පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ දිල්හාරාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයො අතර ප්‍රසිද්ධ වුන සුජානි මධුවන්ති මේ දිනවල ටී.වී දෙරණ නාලිකාවෙ විකාශයවන කොළඹ කට්ටිය ටෙලිනාට්‍යයේ නිලියකගේ චරිතයෙන් ප්‍රේක්ෂකයො අතරට ඇවිත් ඉන්නවා. නිලියකගේ චරිතයක් රගපෑම ගැන ඇතුලුව සුජානිගේ අලුත් විස්තර දැනගන්න අපි හිතුවා සුජානි එක්ක කතා කරන්න.
1. සුජානිට කොළඹ කට්ටියෙ නිලියකගේ චරිතයක් රගපාන ලැබීම ගැන මොකද හිතන්නෙ?
ටෙලිනාට්‍යවල මම විවිද චරිත රගපාලා තිබුනට නිලියකගේ චරිතයක් රගපාන්න ලැබුනෙ මගේ ජීවිතයේ පලවෙනි වතාවට. විවිද ආකාල්ප සහ විවිද හැසිරීම් තියන නළුනිලියො රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා. ඉතින් ඒ නළුනිලියො අතරින් නිෂ්පාදක කණ්ඩායමට හැමවෙලේම කරදරයක් වෙලා වද දෙන ආත්මාර්තකාමි නිලියකගේ චරිතයකුයි මම කොළඹ කට්ටියෙ රගපාන්නෙ. මම වැඩ කරන රංගන වෘත්තියෙම ඉන්න කරදරකාරී නිලියකගේ චරිතය රගපාන්න ලැබීම මට ගොඩක් විනෝදජනක අත්දැකීමක් වුණා.
2. කොළඹ කට්ටියෙදි මුහුණ දීපු රසමුසු සිදුවීම් මොනවද ?
කොළඹ කට්ටියෙ මම රගපාන මිනූගේ චරිතයෙදි, කෝල් ගන්න සිග්නල් නැති නිසා ගෙදර වහලෙ උඩ නැගලා සිග්නල් හොයන දර්ශනයක් තිබුනා. ඉතින් ඒ වෙනුවෙන් මට ගෙදර වහලෙ උඩට නගින්න වුණා. වහලයක් උඩ නැගලා රගපාන්න සිදුවීම මගේ රංගන ජීවිතයේදි අමතක නොවන විශේෂ සිද්දියක්.
3.කොළඹ කට්ටිය ටෙලිනාට්‍යයේ වගේ රූගතකිරීම් වලදි ඇත්තටම අකරතැබ්බ වලට මුහුණ දීලා තියනවද ?
ඔව්. රූගතකිරීම් වලට ගියහම නළුනිලියො මුහුණ දෙන සමහර ඇත්තම සිද්දි කොළඹ කට්ටිය ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුලුවන්. කොළඹ කට්ටිය ටෙලිනාට්‍යයේ මම රගපාන විනූගේ චරිතයෙදි වගේ මමත් ඇත්තටම රූගතකිරීම් කරන්න ගිය ලොකේෂන් වලදි සිග්නල් නැතුව කාටවත් කෝල් කරන්න බැරුව සිග්නල් හොය හොය ඇවිදපු අවස්ථා තියනවා. කොළඹ කට්ටිය ටෙලිනාට්‍යයේදි පෙන්නනවා වගේ ඇත්තටම කොළඹ කට්ටිය රූගතකිරීම් කරන ප්‍රදේශයෙත් සිග්නල් නැහැ. ඉතින් කාටහරි කෝල් කරන්න ඕන වුනහම සිග්නල් හොයාගෙන ගිහින් තමයි කෝල් කරන්නෙ.
4. කොළඹ කට්ටියෙ මිනූ වගේ රංගන ශිල්පීනියො හම්බවෙලා තියනවද ?
ඔව්. අපිට දකින්න ලැබෙන, එකට වැඩ කරලා තියන නවපරපුරේ සමහර ආත්මාර්තකාමි කරදරකාරී රංගනශිල්පිනියන් ආශ්‍රයෙනුයි කොළඹ කට්ටියෙ මම රගපාන මිනූගේ චරිතය ගොඩනැගිලා තියෙන්නෙ. හැබැයි මිනූ වගේ හැමෝටම වාත වෙන ගතිය ඇරෙන්න මිනූගේ තියන කට සැර ගතිය සහ ආසාධාරණය පෙන්නන්න බැරි ගතිය මගේ ළගත් තියනවා.
5. සුජානි රටේ ප්‍රසිද්ද නිලියක් වුනේ කොහොමද ?
මගේ ගම ගිරිඋල්ල. අවුරුදු කීපයකට කලින් ගමේ ඉදලා මම කොළඹ ආවෙ ගායිකවක් වෙන්න. හැබැයි අහම්බෙන් මම රංගන ක්ෂේත්‍රයට යොමු වෙනවා. රංගන ක්ෂේත්‍රයට එනකොට මම රංගනය ගැන වැඩි දෙයක් දැනගෙන හිටියෙ නැහැ. ඉතින් අධ්‍යක්ෂකවරුන්ගෙන් බැනුමුත් ඇහුවා. වැඩමුළුවලට ගිහින් රංගනය ඉගෙනගෙන, අනිත් ප්‍රවීන නළුනිලියන්ගෙන් රගපාන විදිහ ගැන අත්දැකීම් ලබාගෙන හෙමින් හෙමින් තමයි මම අද ඉන්න තත්වයට ආවෙ. මම ඉස්සෙල්ලාම රංගන ක්ෂේත්‍රයට පිවිසුනේ සද්දාමංගල සූරියබණ්ඩාර තිරරචනය සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යයක්ෂණය කරපු කෝළම් කුට්ටම ටෙලිනාට්‍යයෙන්. ඔවුන් දෙදෙනාගේ ටෙලිනාට්‍යයකින් රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න ලැබුන නිසයි මට රටේ ප්‍රසිද්ද නිලියක් වෙන්න ලැබුනෙ. සද්දාමංගල සූරියබණ්ඩාර තිරරචනය කරන ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යයක්ෂණය කරන පිරිමි ළමයි ටෙලිනාට්‍යයෙන් මගේ රංගන හැකියාව තවදුරටත් ප්‍රේක්ෂකයො අතරට ගෙනියන්න අවස්ථාව ලැබුනා. ඉතින් මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විදිහට සද්දාමංගල සූරියබණ්ඩාරව සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ව හදුන්වන්න මම කැමතියි.
6.ගායිකවක් වෙන අදහසට මොකද වුනේ ?
ගායිකවක් වෙන බලාපොරොත්තුවෙන් මම කොළඹ ඇවිත් රියැලටි ගායන තරගයට සහභාගී වුණා. නමුත් තරගයෙන් ඉවත්වෙන්න සිදුවීමත් සමග මගේ හිත ගොඩක් රිදුනා. තරගයෙන් ඉවත්වෙලා හිත රිදිලා ඉන්න අතරෙ මට දැනගන්න ලැබුනා නර්තන හැකියාව තියන ගැහැණු ළමයින්ව ටෙලිනාට්‍යයකට ගන්න screen test එකක් තියනවා කියලා. මම පුංචිකාලෙ ඉදලා නර්තනයට දක්ෂයි. ගායන හැකියාවෙන් ඉදිරියට යන්න බැරිවුනඑකේ නර්තන හැකියාවෙන් ඉදිරියට යන අදහසින් මම screen test එකට සහභාගි වුණා. මගේ හැකියාව මත රංගන ක්ෂේත්‍රයට මාව තෝරගත්ත නිසා මම තීරණය කළා රංගන ක්ෂේත්‍රය තමයි මට ගැලපෙන්නෙ කියලා. ඉතින් මම රංගන ඉගෙනගෙන වෘත්තිය රංගනශිල්පිනියක් වුණා. නමුත් මම ගායනයට තාම ආදරෙයි. ගෙදර ඉන්න වෙලාවටත් කැරොකෙ දාලා සිංදු කියනවා. හැබැයි වෘත්තීය ගායිකවක් වෙන්න මගේ අදහසක් නැහැ.
7.නිලියක්වීම හරහා සුජානිට ලැබුන වටිනාම දේ මොකක්ද ?
නිලියක් වීම හරහා මට මට ලැබුන වටිනාම දේ තමයි රසිකයන්ගේ ආදරය සහ පිළිගැනීම. ඒ වගේම රගපෑම තුළින් මානසික නිදහස සහ විවෘතව හිතන්න හැකියාව ලැබීම නිලියක් වීම හරහා මට ලැබුන වටිනාම දේවල් වෙනවා.
8.රසිකයන්ගේ ආදරය විතරද සුජානි මේ දවස්වල විදින්නෙ ?
ආදරය නැතුව කාටවත් ජීවත් වෙන්න බැහැ කියලයි මම විශ්වාස කරන්නෙ. ඉතින් මම ආදරය විදලා තියනවා සහ මේ වෙද්දිත් හොද ආදරයක් විදින ගමන් ඉන්නෙ.
9. පුංචි කාලෙදි සුජානි මොනවිදිහෙ කෙනෙක්ද ?
මගේ පවුලෙ ඉන්නෙ අම්මා විතරයි. මම පවුලෙ එකම දරුවා. පුංචි කාලෙදි මම ගොඩක් දගයි. ඉස්කෝලේ ළමයි එක්ක නිතරම රණ්ඩු වෙනඑකමයි කළේ. ඉගෙන ගන්නවට වඩා නැටුම් කාමරේට ගිහින් නටන්නයි ඉස්කෝලේ යන කාලෙදි මම ගොඩක් කැමති.
10.රංගන ක්ෂේත්‍රයේ යන ගමන ගැන අම්මා මොනවද කියන්නෙ ?
රංගන ක්ෂේත්‍රයට පිවිසෙද්දි අම්මා මට ලොකු නිදහසක් සහ සහයෝගයක් ලබා දුන්නා. අද වෙද්දි රංගන ක්ෂේත්‍රයේ මම යන ගමන දිහා අම්මා ගොඩක් සතුටෙන් බලාගෙන ඉන්නවා. කවදාම හරි සුදුසු මොහොතක සුදුසු ඇගයීමකට මාව ලක්වෙයි කියලා මම ගැන අම්මා බලාපොරොත්තුවෙන් ඉන්නවා.
11. සහෝදර සහෝදරියො නැතුව තනියෙන් ජීවත්වෙන්න පාළු නැද්ද ?
සහෝදර සහෝදරියො නැතුව තනියෙන් ජීවත් වෙද්දි පාළු දැනෙන වෙලාවල් තියනවා. සමහර වෙලාවට හිතෙනවා සහෝදරයෙක්වත් තනියට හිටියනම් කොච්චර දෙයක්ද කියලා. හැබැයි අම්මා මගේ ජීවිතයට හයියක් වෙලා හැමදාම ඉන්නවා. සහෝදර සහෝදරියො නැහැ කියන හැගීම අම්මා මට දැනෙන්න දෙන්නෙ ගොඩක් අඩුවෙන්.
12. පවුලෙ එකම ළමයා නිසා සුජානිට හොදට කෑම හදන්න පුලුවන් ඇති නේද ?
ඔව්. මට ඕනෑම වර්ගයක කෑම ජාති හදන්න පුලුවන්. මගේම recipe වලට අනුව මම අලුත් අලුත් කෑම ජාති හදනවා. හැබැයි කෑම හැදුවට පස්සෙයි ඒකට කියන නම මොකක්ද කියලා තීරණය කරන්නෙ. කෑම මොකක්ද කියලා දන්නෙ නැතුව හැදුවා වුනත් කාපු හැමෝම මට කියන්නෙ කෑම රසයි කියලා.
ලක්ෂාන් ජයසූරිය