විවාහක පිරිමියෙකු විසින් අනියම් පෙම්වතියගේ සිරුර කෑලිවලට කපා ඇදුම් බෑග් එකක අසුරා මහමග දමා ගිය ආන්දෝලනාත්මක සත්‍ය සිදුවීම ඇසුරෙන් නිර්මාණය කරපු Room No 106 චිත්‍රපටය මේ දිනවල සිනමාශාලාවල තිරගතවීම් ආරම්කරලා තියනවා. රටක් තැතිගන්වපු ආන්දෝලනාත්මක කතාවේ මරණයට මුහුණදීපු තරුණියගේ චරිතය රගපාන්නෙ ඩිස්නි රාජපක්ෂ විසින්. මෙවැනි කේදවාචකයක් ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙනඑන්න පුළුවන්වීම ගැන ඩිස්නි එක්ක කතා කරන්න අපි හිතුවා.
1.ඩිස්නිව හදුන්වන්න පුළුවන් කොහොමද ?
කරන දේ හරියට කරන සුන්දර හදවතක් ඇති පරාර්තකාමි කෙනෙක් විදිහට මාව හදුන්වන්න පුළුවන්.
2. ඩිස්නිගේ පවුල් පසුබිම ගැන ටිකක් කිව්වොත් ?
මගේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි. තාත්තා ව්‍යාපරිකයෙක්. අම්මා ජත්‍යන්තර පාසලක අයිතිකාරිනියක්. ලොකු නංගි ඔස්ට්‍රේලියාවේ රෝහලක නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන ගමන් වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගන්නවා. පොඩි නංගි පවුලෙ ව්‍යාපාරවලට සම්බන්ධවෙලා ඉන්නවා. අපේ පරම්පරාවෙ මම ඇරුනහම කවුරුත් රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. අම්මයි තාත්තායි බලාපොරොත්තු වුනේ ක්‍රීඩා හෝ ව්‍යාපාරිකා ක්ෂේත්‍රයට මාව යොමු කරන්න. නමුත් මගේ අරමුණ වුනේ රංගනශිල්පිනියක් වෙන්න.
3. ජීවිතයේ පලවෙනි වෘත්තිය මොකක්ද ?
මම සාමාන්‍ය පෙළ විභාගය කරලා ගෙදර ඉන්න කාලෙදි අවුරුදු 16 දී විතර ළමයින්ට ඉංග්‍රීසි පංති පැවැත්තුවා. ඒක තමයි මුදල් උපයන්න මම කරපු පලවෙනි වෘත්තිය.
4. ගුරු වෘත්තියෙන් ඉදිරියට ගියෙ නැත්තෙ ඇයි ?
මගේ අම්මා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා මම අවුරුදු 16 දී පංති කරන්න පටන්ගත්තහම අම්මට ඕන වුනා මාව වෘත්තීය ගුරිවරියක් කරන්න. නමුත් මට ඕන වුනා ඊට එහාට ගිහින් රංගන ක්ෂේත්‍රයට සම්බන්ධවෙලා මාවත් දිනවලා රටත් දිනවන්න. හැබැයි රංගන ක්ෂේත්‍රයේ දුර ගමනක් ආවට පස්සෙ මේ වෙද්දි මම අම්මගේ පාසලේ අධ්‍යක්ෂකවරියක් සහ ගුරිවරියක් විදිහට වැඩ කරනවා.
5. රංගනය ඩිස්නිගේ ජීවිතයට සම්බන්ධ වුනේ කොහොමද ?
මම නිලියක් වුනේ වෙනස්ම විදිහකට. මට රංගන ක්ෂේත්‍රයේ අය එක්ක සම්බන්ධතාවයක් නැති නිසා මාව රංගන ක්ෂේත්‍රයට හදුන්වාදෙන්න මට සිදු වුණා. ඉතින් ඒ වෙනුවෙන් මම නිරූපිකාවක් වෙලා miss sri lanka 2019 තරගය වෙනුවෙන් තරග වැදිලා ජාත්‍යයන්තර තරග සදහාත් සුදුසුකම් ලැබුවා. මම නිරූපිකාවක් වීමත් සමග ටෙලිනාට්‍යයක ප්‍රදාන චරිතයෙන් ආරාදනා ලැබිලා රූගතකිරීම් කටයුතු කළා. මම ඒ ටෙලිනාට්‍ය විකාශයවෙනකන් බලා හිටියත් විකාශය වුනේ නැහැ. ඉතින් මම ආපහු නිරූපන ක්ෂේත්‍රයට දිහාට හැරිලා Queen of international tourism 2020 තරගයේ කිරුල වෙනුවෙන් තරග කළා. රටවල් 20 ට වඩා නියෝජනය කරමින් තරගයට පිවිසිලා හිටපු තරගකරිනියන් අතරින් මට Queen of international tourism 2020 තරගයේ කිරුල ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඒ සමග මට ලාංකිය රංගන ක්ෂේත්‍රයේ දොරගුළු විවර වුණා.
6. රගපෑමෙදි ඩිස්නිව ඉහලට ඔසවපු නිර්මාණ මොනවද ?
සුදේශ් වසන්ත පීරිස් අධ්‍යයක්ෂණය කරපු සීරුවෙන් චිත්‍රපටය මාව ක්ෂේත්‍රයේ ඉහලට අරන්ගිය චිත්‍රපටයක් විදිහට මම හදුන්වන්න කැමතියි. සීරුවෙන් චිත්‍රපටය හරහා මට ජැක්සන් ඇන්තනී එක්ක වැඩ කරන්න ලැබුනා. එතුමාගේ අන්තිම රංගනය තමයි සීරුවෙන් කියන්නෙ. ජැක්සන් ඇන්තනී වගේ මහා කලාකරුවෙක් එක්ක එකට රගපාන්න ලැබීම මට වටිනා අත්දැකීමක් වුණා. සිරුවෙන් චිත්‍රපටය හරහා තමයි සුරංග අල්විස් හම්බවෙලා room no 106 දක්වා මට එන්න ලැබුනෙ. ඉතින් සීරුවෙන් මාව ඉහලටම ඔසවපු චිත්‍රපටයක්.
7. ක්ෂේත්‍රයට අලුතෙන් ආකර්ශනීය කෙනෙක් ආවහම අයුතු යෝජනා එනවා කියන්නෙ ඇත්තද ?
රංගන ක්ෂේත්‍රයට එන්න කලින් මට රංගන ක්ෂේත්‍රය ගැන විවිද කතා අහන්න ලැබුනා. ඒ අතරේ තිබුන කතාවක් තමයි අලුත් කෙල්ලොන්ට අධ්‍යක්ෂකවරුන්ගෙන් අයුතු යෝජනා එනවා සහ ප්‍රදාන චරිත රගපාන්න නම් අධ්‍යක්ෂකවරු එක්ක සමීප සම්බන්ධතා පවත්වන්න ඕන කියලා. ඉතින් මේ විදිහෙ කටකතා නිසා මම රංගන ක්ෂේත්‍රයට ආවෙ හරිම බයෙන්. අයුතු යෝජනාවක් අද එයිද හෙට එයිද කියලා මම හිතහිත හිටියෙ. නමුත් මේ වෙනකන් මට අධ්‍යක්ෂකවරයෙක්ගෙන්, නිෂ්පාදකවරයෙක්ගෙන් හෝ තිරරචකයකුගෙන් කිසිම අයුතු යෝජනාවක් ඇවිත් නැහැ. හැබැයි ඉතින් තරුණ නළුවන්ගෙන් නම් මට ආදර යෝජනා ඇවිත් තියනවා. ඒවා අයුතු යෝජනා විදිහට සලකන්න බැරි බොහොම ගෞරවනීය ආදර යෝජනා.
8. නළුවන්ගෙන් ලැබුන ආදර යෝජනාවලට මොකද කලේ ?
කැමරාව ඉදිරියේ නළුවො එක්ක ආදරය කළාට සැබෑ ජීවිතයේදි නළුවෙක්ට ආදරය කරන්න මම ලෑස්ති නැහැ. ඉතින් නළුවන්ගෙන් ලැබුන ප්‍රේමාරාදනා ගෞරවයෙන් මම ප්‍රතික්ෂේප කළා.
9. දගකාර ඩිස්නි ගුරිවරියක් විදිහට කටයුතු කරන්නෙ කොහොමද ?
එලියෙ ඉදලා මාව දකින අයට මම ගැන විවිද අදහස් සහ විවේචන තියෙන්න පුළුවන්. නමුත් ගුරු වෘත්තිය සහ පාසල මෙහෙයවීම මම වගකීමෙන් කරනවා කියලා පාසලේ ඉගෙනගන්න දරුවො සාක්ෂි දරනවා. මගේ අම්මා අවුරුදු 20 ක් තිස්සෙ පාසල පවත්වගෙන යනවා. දැනට පහේ පන්තියට විතරයි අපේ පාසලේ උගන්නන්නෙ. මගේ මෙහෙයවීම යටතේ ඉදිරියෙදි සමාන්‍ය පෙළ සහ උසස් අධ්‍යාපනයෙන් සම්පූර්ණ පාසලක් විදිහට ගොඩනගන්න මම බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනයෙන් විතරක් නෙමෙයි ක්‍රීඩා කුසලතා, විනය, හැදියාව සහ සාරදර්ම වලින් පරිපූර්ණ දරුවො පිරිසකුයි මම මගේ පාසලෙන් බිහි කරන්නෙ.
10. ඩිස්නි රගපාන අලුත්ම චිත්‍රපටය Room no 106 තුළින් සිනමාවේ කරන්න හදන්නෙ මොකක්ද ?
Room no 106 සිනමාවේ සහ ලාංකිය සමාජය තුළම බ්ලාස්ට් එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ආන්දෝලනයට තුඩු දීපු සත්‍ය කතාවක් ඇසුරෙනුයි Room no 106 නිර්මාණය වුනේ. ප්‍රවෘත්ති තුළින් ඔබ දැනගත්ත කතාවයි මේ චිත්‍රපටයේ අඩංගුවෙලා තියන කතාවයි හාත්පාසින්ම වෙනස්. කුතුහලය, ත්‍රාසය, ආදරය, වෛරය ඇතුලු සියලු සිනමා ගුණාංග වලින් පරිපූර්ණ වෙලා තියන Room no 106 ප්‍රේක්ෂක ඔබව කලකිරවන්නෙ නැතිව රසවිදින්නයක් ලබා දෙන චිත්‍රපටයක් කියලා මම වගකීමෙන් කියනවා.
11. Room no 106 පාදකවුන සිදුවීම ඉස්සෙල්ලම අහන්න ලැබුනාම මොකද හිතුනෙ ?
Room no 106 චිත්‍රපටයට පාදක වුන කතාව මුලින්ම මට අහන්න ලැබුනම හිතුනෙ ආදරය කරපු කෙනාගේ හිස කදින් වෙන් කරන්න තරම් කොහොමද දෛර්යක් තිබුනෙ කියලා. මගේ හිතට ලොකු කම්පනයක් දැනුනා ආදරය කරපු කෙනෙක්ට මෙහෙම අපරාදයක් කරන්න පුළුවන්ද කියලා. මේ කේදවාචකයට මුහුණදීපු තරුණිය විදිහට රගපාමින් මේ විදිහට තමයි ඒ කතාව වෙන්නැත්තෙ කියන හිතෙනකොට මට දැනුනෙ නිහඩ නිසොල්මන් හැගීමක්.
12. Room no 106 චිත්‍රපටයේදි බිමල් ජයකොඩි එක්ක රගපාන අත්දැකීම කොහොමද ?
Room no 106 වල රගපාන්න කලින් මම බිමල් අයියව හම්බවෙලා කතා කරලා තිබුනෙ නැහැ. රංගන ක්ෂේත්‍රයේ ඉන්න ලොකු රංගනශිල්පියෙක් කියන ගෞරවනීය අදහසයි මට බිමල් අයියා ගැන තිබුනෙ. ඉතින් ෂූටින් ආපු පලවෙනි දවසෙදි බිමල් අයියා චූටිම චූටි චොක්ලට් එකක් මට දුන්නා මාව යාළු කරගෙන අපි අතර තියන පරතරය අඩුකරගෙන සුහදත්වය ගොඩනගා ගන්න. බිමල් එක්ක වැඩ කරගෙන යනකොට මට තේරුනා බිමල් අයියා මගේ ජීවිතය තුළ හම්බුන සුන්දරම මනුස්සයා කියලා. මානුශික ගුණාංග අතින් බිමල් අයියා ඉහලින්ම ඉන්න පුද්ගලයෙක්. රූගතකිරීම් අතරෙ විවේකයක් ලැබුනහම බිමල් අයියා කතා කලේම චිත්‍රපටය තුළ අපේ චරිත ගැන සහ මේ හරහා අපේ රංගන පරාසය දියුණු කරගන්න විදිහ ගැන. අපිට අවවාද මගපෙන්වීම ලබාදෙන තාත්තෙක් වගේ පුද්ගලයෙක් විදිහට මම බිමල් අයියව හදුන්වන්න කැමතියි. බිමල් අයියා වගේ වටිනා ස්වාමිපුරුෂයෙක් ලබන්න සුජානි අක්කා හුගක් වාසනාවන්ත වෙලා තියනවා කියලා මම හිතනවා.
13. බිමල් එක්ක ප්‍රේමාලිංගනයේ යෙදෙන දර්ශනය රගපෑම අභියෝගයක් වුනේ නැද්ද ?
අනේ නැහැ. බිමල් අයියත් මමත් අතර තිබුනෙ වෘත්තිය එකගතාවයක්. වෘත්තියබායත් එක්ක ප්‍රේමාලිංගන රගපෑම් කරන්න අපිට ගැටලුවක් වුනේ නැහැ. ප්‍රේමාලිංගන දර්ශන විතරක් නෙමෙයි සමස්ථ චිත්‍රපටයම අපි වෘත්තීය එකගතාවටක් ඇතුව කිසිම ගැටලුවක් කරගන්නෙ නැතුව රගපෑවා.
14. Room no 106 එක්ක සම්බන්ධවෙලා රගපාන අතරතුරේ හිතට තදින්ම දැනුන දේ මොකක්ද ?
මගේ ජීවිතයේ සුන්දරම කාලය ගෙවුනෙ Room no 106 රූගතකිරීම් කරපු කාලයෙ කිව්වොත් හරි. මාස එකහාමරක විතර කාලයක් අපි චිත්‍රපටයේ රූගතකිරීම් කළා. ඒ මාස එහාමරම මම හිටියෙ පුදුම සතුටකින් සහ ප්‍රබෝදයකින්.
15. ආදරය සුන්දරයි කිව්වට අදුරු පැතිකඩකුත් තියනවා කියලද Room no 106 තුළින් කියන්නෙ ?
ඔවි. ආදර කියන්නෙ එළිය සහ අදුර අතර තියන ප්‍රබල හැගීමක්. ඒ ප්‍රබල හැගීමට ජීවිත සුන්දර කරන්නත් අසුන්දර කරන්නත් පුළුවන්.
16. ඩිස්නිගේ ජීවිතය සුන්දර කරන ආදරයක් මේ වෙද්දි හම්බවෙලා තියනවද ?
ඔව්. මම ආදරවන්තියක්. තවම නම් මට එයත් එක්ක අසුන්දර මතකයක් නැහැ. මම ඉදිරියටත් බලාපොරොත්තුවෙනවා ඔහුත් එක්ක හොදින් ඉන්න ලැබෙයි කියලා.
17. පෙම්වතාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
රංගන ක්ෂේත්‍රයට එන්න කලින් ඉදලා ඔහු මගේ පෙම්වතා වෙලා හිටියෙ. ක්ෂේත්‍රයේ ගැන විවිද කටකතා තියනකොට මගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් නිතරම මගෙත් එක්ක හිටියා. මම වැඩ කරන්නෙ නැතිව ඉන්නකොට මාව දිරිමත් කරවලා දිගටම රංගන ක්ෂේත්‍රයේ වැඩ කරන්න කියලා මාව කලාවට යොමු කරලා මම දිනන හැටි පෙම්වතා සතුටින් බලාගෙන ඉන්නවා.
18. ඩිස්නි සරාගී ඇදුමකින් සැරසිලා උත්සවයකට සහභාගීවීම ආන්දෝලනාත්මක කතබහක් ඇතිවෙලා තියනවා...
ඔව්.උඩුකය විවෘත overcoat විලාසිතාවකින් සැරසිලා මම චිත්‍රපට මංගල දර්ශනයට සහභාගීවීම ගැන මේ දවස්වල සමාජයේ කතාබහක් ඇතිවෙලා තියනවා. සරාගී විදිහට පේන අරමුණින් නෙමෙයි මම ඒ විලාසිතාව කලේ. චිත්‍රපට මංගල දර්ශනයට සහභාගී වෙන්න මොහොතනට කලිනුයි මම ඇදුම් වෙළෙදසැලකට ගිහින් ඒ ඇදුම මිලට අරගෙන ඇදගෙන මේකෆ්එක දාගෙන ආවෙ. සාමාන්‍ය විලාසිතාවක් කියන සිතුවිල්ලෙනුයි මම ඒ විලසිතාව කලා මිසක සරාගී වීමේ අරමුණකින් මම ඒ විලාසිතාව කලේ නැහැ. ඒ සම්බන්ධයෙන් මාව විචේනය කරන පුද්ගලයො සහ මාව සාදරණීකරණය කරන පුද්ගලයොන්ව මම සමාජ මාධ්‍යවල දකිනවා. ඒ සියලුදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.
19. නිලියක් ඒ විදිහෙ විලාසිතා කලහම ප්‍රේක්ෂකයො විවේචන එල්ල කරන්න පුරුදුවෙලා ඉන්නෙ ඇයි ?
පුද්ගලයෙක්ගෙ යහපත් හැසිරීමට වඩා ඇදුම තමයි සංස්කෘතිය කියලා ලංකාවෙ සමහරු හිතාගෙන ඉන්නවා. ඒ වගේ අයට තමයි මම ඇදපු විලාසිතාව ගැටළුවක් වෙලා තිබුනෙ. නමුත් මට බැනපු අයනම් එයාලගේ පෞද්ගලික කේන්තියක් පිටකරගන්න මගේ ඇදුමට බැන්නා කියලයි මට තේරුනේ.
ලක්ෂාන් ජයසූරිය