ගාල්ලේ උපත ලබා, කලාව කෙරෙහි සහජ ළැදියාවක් දැක්වූ ඔහු අද වන විට දශක දෙකක රංගන චාරිකාවක නිරතව සිටී. ඔහු නමින් අනුරාධ මල්ලවආරච්චි ය. වර්තමාන ටෙලිනාට්‍ය කලාවේ කාගේත් කතාබහට ලක්වන චරිත කිහිපයකටම පණ පොවන ඔහු, තම කලා ජීවිතය ගැන රසඳුනට පැවැසුවේ මෙලෙසිනි.
“මම දැනට පදිංචි වෙලා ඉන්නේ බොරලැස්ගමුවේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, සහෝදරයෝ දෙන්නයි, සහෝදරියෝ දෙන්නයි. හැබැයි අපේ පවුලේ කවුරුවත් කලාවට හෝ රංගන ක්ෂේත්‍රයට සෘජුව සම්බන්ධ නෑ. පාසල් යන කාලේ ඉඳන්ම මගේ හිතේ කලාවට ලොකු කැමැත්තක් තිබුණා. වෘත්තියක් විදිහට රංගනය තෝරගන්නවා කියලා එදා හිතුණේ නැහැ. පස්සේ කාලෙක මේ ක්ෂේත්‍රයට එන්න ලැබෙන්නේ හරිම අහම්බෙන්. ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ තමයි මම මේ ගැන වැඩිදුර හදාරලා, අධ්‍යාපනයක් එක්කම රංගනයට අවතීර්ණ වුණේ. දැන් මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක් විතර වෙනවා.”
මුල් කාලයේදී ක්ෂේත්‍රය තුළ මුහුණ දීමට සිදු වූ අභියෝග සහ ඒවාට මුහුණ දුන් ආකාරය පිළිබඳව අනුරාධට ඇත්තේ මෙවන් කතාවකි.
” මුල්ම කාලේ මට මේ ක්ෂේත්‍රය ඇතුළේ දීර්ඝකාලීනව රැඳිලා ඉන්න ලොකු අරමුණක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ කාලේ සිද්ධ වෙච්ච දේවල් මට ලොකු අභියෝග විදිහට දැනුණේ නැහැ. නමුත් පස්සේ කාලෙක මේක මගේ ජීවිතය කරගෙන දිගටම වැඩ කරද්දී, මුහුණ දුන්න හැමදේම මමම තෝරගත්ත, මමම තීරණය කරපු දේවල්. ඒ නිසා ඒවා මම බාරගත්තේ කැමැත්තෙන්. අද හැරිලා බලද්දී ‘ඒවා කොහොමද කරගත්තේ’ කියලා හිතෙන තරමට ඒ හැමදේම අභියෝගාත්මකයි තමයි.”
අනුරාධ මුල් කාලයේදී පුංචි තිරයට වඩා වැඩි දායකත්වයක් ලබා දුන්නේ වේදිකාවටය. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ ඔහු ලැබූ ඇතැම් අත්දැකීම් නිසා කලක් ඔහු පුංචි තිරයෙන් ඈත්ව සිටීමට ද තීරණය කර තිබුණි.
”මුල් කාලේ මම වැඩිපුරම කළේ වේදිකා නාට්‍ය. ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ගොඩක් ඉස්සර ලංකාවේ ප්‍රසිද්ධ, ජනප්‍රිය ටෙලිනාට්‍ය දෙක තුනකට සම්බන්ධ වුණා. හැබැයි ඒ සම්බන්ධ වීමත් එක්ක ඇති වුණු සමහර හේතු නිසා මට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය එපාම වුණා. ආයේ කවදාවත් රඟපාන්නේ නෑ කියන තැනටම කලකිරුණා. ඒ නිසා ගොඩක් ආරාධනා ලැබුණත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. පස්සේ කාලෙක ‘T20’, ‘රාවණ’ වගේ නාට්‍යවල වැඩ කරන අතරතුරත් මම සක්‍රියව වැඩ කළේ වේදිකාවේ. හැබැයි කොරෝනා වසංගත කාලයෙන් පස්සේ මම වැඩිපුර ටෙලිනාට්‍යවලට දායක වෙන්න ගත්තා. මම හිතනවා ඒ ලැබුණු පන්නරය එක්ක තමයි ‘කොඩි ගහ යට’ සහ ‘හිතුවක්කාරයා’ වගේ ටෙලිනාට්‍යවලින් ප්‍රේක්ෂකයන් අතරට ගිහින්, ජනප්‍රිය නළුවෙක් විදිහට ස්ථාවර වෙන්න මට පුළුවන් වුණේ කියලා.”
’කොඩි ගහ යට’ ටෙලිනාට්‍යයේ ‘ගාමිණී’ගේ චරිතය ප්‍රේක්ෂකයන් වැලඳගත්තේ ඉතා ඉහළින්මය. එමෙන්ම මේ දවස්වල විකාශය වන ‘ආලේ’ ටෙලිනාට්‍යය හරහා ද ඔහුට ලැබෙන්නේ සුවිශේෂ ප්‍රතිචාරයකි.
‘කොඩි ගහ යට’ ටෙලිනාට්‍යයේ ජගත් අයියා එක්ක වැඩ කරන්න ලැබීම සුවිශේෂී අත්දැකීමක්. ඒ චරිතයේ සාර්ථකත්වය මගේ මහන්සිය විතරක් නෙවෙයි, අධ්‍යක්ෂවරයාගේ සහ රචකයාගේ මහන්සියේද ප්‍රතිඵලයක්. ඒ වගේම මේ දවස්වල විකාශනය වන ‘ආලේ’ ටෙලිනාට්‍යයේ චරිතයට ඊටත් වඩා ලොකු ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි ඒ ප්‍රතිචාර ලැබෙන්නේ කැමැත්තක් විදිහට නෙවෙයි, ප්‍රේක්ෂකයන්ගේ තියෙන ‘අකැමැත්ත’ විදිහට. ඒක තමයි ප්‍රේක්ෂකයාගේ ස්වභාවය. මම ඒ ස්වභාවය හොඳින්ම දැනගෙනයි ඒ චරිතය කරන්නේ. වර්තමාන ටෙලිනාට්‍ය කලාවේ ස්වභාවය මම මූලිකවම අඳුරගෙන තියෙනවා. මට ලැබෙන ප්‍රමාණයෙන් සහ මට ලැබෙන අවකාශය ඇතුළේ චරිතයකට උපරිම සාධාරණයක් කරන්න මම හැමවිටම උත්සාහ කරනවා.”
මේ දවස්වල විකාශය වන ‘සිත නිදි නෑ’ ටෙලිනාට්‍යයේ තාත්තාගේ චරිතය පිළිබඳව සහ රංගනය භාවිත කරන විවිධ මාධ්‍යයන් පිළිබඳව අනුරාධ මෙසේ පැහැදිලි කළේය.
”ඇත්ත ජීවිතේ තාත්තා කෙනෙක්ගේ පෞද්ගලික අත්දැකීම් මට නැහැ, ඒකට හේතුව මම තවම විවාහ වෙලා නැති නිසා. හැබැයි ඕනෑම චරිතයකට සියයට සියයක් ඇතුළු වෙන්න පුළුවන් හැකියාවක් මට තියෙනවා. අපිට ඕනෑ තරම් තාත්තලා හම්බවෙනවා. ඒ අයගේ අත්දැකීම් දැකලා, අහලා ලැබුණු දේවලින් තමයි ඒ චරිතය ගොඩනැඟෙන්නේ. ඒ වගේම ‘නටත් අයෙක් සුරා මතින්’ ටෙලිනාට්‍යයත් මේ වෙද්දී සුවිශේෂ විදිහට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න සමත් ආකාරයට විකාශය වෙනවා. ඒක ප්‍රේක්ෂකයාට අලුත් කලාත්මක වින්දනීය අත්දැකීමක්.
වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය කියන්නේ රංගනය ප්‍රමුඛ වුණු ප්‍රකාශන මාධ්‍ය තුනක්. ඒ ඒ මාධ්‍යවලට අනන්‍ය සීමාවන් තිබුණත්, නළුවකුට අවශ්‍ය මූලික රංගන කාරණා වෙනස් වෙන්නේ නැහැ. අපි ඇත්ත ජීවිතේ කෙනෙක්ව ප්‍රතිනිර්මාණය කරද්දී කොයි මාධ්‍යයේත් කරන්නේ එකම දේ. හැබැයි මේ මාධ්‍ය තුනෙන් මම මේ මොහොතේ සිනමා රංගනයට වැඩි කැමැත්තක් දක්වනවා. ඒකට හේතුව මට සිනමාවේ රඟපාන්න ලැබුණු අවස්ථාවන් ප්‍රමාණයෙන් අඩු නිසයි.”
රංගනය තුළ විවිධ චරිත නිරූපණය කළද, තම සැබෑ ජීවිතය සහ රංගනය පටලවා නොගන්නා බව පවසන අනුරාධ පවසන්නේය.
“මම ඇත්ත ජීවිතේ රඟපාන්නේ නැහැ. සමාජය ඉදිරියේ වෙනත් ප්‍රතිරූප මවාගන්නේ නැහැ. ‘අනුරාධ මල්ලවආරච්චි’ කියන පුද්ගලයා මට තවම නැතිවෙලා නැහැ. මගේ ජීවිතේ මැරෙනකම්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ රංගනයයි. හැබැයි කිසියම් තත්ත්වයක් උඩ රංගනය අත්හරින්න වුණොත්, වෙනත් ක්ෂේත්‍රයක වුණත් මම මගේ උපරිමය දෙනවා. සමහර අවස්ථාවල මම මේ ක්ෂේත්‍රයේ ගුරුවරයෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. නවකයන්ට මට දෙන්න තියෙන උපදෙස තමයි, රංගනයට එන්න තියෙන්නේ එක මාර්ගයක් පමණක් නෙවෙයි. එක එක්කෙනාගේ දක්ෂතාවල හැටියට විවිධ ප්‍රවේශයන් තියෙන්න පුළුවන්. ඒ විවිධත්වය නිසාමයි රංගනය අපූරු වෙන්නේ. හැමෝම එකම විදිහට ආවොත් අපිට අපූරු චරිත දකින්න ලැබෙන්නේ නැහැ. රංගනයට අදාළ එකම දේ තමයි, මොන ක්‍රමයෙන් ආවත් තමන්ට ලැබෙන චරිතය හරියටම නිරූපණය කිරීම. “