මිනිස්සු ආදරය කරන්නේ මහ පොළොවේ පයගහලා ඉන්න චරිතවලට -උදය කුමාරි රණසිංහ

gossiplanka image 1
 

 මෙවර අපේ පිටුව වෙන් වන්නේ දශක කිහිපයක පටන් පුංචි තිරය මෙන්ම වේදිකාව ද එකලෙස හැඩකළ, ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක වෙනුවෙනි. ඇය උදය කුමාරි රණසිංහයි. රංගනයට පමණක් සීමා නොවී, ස්වයං නිර්මාණශීලීත්වය සහ බහුවිධ කුසලතාවන් ඔස්සේ වර්තමාන ඩිජිටල් අවකාශය ද තමන් සතු කරගන්නට ඇය සමත්ව සිටින්නීය.


​වර්තමාන කලා තොරතුරු සහ කාර්යබහුල ජීවිතය පිළිබඳ ඇය හඬ අවදි කළේ මෙලෙසිනි.


“මේ දවස්වල වැඩිපුරම කාලය වෙන්නේ කලා කටයුතු වෙනුවෙන්ම තමයි. වේදිකාව සහ ටෙලිනාට්‍ය නිර්මාණ කිහිපයකම වැඩකටයුතු කරගෙන යනවා. ඒ හැම දෙයක්ම අතරතුර මගේ ‘ක්‍රෂ් උදෙයා’ (Crush Udaya) යූටියුබ් චැනල් එකේ සහ ෆේස්බුක් බ්ලොග් එකේ වැඩකටයුතු සඳහාත් කාලය කැප කරනවා.”


ප්‍රේක්ෂකයන්ට ඇයව මෑතකදී දැකගත හැකි වූ නිර්මාණ මෙන්ම ඉදිරියේදී දැකගත හැකි අලුත්ම නිර්මාණ ද්විත්වයක් පිළිබඳව ද ඇය සිහිපත් කළාය.


“මෑතකදී විකාශවී අවසන් වුණු ‘දෙවෙනි ඉනිම’ සහ ‘පහේ ළමයි’ ටෙලිනාට්‍යවලට මම රංගනයෙන් දායක වුණා. ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍යයෙත් රංගන කටයුතු සිදු කරනවා. ඊට අමතරව තවත් අලුත් ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම්වලට දායක වෙමින් සිටිනවා. ඒ වගේම තමයි, ‘දීගෙ කයි’ කියන අලුත්ම වේදිකා නාට්‍යයේ වැඩ කටයුතුත් මේ දවස්වල කරගෙන යනවා.“


දශක ගණනාවක් පුරා කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින උදය කුමාරි රණසිංහගේ කලා ආගමනය සිදුව ඇත්තේ ළමා අවධියේදීය.


​​”මගෙ අම්මා අපි වෙනුවෙන් සිය ජීවිතයම කැප කරපු කෙනෙක්. මට අක්කලා තුන්දෙනෙකුයි, අයියා කෙනකුයි ඉන්නවා. මම කලාවට සම්බන්ධ වුණේ මට වයස අවුරුදු අටක් තරම් කුඩා කාලයේදීයි. ඉස්සෙල්ලාම රංගනයෙන් දායක වුණේ චිත්‍රපටයකට. ඊට පස්සේ ‘බායි බායි ඩුබායි’ කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. මගේ පළවෙනි ITN ටෙලිනාට්‍යය වුණේ ‘වජිරා’. ඒ වගේම හඬකැවීම් ශිල්පිනියක් විදිහට කටයුතු කරන්නත් අවස්ථාව ලැබුණා. එදා ඉඳලා අද වෙනකම්ම දිගටම ඩබින් කරගෙන, වේදිකාවේ රඟපාගෙන තාමත් මම මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා.


හර්බට් රංජිත් පීරිස් මහත්මයාගේ ‘දියසේන’, ඒ වගේම ‘එකගෙයි කුරුල්ලෝ’ වගේ මගේ හදවතට දැනුණු නිර්මාණ ගොඩක් තියෙනවා. හැබැයි මිනිස්සු මාව ගොඩක්ම අඳුරගත්තේ ‘වජිරා’ නාට්‍යයෙන්. එතකොට මම ඉස්කෝලේ යනවා. වේදිකාව බලන ප්‍රමාණය ගොඩක් වෙලාවට අඩුයිනේ. ටෙලිවිෂන් එක බලන ප්‍රමාණය වැඩියි. අපි වේදිකාවේ කොච්චර රඟපෑවත් ඒක දකින්නේ නැහැ.”


​උදය කුමාරි ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන්නට තවත් එක් හේතුවක් වී ඇත්තේ ඇගේ සුවිශේෂී විලාසිතා සහ අලංකාර ඇඳුම් පැලඳුම් ස්වරූපයයි. තමන්ටම ආවේණික වූ රටාවකට ස්වයං නිර්මාණශීලීත්වයෙන් ඇය සිය විලාසිතා මවාගන්නා අපූරු රහස අප සමඟ පැවසූයේ මෙලෙසිනි.


​”පොඩි කාලේ ඉඳන්ම මගේ අම්මා ඇඳුම් මහනවා. මමත් අම්මගේ මැෂින් එකෙන්ම මහන්න ටිකක් හුරු වුණා. හැබැයි ඊට කාලෙකට පස්සේ මමත් කඩෙන් අරන් ඇඳුම් අඳින්න හුරු වෙලා තිබුණේ. පස්සේ කාලෙක තමයි හිතුණේ ඇයි අපිට ගෙදරදීම මේවා මහන්න බැරි කියලා. හොඳට තිබ්බ ඇඳුමක් ගලවලා බලලා, ඒක උඩින් තියලා කපලා තමයි මම ඇඳුම් මහන්න හුරු වුණේ. දැන් මට සාරි, ඔසරි එහෙමත් මහන්න පුළුවන්. දැන් මම කඩෙන් ඇඳුම් ගන්නේ නැති තරම්. හැම දේටම දක්ෂ වෙන්න මම හරි ආසයි. මම මහනකොට රෙදි ගෙනත් දීලා මාව දිරිමත් කරපු අයත් හිටියා. ඒකෙන් මට ලොකු ජවයක් ලැබුණා.”


රංගනයට අමතරව ඇගේ ඉවුම් පිහුම් වීඩියෝවලට ලැබෙන්නේ ද ඉහළ ප්‍රතිචාරයකි. අන්තර්ජාලය කැලඹූ ‘දෙහි බීම’ වීඩියෝව නිසා දැන් ඇය මිලියන 23ක ප්‍රේක්ෂක පිරිසක් සමඟ ස්ථාවර වී සිටින බව ද පැවසුවාය.


ඇය ආදර්ශවත් ගෘහණියකි. ඇගේ ජීවන දැක්ම අගය කළ යුතුය.


“කෑම හදන වැඩේ මම හරිම ආසාවෙන් කරන්නේ. මම ඉන්නේ තට්ටු තුනක නි‍ෙවසක. ඒකේ තුන්වැනි තට්ටුවේ මම ගොඩක් දේවල් වවලා තියෙනවා. මගේ අම්මා දේශීය දේට හරිම ආසයි. අම්මාගෙන් ලැබුණු ඒ දැනුමත් එක්ක තමයි මම මේ දේශීය දැක්මක් ගොඩනඟාගෙන යන්නේ. මම හැම වෙලාවෙම අපේ දේශීය දේ අගය කරනවා.”


කාර්යබහුල ජීවන රටාවකට හුරුවී සිටින ඇය, සිය කාලය කළමනාකරණය කරගන්නා අයුරු ද අප සමඟ පැවසූවාය. ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනාගේ වැඩකටයුතු වෙනුවෙන් උදෑසනම අවදි වන ඇය, තමන්ටම ආවේණික වූ තවත් සුවිශේෂී පිරිසක් වෙනුවෙන් ආහාර පිසීමට අමතක නොකරන්නීය.


“මට ගෙදර අයට අමතරව තව වටින කට්ටියක් ඉන්නවා. ඒ මගේ බල්ලෝ සෙට් එක. මම දාන කෑම කන්න කාක්කෝ, පූසෝ බලාගෙන ඉන්නවා. උදේම පාරේ ඉන්න බල්ලන්ටයි, පූසන්ටයි, වටපිටාවේ ඉන්න කුරුල්ලන්ටයි කෑම ටිකක් දාන්න මම කවදාවත් අමතක කරන්නේ නැහැ. හැමදාම මම උදේට පහළොස් දෙනකුට විතර උයලා තමයි ගෙදරින් යන්නේ. ඒ මගේ ගෙදර අයටයි, අහිංසක සත්තුන්ටයි.“


දශක ගණනාවක් පුරා අඛණ්ඩව ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට ඇය සමත්ව තිබේ. ටෙලිනාට්‍ය තුළ ඇයට බොහෝ විට ලැබෙන්නේ පවුල් කඩන, කේලම් කියන, කෑගහන දුෂ්ට චරිත වුවද, ප්‍රේක්ෂකයා ඇයට දක්වන ආදරය අඩුවී නොමැත.


“සමහර අය බණිනවා. නමුත් සමහරු මං කරන්නේ චරිතයක් විතරයි කියලා අවබෝධ කරගත්තහම මට ගොඩක් ආදරය කරනවා. ප්‍රේක්ෂක ආදරය දිනාගන්න එක ලේසි නැහැ. මිනිස්සු රංගන ශිල්පියකුට කරන ආදරය මනින්නේ රඟපාන චරිත සහ ඒගොල්ලන්ගේ පවුල් පසුබිමත් එක්කයි. අපි ඒ හැම දෙයක්ම, ඒ කියන්නේ අපේ පවුල් පසුබිමත්, කරන චරිතත් හරියට තියාගෙන ගියාම දීර්ඝකාලීනව ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන්. මිනිස්සු ආදරය කරන්නේ මහ පොළොවේ පයගහලා ඉන්න චරිතවලට.” ජීවිතයේ විවිධ භූමිකාවන් එකිනෙක පටලවා නොගනිමින් ඒ හැම ඉසව්වකම සිය අනන්‍යතාව සනිටුහන් කරන්නට තරම් ඇය සතු කැපවීම අගනේය. තිරය පිටුපස මෙන්ම තිරය ඉදිරියේ ද එකලෙස සොඳුරු නිහතමානීකමක් රඳවාගෙන සිටින උදය කුමාරි රණසිංහ ඉදිරියටත් ප්‍රේක්ෂක හදවත්හි නොමැකෙන චරිතයක් බවට පත්වනු ඇත.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post