණය වෙයිද කියන්න මම දන්නේ නැහැ, අනාගතය ගැන කියන්න අමාරුයි. මම හරිම ආසාවෙන් උරුවිසි නිර්මාණය භාරගත්තේ. මිනිස් ජීවිතය ගැන කියවෙන, හැමෝටම ආදර්ශයක් ගන්න පුළුවන් අපූරු නිර්මාණය රසවිඳින්න එන්න ජුනි 14 වැනිදා හැන්දෑවේ එල්ෆින්ස්ටන් රඟහලට එන්න කියලා මම කාටත් ආරාධනා කරනවා.”

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post