පුංචි තිරය හැඩකළ ‘පැහැසරා, ඡායා, මුතු පලස, මුතු වරුසා’ සහ ‘සැවැන්දරා’ වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය මහේෂි මධුශංකා. විදෙස්ගතව සිට නැවත ලංකාවට පැමිණි මහේෂි මේ දිනවල විකාශය වන ‘දෙයියන්ගේම පිහිටයි’ ටෙලි නිර්මාණය හරහා වෙනස්ම හැඩයකින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණ සිටින්නීය. මේ ඇය සමඟ කළ කතාබහකි.
ඔබ මේ දිනවල සම්බන්ධව සිටින අලුත් කලා නිර්මාණ මොනවද?
ලංකාවට පැමිණි පසු පෝය නාට්‍ය කිහිපයකටම දායක වෙන්න අවස්ථාව ලැබුණා. නමුත් ප්‍රේක්ෂකයන් අතරට දීර්ඝ වශයෙන් සමීප වෙන්න ලැබුණේ ‘දෙයියන්ගේම පිහිටයි’ටෙලි නිර්මාණය හරහායි.
ප්‍රවීණ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ චාමර සමරවික්‍රම නිෂ්පාදනය කළ ‘ඇහි පිල්ලමක්’ ටෙලි නිර්මාණය ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි. ඊට අමතරව සිනමාව පැත්තෙනුත් මෑතකදී මම දායක වුණු ‘හනිමූන් ටුමෝරෝ’ චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් වී තිබෙනවා. ඒ නිර්මාණ හරහා ටෙලි තිරය වගේම සිනමා තිරය ඔස්සේත් ඉතා ඉක්මනින්ම ප්‍රේක්ෂකයන් හමුවට ඒමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.
‘දෙයියන්ගේම පිහිටයි’ කලකට පසු ලැබුණු නිර්මාණය මොකද හිතෙන්නේ?
මම ලොකු සතුටකින් සම්බන්ධ වුණු නිර්මාණයක් තමයි ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘දෙයියන්ගේම පිහිටයි’ ටෙලිනාට්‍යය. මෙය සුදත්ත තිලක්සිරි නිෂ්පාදනයක් වගේම ප්‍රගීත් ද සිල්වා අපූරු අධ්‍යක්ෂණයක්. මෙම නිර්මාණයේ තිබෙන විශේෂත්වය වන්නේ අද අපේ රටේ සමාජය ඇතුළේ තිබෙන ගැඹුරු සමාජ ප්‍රශ්න රාශියක් මේ නිර්මාණය හරහා සමාජගත කිරීමට උත්සාහ කර තිබීමයි. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ මිනිස්සු මුළාවන අවස්ථා සහ ඒ පිටුපස තිබෙන සැබෑ තත්ත්වය හරිම ලස්සනට නිර්මාණාත්මකව මේ නාට්‍යයෙන් පෙන්වා දෙනවා.
‘දෙයියන්ගේම පිහිටයි‘ ටෙලිනාට්‍යයේ ‘සෙව්වන්දි මෑණියෝ’ චරිතයට මේ දිනවල ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරය කොයි වගේද?
ඇත්තටම ඒ ප්‍රතිචාර හරිම පුදුමසහගතයි. නාට්‍යයේ ආරම්භයේදීම ප්‍රේක්ෂකයෝ ගොඩක් දෙනෙක් හිතලා තිබුණේ මම රඟපාන්නේ සැබෑ ජීවිතයේ ඉන්න ඇත්තම ‘මෑණියෝ’ කෙනෙක්ගේ චරිතයක් කියලා. ඇතැම් ප්‍රේක්ෂකයින් කියනවා ‘මේ බලන්නකෝ ඔයා ඇත්තටම මෑණියෝ කෙනෙක් වගේමයි’ කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ ‘සෙව්වන්දි මෑණියෝ’ චරිතය මෙතරම් සාර්ථකව ගොඩනඟා ගන්න මට තනිවම බැහැ. ඒ සඳහා ගයාන් වික්‍රමතිලක ඇතුළු අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය අතිමහත්. ඒ හැමෝගෙම එකතුවෙන් මේ චරිතය සාර්ථකව නිර්මාණය වුණා.
කලා ජීවිතයේ ආපස්සට හැරිලා බැලුවොත් රංගන ශිල්පිනියක් වීම ඔබේ කුඩා කාලයේ ඉඳන්ම තිබුණු හීනයක්ද?
රංගන ක්ෂේත්‍රයට පැමිණීම අහඹු සිදුවීමක් නෙවෙයි. මම රංගනයට සහ මේ ක්ෂේත්‍රයට ගොඩක් කැමැත්තෙන් හිටියේ. නමුත් පුංචි කාලේ මගේ හිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුව සහ හීනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒත් කාලයත් එක්ක ජීවිතේ තීරණ සහ මාවත් වෙනස් වුණා. ගුවන් සේවිකාවක් නොවුණත් දෛවෝපගත විදිහට මට විවාහ වෙන්න ලැබුණේ ගුවන් නියමුවෙක් සමඟයි. ඒ නිසා ඒ හීනය වෙනස්ම විදිහකට මගේ ජීවිතයට සම්බන්ධ වුණා කියලා හිතන්න පුළුවන්. මම විශ්වාස කරන විදිහට රංගන ක්ෂේත්‍රයට ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. හැබැයි මේ ක්ෂේත්‍රයේ දිගුකාලීනව රැඳී සිටිමින් ප්‍රේක්ෂකයන්ගේ සැබෑ ආදරය දිනා ගන්න එක හරිම අමාරු වැඩක්. ක්ෂේත්‍රයට ඇවිත් මෙච්චර කාලයක් ගතවෙලත් අදටත් ඒ ආදරය ඒ විදිහටම ලබන්න මම වාසනාවන්ත වෙලා තියෙනවා. මට යම් ප්‍රශ්නයක් තිබුණොත් මම හැමදාමත් කෙළින් කතා කරන කෙනෙක්. මම විශ්වාස කරන්නේ මොන දේ වුණත් කෙළින් කතා කරන එක තමයි නිවැරදිම දේ කියලා.
ආදරණීය බිරිඳක් සහ මවක් විදිහට පවුලේ වගකීම් සහ රංගන කටයුතු කළමනාකරණය කරගන්නේ කොහොමද?
එහි සැබෑ ගෞරවය සහ ස්තුතිය හිමිවෙන්න ඕනේ මට නෙවෙයි මගේ සැමියාට. එයා මගේ වාසනාවට ලැබුණු, මාව හොඳින් තේරුම් ගත් උගත් බුද්ධිමත් කෙනෙක්. ඔහුගෙන් ලැබෙන සහයෝගය නැත්නම් මට කවදාවත් මෙලෙස සාර්ථක වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මගේ අම්මත් මට ලොකු හයියක් වෙනවා. මම හිතන්නේ සෑම රංගන ශිල්පිනියකටම ඒ වගේ කලා ජීවිතය තේරුම් ගන්න පුළුවන් සැමියෙක් ලැබෙනවා නම් පවුල් ජීවිතය වගේම රංගන ජීවිතයත් එකසේ සාර්ථක කරගන්න පුළුවන්. වැදගත් වෙන්නේ එකිනෙකා අතර තියෙන තේරුම් ගැනීමයි. එවැනි කෙනෙක් මගේ ජීවිතයට සම්බන්ධවීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා.
වසර ගණනාවක් පුරා ඔබට ආදරය කරන ආදරණීය රසිකයන් වෙනුවෙන් මොනවද කියන්න තියෙන්නේ?
ඔවුන් හැමෝටම ගොඩක් ස්තුතියි කියන්න ඕනේ. දීර්ඝ කාලයක් ක්ෂේත්‍රයේ රැඳී ඉඳලත් එදා වගේම ඒ ආදරය අදටත් එකසේ ලැබීම ලොකු භාග්‍යයක්. ‘අපි ඔයාව ටීවී එකේ දැකලා තියෙනවා’ කියලා ඕනෑම කෙනෙකුට අහන්න පුළුවන්. හැබැයි ‘අනේ අපි ඔයාට හරි ආසයි’ කියලා මිනිස්සුන්ගේ හදවතින්ම එන වචන අහන්න සෑම රංගන ශිල්පියෙකුටම ලැබෙන්නේ නැහැ. අද මම කොහේ ගියත් මිනිස්සු කියන්නේ ‘ආ… මේ මහේෂි, මෙයා ඕනෑම කෙනෙක් වෙනුවෙන් කෙළින් කතා කරන කෙනෙක්’ කියලා ඒ වචනත් සමඟ මිනිස්සුන්ගෙන් ගෞරවය දිනාගන්න එක අමාරුයි. මම විශ්වාස කරන්නේ මගේ රංගනයටත් එහා ගිහින් මම සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින ඔවුන් වෙනුවෙන් කෙළින් කතා කරන කෙනෙක් නිසයි මිනිස්සු මට මෙච්චර ආදරය කරන්නේ කියලා.