මම අසාමාන්‍ය විදිහට කිපෙන වැරදි ගොඩාක් තිබුණු මිනිහෙක් - රංගන ප්‍රේමරත්න

gossiplanka image 1
 

සාජන්ට් නල්ලතම්බි වේදිකා නාට්‍ය රංගනය ඔස්සේ 1980 දශකයේ මුල් භාගයේදී ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වූ රංගන ප්‍රේමරත්න එතැන් පටන් වේදිකා නාට්‍ය නළුවෙකු ලෙස සිය වෘත්තීය රංගන ජීවිතය ආරම්භ කළේය. ඔහු මෙරට ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ 1987 වසරේ ‘ගමන‘ ටෙලි නාට්‍යයේ රංගනයට එක් වීමෙනි. එහි ‘ටයිටස්‘ නමැති චරිතය එම යුගයේ බෙහෙවින් ජනප්‍රිය විය. 1998 වසරේ විකාශය වූ ‘මනෝකාය‘ ටෙලි නාට්‍යයේ ඔහු කළ රංගනය ද බොහෝ ඇගයුම් හා පැසසුම් ලද අති විශිෂ්ට වූ රංගනයක් බවට පත් වුණි. මේ දිනවල රූපවාහිනි ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙන ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ‘පාට කුරුල්ලෝ‘ ටෙලි නාට්‍යයේ නවනන්දනගේ චරිතය ද රංගන ප්‍රේමරත්න මෑත කාලයේ ප්‍රේක්ෂකයින් අතර රඳවා තබන චරිතයක් බවට පත්ව තිබේ.


“මම කලාව සලකන්නේ කලාව හැටියටයි. ඒක වාණිජ, කලාත්මක, සම්භාව්‍ය, ඒකාංගික, මාලා නාට්‍ය, මෙගා වශයෙන් බෙදීමක් මගේ නැහැ. ඒ හැම එකකම රඟපාන්නේ අපිමයි. සම්භාව්‍ය නිර්මාණයක ඉතා සුලු චරිතයක්, ඉතාම කෙටි වෙලාවක රඟපෑවත් ඒක මහා විශිෂ්ට රඟපෑමක් කියලා අගයන්න පුළුවන් නම් මෙගා නාට්‍යයක කොටස් සියයක දෙසීයක රඟපෑවත් අපේ රංගනය විශිෂ්ට නොවෙන්න බැහැ. එහෙමනම් එතැන තියෙන්නේ රංගන ශිල්පියාගේ පසුබෑමක් හෝ දුර්වලතාවක් කියා මම සිතනවා. රඟපෑම නම් කොතැනත් තමාගේ උපරිමයෙන් කිරීම අපේ වගකීම සහ යුතුකමයි. සමස්ත නිර්මාණයේ හොඳ නරක වටිනාකම් අඩු වැඩි වෙන්න තව දේවල් බලපානවා. නමුත් අපේ රඟපෑම කොතැනත් රඟපෑම ම තමයි. මේ නිසා මට ලැබෙන නිර්මාණ සම්බන්ධයෙන් මගේ භේදයක් නැහැ. උපරිම සාධාරණය ඉටු කරනවා. ඒ වගේම අපට කරන ගෙවීම් ගැන මම සැලකිලිමත් වෙනවා. බස් එකේ ඇවිත්, ගෙදරින් බත් මුල බැඳගෙන ඇවිත් රඟපාන්න මම සූදානම් නැහැ. සිනමා සක්විති අපගේ සම්භාවණීය රංගවේදියාණන් වන ගාමිණි ෆොන්සේකා මහතා මේ ක්ෂේත්‍රයට කලාත්මක වටිනාකමක් වාගේ ම වාණිජමය වටිනාකමත් ඇති කර දුන්නා. අපි ඒ දෙකම ආරක්ෂා කරලා ඊළඟ පරපුරටත් මේ ක්ෂේ‍ත්‍රය තුළ අභිමානයෙන් සහ අගහිඟයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වය ආරක්ෂා කර දෙන්න ඕනෑ. අද මේ ක්ෂේත්‍රයට අහසින් පාත් වුණු අය ඉන්නේ. ඒ අයට මේ වටිනාකම් ගැන කිසි හැඟීමක් නැහැ. ඔවුන් අද ඇවිත් හෙට නැති වෙලා යනවා. ඒ නිසාම කිසි හැදෑරීමකුත් නැහැ. එකක දෙකක පෙනී ඉඳලා ක්ෂේත්‍රයත් එක්කම වනසලා යනවා. එයාලා හිතන්නේ ඇඟ ගැන විතරයි. මොළය ගැන හිතන්නේ නැහැ. අපි අදටත් හැදෑරීම් කරනවා. අපේ ප්‍රවීණයන් ඒ ඒ චරිතවලට කිඳා බැස්සේ කොහොමද කියලා අපි තවමත් සොයනවා. සමහර වෙලාවට එයාලාගෙන් ඒ ගැඹුරු රංගනයන් ගැන අසා දැන ගන්නවා. මම තවමත් හොඳ චරිත නිරූපණයක් වෙනුවෙන් හැදෑරීම් කරනවා. පොත පත කියවනවා. සමාජය දෙසට දෑස් හොඳින් විවර කරගෙන ඉන්නවා. අද තාරුණ්‍යයේ දෑස් සමාජයට විවර වෙලා නැහැ. තාරුණ්‍ය යේ දෑස් අද පුංචි හතරැස් වීදුරු පසුතලයකට සීමා බන්ධන වෙලා. මුළු ලෝකය ම ඇස් දෙක ඉස්සරහට අරන් හිටියත් එයාලාට මිනිස්සුන්ගේ හදවත් ගැහෙන රාවය දැනෙන්නේ නැහැ. මනුස්සයෙකුගේ දහදිය සුවඳ දැනෙන්නේ නැහැ. දෙපා ඇඟිලි අතර මේ මහා පොළොව තෙරපෙන හැටි පෙනෙන්නේ නැහැ. රූගත කිරීමකට දර්ශන තලයකට ගියත් තමන්ගේ රූගත කිරීම අවසන් වූ සැනින් හුදෙකලා වී සමාජ ජාල අතර සැරිසරනවා හැරෙන්නට එකම දර්ශනතලයේ සිටින ප්‍රවීණයකුගේ ඇසුරක්, ගුරුහරුකමක් තියා අඩු ම තරමේ සමහරු සිනාවකින්වත් සංග්‍රහ කරන්න හිස ඔසවන්නේ නැහැ. හැමෝම නොවුණත් මේ දේවල් දකිද්දි මේ ක්ෂේත්‍රයේ අනාගතය ගැන බයක් දැනෙනවා. ලංකාවේ ඕනෑම මෝඩයකුට කිසි වග විභාගයක් නැතුව එන්න පුළුවන් ක්ෂේත්‍ර දෙක තමයි දේශපාලනය සහ කලාව. එතැනින් එහාට මෙහි පරිහානිය ගැන කියලා වැඩක් නැහැනේ. ඊළඟට ඒ විදිහට එන අයට අසාමාන්‍ය ජනප්‍රියත්වයක් ලබා දෙන්න මේ රටේ මාධ්‍යයත් සැදී පැහැදී ඉන්නවා. කාලයක් තිබුණා මුද්‍රිත මාධ්‍ය තුළිනුත් අනවශ්‍ය පුද්ගලයින්ට අනවශ්‍ය ප්‍රචාරයක් දුන්නා. හොඳම නළුවා තෝරන්නෙත් අද මාධ්‍යවලින්. හැත්තෑ ගණන්වල දකුණු ආසියාවේ මුල් තැන තිබුණු අපේ රටේ සිනමාව අද පහළට ම වැටුණේ කොහොමද කියලා මේවායින් පේනවා. එතකොට කඩා වැටුණු සිනමාවක් ඇතුළේ නළු නිළියෝ මොනවා කරන්න ද, අනෙකුත් ශිල්පීන් මොනවා කරන්න ද… හරි ම කණගාටුයි. ඒ වගේම තහංචි වැටකඩුලු සීමා නැති නිසා හැම කෙනෙක්ම අද චිත්‍රපටි හදනවා. දැනටමත් චිත්‍රපටි අසූවක් විතර පෙන්නගන්න බැරුව පෝළිමේ තියෙනවා. නිදහස අවශ්‍ය යි. ඒ නිදහස හරි විදහට පාවිච්චි කරන්න නම් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. මේ සියලු දේ අතර ඉතා ම දක්ෂ, ගවේෂණශීලි නවකයන් පිරිසකුත් සිටින බව නොකියා ම බැහැ. එයාලා පුදුම විදිහට පොත පත කියවනවා, හැදෑරීම් කරනවා, ඒ ඔස්සේ අත්හදාබැලීම් කරනවා. මඟ ඇහිරිලා තියෙන නිසා එයාලා ඉදිරියට පැමිණීමේ ප්‍රමාදයක් තියෙනවා. මේ බාධක දුරු කරලා අපේ කලාව ආයෙමත් ලෝකයට ගෙනියන්න ඕනේ. සමහරු කිව්වාට ලංකාව ලෝකයට ගියේ 96 ලෝක කුසලානෙන් කියලා ශ්‍රී ලංකාව කියලා නොපෙනෙන රටක් තියෙන බව ලෝකය දැන ගත්තේ 1964 ආචාර්ය ලෙස්ටර් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගම්පෙරළිය‘ චිත්‍රපටය නිසයි. ඒ තරම් විශිෂ්ටත්වයක තිබුණු අපේ සිනමාව අද තියෙන්නේ කොතැනද කියලා දකිද්දි ලොකු දුකක් දැනෙනවා. උගතුන්, බුද්ධිමතුන් සිටියත් ප්‍රඥාවන්තයන් නැතිකමේ අඩුවක් අපේ රටට තියෙනවා. දැනට බිහිවෙලා සිටින සැබෑ දක්ෂයන්ට පාර විවර කරලා දෙනවා නම් එයාලා මේ ගමන යයි. දක්ෂ කලාකරුවෙක් බලෙන් බිහි කරන්න බැහැ.“


රංගන සිනමාවට පිවිසෙන්නේ උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනි කෙළි සහ ගිනි අවි‘ චිත්‍රපටයෙනි. සුරයහන ගිනි ගනී, සක්මන් මළුව, ලීඩර්, ඉර හඳ යට, දෝණි, රන් සයුර ආදි වශයෙන් චිත්‍රපට බොහෝමයක ද ඔහු රඟපෑවේ ය. එසේ ම ඔහු වෙළෙඳ දැන්වීම් ගණනාවකට ද රංගනයෙන් දායක වී ඇත. එසේම ඔහු දේශපාලනඥයෙකු ලෙස ප්‍රධාන චරිතය රඟපාමින් 2001 වසරේදී ‘රන්දුණු‘ ටෙලි නිර්මාණය නිෂ්පාදනය කළේය. ඔහු නිෂ්පාදනය කළ ‘රුවට රුව‘ ටෙලි කතා මාලාවේදී ඔහු එකම නිර්මාණය තුළ චරිත තුනක් රඟපෑවේය. එය 2002 වසරේදී හොඳම නළුවා ලෙස සුමති ටෙලි සම්මාන සඳහා නිර්දේශ විය. යළි ඔහු 2017 වසරේදී ‘ලෝකාන්තරයෝ‘ නමින් නිර්මාණය කළ විද්‍යා ප්‍රබන්ධ ටෙලි කතා මාලාවේදී ද ත්‍රිත්ව චරිත රඟපෑවේය. එය තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කළ විද්‍යාත්මක පර්යේෂණයක් පිළිබඳ අපූරු නිර්මාණයක් වුණත් ඒ නාට්‍ය විකාශය කරන්න සුදුසු රූපවාහිනි නාලිකාවක් තෝරා ගැනීමට නොහැකි වූයෙන් එය අතරමඟ විකාශනය නතර වුණත් එය දැන් යූටියුබය හරහා නැරඹිය හැකිය.“


කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් මූලික අධ­්‍යාපනය ලැබූ රංගන පසුව කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් වන්නේය. ඔහුගේ රංගන දිවියට අඩිතාලම වැටෙන්නේ පාසලෙන් අනතුරුවය.


“පාසල් ජීවිතයේදීත් නොයෙකුත් විෂය බාහිර ක්‍රියාකාරකම් කළා. ඉගෙනීමටත් උනන්දුවක් තිබුණා. ඉගෙනීම පැත්තෙන් ඉහළට යෑමට මට ඉලක්කයකුත් තිබුණා. මම පවුලේ බාලයා. මට වැඩිමල් අක්කලා අයියලා සිනමාවට දැක්වූ පුදුමාකාර පෙරේතකම නිසා එයාලා එක්ක මමත් චිත්‍රපටි බලන්න ගියා. ඉන්දියානු චිත්‍රපට, සිංහල චිත්‍රපට එන එන හැම එකක් ම වගේ එයාලා බැලුවා. ඒ අතරේ ගාමිණි ෆොන්සේකා රඟපෑ චිත්‍රපටත් බැලුවා. ගාමිණි ෆොන්සේකාගේ රඟපෑම් ගැන මටත් කියන්න තේරෙන්නේ නැති අමුතු හැඟීමක් ඇති වුණා. මේ රඟපෑම හරි අමුතු එකක් වගේ මට දැනුණා. මටත් රඟපෑම ගැන හැඟීමක් දැනෙන්න පටන් ගත්තා. ටික ටික ඒක හීනයක් වගේ දළුලන්න පටන් ගත්තා. අපේ තාත්තා තමන්ගේ අතේ තිබුණු තුට්ටු දෙකත් වියදම් කරලා දේශපාලනය කළා මිස දේශපාලනයෙන් ඉපයූ දෙයක් නොවුණු නිසා ටිකෙන් ටික අපේ පවුලේ ආර්ථිකය පහළට ම කඩාගෙන වැටුණා. තාත්තාගේ ව්‍යාපාර සියල්ලම දේශපාලනය වෙනුවෙන් ම වියදම් කරලා නැති වෙලා ගියා. මගේ අධ්‍යාපන හීනය ඒත් එක්ක ම බිඳ වැටුණා. තරුණ ජීවිතයේ නන්නත්තාර යුගය එළඹුණා. ගෙදර ආර්ථිකය කඩා වැටීම නිසා රස්සාවක් කරන්න ඕනේ කියන හැඟීමත් තිබුණා. ඒ සියල්ල අතර මට නළුවෙක් වෙන්න ම ඕනේ වුණා. ඒ අනුව සුදර්ශියට ගියා. එතැනදී නාට්‍යකරුවන්, සිනමා අධ්‍යක්ෂවරුන් මුණ ගැසුණා. එයාලාගේ නිර්මාණවල පොඩි පොඩි දේවල්වලට සම්බන්ධ වුණා. රඟපෑම ගැන යම් හැදෑරීම් ඒ අතර කළා. රංගන ක්ෂේත්‍රයේ දැවැන්තයෝ දකින්න, එයාලා ඇසුරු කරන්න ලැබුණා. ඔහොම ඉන්න අතරේ ‘සාජන්ට් නල්ලතම්බි‘ නාට්‍යයට සම්බන්ධ වෙලා නාට්‍යයත් එක්ක රට පුරා ම යන්න ලැබුණා. කේ. ඩබ්. පෙරේරා මහතාගේ පළමු ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කර ගත්තා. ඒක පොඩි චරිතයක්, කොටස් තුන හතරක විතර වගේ තියෙන්නේ කියලා මට කිව්වා. කේ.ඒ. ඩබ්. පෙරේරා වැනි සිනමාවේ දැවැන්තයෙකුගේ පළමු ටෙලි නිර්මාණයේ පුංචි කොටසකට හරි මාව සම්බන්ධ කර ගන්න එක ම ඇතිනේ කියලා හිතලා මම බොහොම කැමැත්තෙන් ගිහින් ඒ චරිතය රඟපෑවා. ඔහොම රූගත කිරීම් කරගෙන යද්දි ඔහු මගේ චරිතය තව තව කොටස්වලට ඇතුළත් කරමින් රංගන අවස්ථා වැඩි කරමින් ඉදිරියට අරගෙන ගියා. අන්තිමේදී මගේ චරිතය ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් බවට පත් වුණා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ යන්න පටන් ගත්තා. මගේ නිදහස නැති වෙලා ගියා. ‘මේ මොන නළුකමක් ද මට නිදහසත් නැතිවුණා‘ කියලා මට හිතුණා. ඊට පස්සේ ඔහුගේ ම ‘ප්‍රමාද වැඩියි‘ ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා. පාරේ බැහැලා යන්න බැරි තරම් ජනප්‍රිය වුණා. ඒ වුණාට ඊට පස්සේ කිසි වැඩක් ලැබුණේ නැහැ. නිකන් බලාගෙන ඉන්නවා. ව්‍යාපාරයක් කරන්න ඕනේ කියලා කල්පනා කර කර ඉන්න අතරේ උදයකාන්ත වර්ණසූරිය ‘හුමාලය‘ ටෙලි නාට්‍යයට මට කතා කළා. රඟපෑවා. අතිශය ජනප්‍රිය වුණා. ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලටත් ඇරයුම් ලැබුණා. කාර්ය බහුල වන තරමටම රඟපෑම් වැඩි වුණා. ජනප්‍රියත්වයත් ඒ සමානව ම ඉහළ ගියා. නිෂ්පාදකවරයෙක් විදිහටත් මම නිර්මාණ කිහිපයක්ම කළා. මම අදටත් එක දෙයක් විශ්වාස කරනවා. අපේ පවුලේ සිදු වුණු ආර්ථික කඩා වැටීම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වුණා.“


ඒ හැරවුම් ලක්ෂ්‍යයෙන් ජීවන හැරවුම ඇරඹූ රංගන ප්‍රේමරත්න ආර්ථික ශක්තිය මෙන්ම ජීවන ශක්තිය ද ස්වෝත්සාහයෙන් ගොඩනගා ගත්තේය. ඒ ජීවිතය නිසොල්මනේ ගලන දිය පහරක් නොවී ගල් පර අතරින් ගලා හැලෙන දිය දහරක් ද විය. සැනසුම් පවන් සියොළඟ වෙළාගත් අවකාශයන් සේ ම රුදුරු කුණාටු සියොළඟ දවාලූ කාලයන් ද ඔහු පසු කළේ සම සිතින් බුදු දහමේ දාර්ශණික සිතුවිලි ඔස්සේ ශක්තිමත් වෙමිනි.


“මගේ ලොකු දුව චිත්‍රපටයක රඟපාන්න ඕනේ කියලා මට පෙරැත්ත කරනවා. ළමයි නිකන්ම නළු නිළියෝ වෙනවාට මම කැමති නැහැ. එයාලාව හොඳ ඇකඩමියකට යවලා ඒ ගැන හැදෑරීම් කරවලා රංගනයට යොමු කරවන බව මම විශේෂයෙන් මගේ ලොකු දුවට කිව්වා. ‘දෙනවක හාමිනේ සිනමාවට ඇවිල්ලා තියෙන්නෙත් වයස ගිහිල්ලානේ, තාත්තා මැරුණු කාලෙක හරි මම රඟපාන්න යනවා‘ කියාලා ලොකු දුව එයාගේ අම්මාට කියලා තිබුණා. ඒ තරම් කැමැත්තක් ලොකු දුවගේ රඟපෑම කෙරෙහි තියෙනවා. රඟපෑමට ඇති ඇගේ කැමැත්ත මට වෙනස් කරන්න බැරි වෙයි. ඒ වගේම විනෝලි ගැනත් යමක් කියන්න ඕනේ. එයා රූපලාවණ්‍ය ශිල්පිනියක් හැටියට ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන තියෙනවා. මම සාමාන්‍යයෙන් අසාමාන්‍ය විදිහට කිපෙන, අතිධාවනකාරී, ඉක්මන්කාරී, වැරදි ගොඩාක් තිබුණු මිනිහෙක්. ඒ බොහෝ වැරදි බොහොම ආදරයෙන් සහ කාරුණික ව වෙනස් කරමින් ඇය මාව නිවැරදි කළා. දැන් මම මගේ ජීවිතයේ නිවීම සහ දහම ඇසුරෙන් ප්‍රගුණ කරගෙන යනවා. ඒ සියල්ල එතැනට ගෙනාවේ ඇය යි. මම කාලයක් රඟපෑමෙන් ඉවත් වෙලා සිටියා. නමුත් මගේ හිත හදලා ආයෙමත් මාව රඟපෑමට යොමු කළේ විනෝලි.“ රංගන රඟපෑ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒ අතර තුෂාර තෙන්නකෝන් නිර්මාණය කළ ‘රාවණ‘ චිත්‍රපටය තිබෙනවා. එහි රංගන නිරූපණය කරන්නේ පුලස්ති සෘෂිවරයාගේ චරිතයයි. ඊට අමතරව තුසිත සිල්වාගේ නිර්මාණයකත්, එරංග සේනාරත්නගේ නිර්මාණයකත් රංගන රංගනයේ යෙදුණි. ‘හත් වැනි මනමාලි‘ නමින් වන මෙගා ටෙලි නාට්‍යයකට ද ඔහු රංගනයෙන් දායක වී ඇත. එම නිර්මාණ ඔස්සේ රංගන ප්‍රේමරත්න නම් වූ ප්‍රතාභාපූර්ණ රංගවේදියා තව තවත් ප්‍රේක්ෂකයන් වෙත සමීප වනු ඇත. ඔහු ඉදිරියේදී නිර්මාණ අධ්‍යක්ෂවරයකු වීමේ බලාපොරොත්තු දල්වාගෙන සිටින්නේ ය. ඒ සඳහා ඔහු නිෂ්පාදකවරයකු සොයන්නේ ය.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post