මම මරියා ජර්නි අප්පුහාමි. මිලාගිරිය ශාන්න පාවුල් බාලිකා විද්‍යාලයේ දහය වසරේ ඉගෙන ගන්නවා. මගේ වයස අවුරුදු දාහතරක් වෙනවා.
මේ අයුරින් තමා ගැන හඳුන්වා දෙමින් කතාබහ ආරම්භ කළ මරියා චන්දරේගේ වයිෆ් චිත්‍රපටයේ ඇයගේ චරිතය සහ ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර පිළිබඳවත් පැවැසුවා.
මේ චිත්‍රපටයේ මම චන්දරේගේ ලොකු දුව ලෙස රඟපානවා. ඒ චිත්‍රපටයේ අම්මයි තාත්තයි මට කතාකරන්නේ ලොක්කී කියලා. ගෙදර වගේම ඒ චිත්‍රපටයෙත් මම නංගිලා දෙන්නෙක් ඉන්න අක්කා කෙනෙක්. එම නිසා ඒ චිත්‍රපටයේදී මට ලැබුණ චරිතයේ ලොකු වෙනසක් දැණුනේ නැහැ. ඇත්ත ජීවිතේ මගේ නංගිලා දෙන්නත් සමග චිත්‍රපටයේත් රඟපාන්න ලැබුණු නිසා ඒ චරිතයට අලුතින් හුරුවෙන්න දෙයක් තිබුණෙත් නැහැ.
චිත්‍රපටය බලපු ගොඩාක් අය කිව්වා ඔයා ලස්සනට රඟපාලා තියෙනවා කියලා. ඒ වගේම ඔයා හරිම නිදහසේ රඟපානවා කියලත් ගොඩාක් අය කිව්වා. එහෙම නිදහසේ ලස්සනට රඟපාන එක මේ තරම් පහසුවෙන් පුළුවන් වුණේ මගේ නංගිලා දෙන්න මගේ ළඟ හිටිය නිසා කියලා මම විශ්වාස කරනවා.
තමාට කලාවට එන්නට උදව් කළ අය ගැනත් මතක් කරන්නට මරියා අමතක කළේ නැහැ.
තාත්තයි අම්මයි දෙන්නා මගේ මේ ගමනට ගොඩාක් උදව් කරනවා. මගේ තාත්ත රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි. අම්මා ගයාත්‍රී මහේෂා ගුණරත්න. අම්මා අනුලා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උගන්වනවා. අපේ ළඟින්ම ඉන්නේ අම්මා, තාත්තා වැඩිය ගෙදර නැහැ. ඔහු ෂූටින්වලට යනවා. ඒ වුණාට අපිව ෂූටින් එක්කගෙන යන්නේ තාත්තා. ඒ හැරුණම අපේ වැඩ ඔක්කෝම වගේ කරන්නේ අම්ම. අම්මටයි තාත්තටයි ගොඩාක් ආදරෙයි.
තමාගේ කලා කටයුතු වෙනුවෙන් පාසලෙන් ලැබුණු සහයෝගය ගැන සඳහන් කරන්නට ද ඇය අමතක කළේ නැහැ.
පාසලේ හැමෝම අපේ තාත්තව දන්නවා. අම්මත් දැන් අනුලා විද්‍යාලයේ හිටියට කලින් හිටියේ අපේ ඉස්කෝලේ. විදුහල්පතිතුමිය, ටීචර්ලා මගේ යාළුවෝ හැමෝම වගේ අපි ෆිල්ම් එකේ ට්‍රේලර් එක දැක්කා. ඒක හරි ලස්සනයි කියලා කිව්වා. ඒ වගේම අපි රඟපාන්න යන්න කලින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර ගත්තා. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමියගෙනුත් අවසර ගත්තා. මට දවස් විස්සක් ෂූටිං තිබුණා. මගේ කලා කටයුතුවලට පාසලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා.
මම චිත්‍රපටය රූගත කිරීම් අතරතුර අත්විඳින්නට සිදු වූ අමතක නොවන සිදුවීම් ගැනත් මතකය අවදි කරන්නනට ද ඇය අමතක කළේ නැහැ.
නයිට් ෂූටිං තිබුණ දවසක වෙරෝනිකාගේ කනට කුරුමිනියෙක් වගේ සතෙක් ගිහිල්ලා. එයා හොඳටම බය වෙලා ඇඬුවා. අනේ මාව මැරෙයිද? මගේ කනට මොකෙක්ද ගියේ. මාව ඉක්මනට හොස්පිට්ල් අරගෙන යන්න කියලා හයියෙන් කෑගැහුවා. ඒ අඬපු විදිය නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ඒ වගේම සෞම්‍ය මාමා ඒ කියන්නේ චිත්‍රපටයේ අපේ තාත්තා පොලිසියට අරගෙන යනවා. පොලිසිය ගෙදරට ඇවිත් තමයි අරගෙන යන්නේ. ඒ දර්ශනයේදී තාත්තා පොලිසියට අරගෙන යද්දි අපි තුන්දෙනා අඬන්න ඕන. අපි දෙන්න මමයි වෙරෝනිකයි ඇඬුවා. ලිලී හොඳට හිනාවිවී බලාගෙන හිටියා. ඒ දර්ශනයට ලිලී අඬන්නම ඕන. අපේ තාත්තත් මේ චිත්‍රපටයේ චරිතයකට හිටියා. තාත්ත ප්‍රසන්න මාමට කිව්වා අයියේ මමත් පොලිස් ජීප් එකට නගින්නම් කියලා. එහෙම කියලා සෞම්‍ය මාමාට නගින්න ඇරලා එයාට කවර් වෙලා තාත්තත් ජීප් එකට නැග්ගා. තාත්තා ජීප් එකට නැග්ග විතරයි ලිලී අඬන්න ගත්ත. ගොඩාක් වෙලා යනකම් ඒ ඇඬුම නවත්ත ගන්න බැරි වුණා. එක සැරෙන්ම ඒ සීන් එක ඉවරයි. ඒ දර්ශනය චිත්‍රපටයේ තිබෙනවා. ඒකත් මගේ ජීවිතේ අමතක වෙන්නේ නැති සිදුවීමක්.
චන්දරේගේ වයිෆ් මරියා රඟපෑ ප්‍රථම චිත්‍රපටය නොවන බව සඳහන් කළ ඇය තමා රංගනයෙන් දායක වූ අනෙක් කලා නිර්මාණ පිළිබඳවත් සඳහන් කළා.
මම රඟපෑ මුල්ම චිත්‍රපටය ගින්නෙන් උපන් සීතල. එහි මම රෝහණ විජේවීරගේ ලොකු දුවට රඟපැවා. ඒ වගේම ඇමරිකන් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන lance oppenhein ගේ prime time ෆිල්ම් එකේ ලංකාවේ රූගත කිරීම් කළ කොටසක රඟපෑව. එය ඉදිරියට එන්න තිබෙන චිත්‍රපටයක්. ඊට අමතරව නිසංක වෙහෙරදූව මාමාගේ අප්පච්චි, කවිඳු මෙත්මල් මාමාගේ think twice, රෝෂන් ජෝෂප් මාමාගේ ශිකර කියන කෙටි චිත්‍රපටවලත් රඟපෑමෙන් දායක වෙලා තියෙනවා. තවද පූජිත ද මෙල් මාමා අධ්‍යක්ෂණය කළ පර්‌යේෂණාත්මක ළමා වේදිකා නාට්‍ය වන කුඩ හොරා සහ සිරිත් මල්දමහිත් රඟපෑව. සුනිල් කොස්තා මාමාගේ can you me ටෙලි නාට්‍යයේත් මම රඟපාලා තිබෙනවා.
චන්දරේගේ වයිෆ්ගේ ලොකුදුව ඒ අයුරින් තම කතාබහ අවසන් කරන විට මද්දුම දියණිය අප සමග මෙලෙසින් කතාබහට එකතුවුණා.
මම වෙරෝනිකා ජර්නි අප්පුහාමි. වයස අවුරුදු දොළහයි. චිත්‍රපටයේ රඟපාන කොට මගේ වයස අවුරුදු දහයයි. මමත් මිලාගිරිය ශාන්න පාවුළු බාලිකා විද්‍යාලයේ 7 වසරේ ඉගෙන ගන්නවා. චන්දරේගේ වයිෆ් මම රඟපෑ මුල්ම චිත්‍රපටය. මීට කලින් ශානක උදාර මාමාගෙ වසන්තයට පෙර වැස්සක්, රෝෂන් ජෝෂප් මාමාගේ ශිකර කෙටි චිත්‍රපටවල රඟපාල තිබෙනවා. ඒ වගේම සංතුෂ ලියනගේ මාමාගේ පෝය ටෙලි නාට්‍ය සහ ජගත් මනුවර්ණ මාමාගේ කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ චරිත කළා. පූජිත ද මෙල් මාමාගේ සිරිත් මල්දම වේදිකා නාට්‍යයේත් රඟපෑවා.
මේ තොරතුරුවලින් අනතුරුව චන්දරේගේ වයිෆ් චිත්‍රපටයයේ ඇය රඟපෑ චරිතය ගැනත් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර ගැනත් අප සමග පැවසුවා.
චන්දරේගේ වයිෆ් චිත්‍රපටයේ දෙවෙනි දුව ලෙස මම රඟපෑවා. එහි මගේ චරිතයේ නම පොඩී. එම චිත්‍රපටයේ මම රඟපෑවේ මගේම අක්කයි නංගියි එක්ක. ඊට පසුව අපේ පවුලට සුදු මහත්තයා කියලා මල්ලි කෙනෙක් එකතු වෙනවා. එතැන ඉඳලා මට රඟපාන්න තිබුණේ ටිකක් පණ්ඩිත චරිතයක්. සුදු මහත්තයා අපේ පවුලට එකතු වුණාට මම කැමැති නැහැ. ඒ නිසා මම එයාට එක එක විදියේ වෙනස්කම් කරනවා.
මෙහි රූගත කිරීම් අතරතුර සිදු වූ අමතක නොවන සිදුවීම් පිළිබඳව ඇය අප සමග පැවැසුවා.
මට සුදු මහත්තයට වෙනස්කම් කරනවා. කෑම කනකොට අම්මා එයාගේ පිඟානට බිත්තරය දාන්නේ අපට හොරෙන්. ඒ වෙලාවෙදි මම සුදු මහත්තයට ඔයාට බිත්තරයක් දීල නැහැ කියලා විහිළු කළා. ඒ වගේම මෙම චිත්‍රපටයේ රඟපාද්දි අපේ නංගි ගොඩාක් පොඩියි. ඒ නිසා එයාට කියන්න තිබුණ දෙබස් ඔක්කෝම කිව්වෙ මම.
අපි චිත්‍රපටය බලන්න MC සිනමා ශාලාවට ගියා. එහිදී නැන්දලා මාමලා අයියලා අක්කලා ගොඩාක් අය හමුවුණා. ඒ හැමෝම ඔයාගේ රඟපෑම මරුයි කියලා කිව්වා. මමයි අම්මයි අක්කයි නංගියි තමයි ගියේ. තාත්තා ආවෙ නැහැ. එයාට ෂූටිං තිබුණා. අපි ගිය දවසේ නදීෂ නැන්දයි සරත් කොතලාවල මාමායි දෙන්නත් ඇවිත් හිටියා. එයාලත් කිව්වා මහේ රඟපෑම ලස්සනයි කියලා. ඒ ගැන හරිම සතුටුයි.
නගරයෙන් ඈත්වෙලා ගම්බද ප්‍රදේශයක කළ රූගතකිරීම් කිරීමේදී පුංචි සිතට අත්විඳින්නට සිදු වූ දේ පිළිබඳව ද අප හා පැවැසුවා.
අපේ රූගත කිරීම් තිබුණේ සෙවනගල කියන ගමේ. ඒ ගම හරිම සුන්දරයි. උක් හේනක තිබුණ පුංචි ගෙදරක තමයි අපි රඟපෑම් කළේ. අපි උක් ගස් අස්සේ ගිහින් සෙල්ලම් කළා. ඒක මට නම් වෙනස්ම අද්දැකීමක් වුණා. ඒ වගේම අපි හවසට උඩවලවේ ඩෑම් එක උඩට වෙලා ගොඩාක් රෑ වෙනකම් හිටියා. අලි බලන්න ගියා. අලි පැටවුන්ට කිරි පොවනවා නම් බලන්න බැරි වුණා. ඒ දවස්වල එතැන වහලා තිබුණ නිසා.
ඉදිරියේදී තමන්ට රඟපෑමට ලැබෙන ඕනෑම චරිතයක් රඟපෑමේ ආසාවෙන් සිටින වෙරෝනිකා රඟපාන්න කැමැති විශේෂ චරිතයක් නොමැති බවත් පැවසුවා.
චන්දරේගේ වයිෆ් චිත්‍රපටයේ රූගත කිරීම්වලදී සිදු වූ අමතක නොවන සිදුවීම් ගැනද අපිට පැවැසුවා.
රෑ වෙලා ෂූටින් කරද්දි ඒ ලොකේෂන්වල තිබුණ අඳුරට මම ගොඩාක් බය වුණා. මගේ කනට කුරුමිණියෙක් ගිය වෙලාවෙත් මම හොඳටම බය වෙලා ඇඬුවා. සුදු මහත්තයාට වෙනස්කම් කළ විදිය මතක් වෙද්දි නම් තාමත් හිනා යනවා. ඒ වගේම අපි නැවතිලා හිටියේ හරිම ලස්සන හොටෙල් එකක. ඒකේ ෆූල් එකේ නෑව විදියත් අමතක වෙන්නේ නැහැ. හැමෝම එක්ක එකමුතුව හිටියා. මින් ඉදිරියෙදිත් කණ්ඩායමක් එක්ක එකමුතුව සහයෝගයෙන් කටයුතු කරන විදිය ඉගෙන ගත්තා.
චන්දරේගේ වයිෆ් චිත්‍රපටයේ චුට්ටී එහෙමත් නැතිනම් චන්දරේගේ බාලම දියණිය ගැන තොරතුරු කියන්නට ඇයගේ මව ගයාත්‍රී මහේෂා ගුණරත්න අප සමග එකතුවුණා.
ඇය ලිලී ජර්නි අප්පුහාමි මිලාගිරිය ශාන්න පාවුළු බාලිකා විද්‍යාලයේ එක වසරේ ඉගෙනුම ලබන ලිලීගේ වයස අවුරුදු හයයි. චන්දරේගේ වයිෆ් චිත්‍රපටයේ රඟපාන විට වයස අවුරුදු හතරයි. චිත්‍රපටයේ ඇය කළ රඟපෑම ගැන මේ වනවිට මතක නැහැ. ලිලීගේ මව කතාබහට එලෙසින් මුලපිරුවා.
චන්දරේගේ වයිෆ් චිත්‍රපටය බලන්න ලිලීව එක්කගෙන ගියා. ඒ ගිහින් චිත්‍රපටය බලන අවස්ථාවේදි අම්මේ මට ඒක බැලුවම දුක හිතුණා කිව්වා. මම ඇහුවා ඇයි පුතේ එහෙම කිව්වෙ කියලා චිත්‍රපටය වෙනමම රසවින්ද මිසක් මේ ඉන්නේ එයා. එයා ඒ චිත්‍රපටයේ රඟපානවා කියන්න තරම් තේරුමක් ලිලීට තිබුණේ නැහැ. සමහර වෙලාවට එයා ඉන්න දර්ශනය දකිද්දි ඒ ඉන්නේ මම නේද කියලා අහනවා. නමුත් එයා චිත්‍රපටය රසවින්දේ අමුතුම විදියකට.
ලිලී රඟපෑ මුල්ම චිත්‍රපටය චන්දරේගේ වයිෆ්. ඊට පසුව ජයශිකා පද්මසිරි අධ්‍යක්ෂණය කළ මෙරාකි සූත්‍ර කියන චිත්‍රපටයේ රඟපෑවා. එය තවම තිරගත වුණේ නැහැ. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකත් රඟපාලා තිබෙනවා යයි මව පවසනවා.
නිතරම කියන්නේ අම්මේ මම හොඳට ඉගෙන ගෙන ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා. අක්කලා වගේ රඟපෑම ගැන කතා කරන්නේ නැහැ. ඒ වුණාට ලීත් ජිම්නාස්ටික්වලට වගේම නර්තනයටත් දක්ෂයි. මම ලිලී ගැන තවත් විස්තර කිව්වේ එහෙමයි.
මේ තුන්දෙනාම උදේට මමත් එක්ක ඉස්කෝලේ යනවා. එක්කෙනෙකුට හරි හවසට අමතර පංති තිබුණොත් අපි තුන්දෙනාම එයත් එක්ක නවතිනවා. එහෙම තමයි මේ වෙනකොට දරුවන්ගේ වැඩ ටික කර ගන්නේ. ජෙහාන් හැම වෙලාවෙම ගෙදර නැහැ. ඉන්න වෙලාවට දරුවන්ගේ වැඩ ගැන සොයල බලලා හැම දෙයක්ම කරන්නේ ඔහු තමයි.
ඒ වගේම චන්දරේගේ වයිෆ් රූගත කිරීම් තිබුණේ අපිට ඉස්කොලේ නිවාඩු කාලෙදි ඒ නිසා ලිලී එක්ක මමත් ශූටිං ගියා. එහෙම ගියාට මට හැංගිලා තමයි ඉන්න වුණේ. මොකද මම පේන්න හිටියොත් ලිලී නදීෂා එක්ක ඉන්න බැහැ කියලා අඬනවා. එයාගෙ ළඟට යන්නේ නැහෑ. රඟපාන්න බැහැ කියනවා. රූගත කිරීම් අතරතුර සිදු වූ සිදුවීම් ගැන ද ගයාත්‍රී විස්තර කළා.
ඒ වගේම ලිලී හැම වෙලාවෙම හිටියේ නිදාගෙන. මෙයා කොහොමත් නිදි නම් නිදි තමයි. ඇහැරවලා ෂූටිංවලට ගන්න පුළුවන් කෙනෙක් නොවෙයි මේ චිත්‍රපටයේ ලිලී වැඩිපුරම ඉන්නේ නිදාගෙන. ඇහැ ඇරිලා ඉන්න දර්ශන තිබෙන්නේ හරිම අඩුවෙන්. මෙයා ගොඩක් පොඩි නිසා මෙයාට කියල දෙයක් කරව ගන්න අමාරු වුණා. නදීෂා ලිලී එක්ක වැඩ කරද්දි ලොකු අපහසුතාවන්ට මුහුණ දුන්නා.
ලිලී මෙම චිත්‍රපටය සඳහා තෝරා ගත් ආකාරය ගැනත් ගයාත්‍රී මතකය අවදි කළා.
ප්‍රසන්න අයියා ජෙහන්ට කතා කරලා මම චිත්‍රපටයක් කරන්න හිතාගෙන ඉන්නවා. මට ඔයාගේ ළමයි තුන්දෙනා බලන්න පුළුවන්ද කියලා අහල තිබුණා. ඉතිං මම මේ තුන්දෙනාම ප්‍රසන්න අයියගේ ඔෆිස් එකට එක්ක ගෙන ගියා. මේ තුන්දෙනා ප්‍රසන්න අයියා දැක්කෙත් එදා ඒ වුණාට හොඳට කතා කළා. මගේ චිත්‍රපටයේ රඟපාන්න ඔයාල තුන්දෙනා එනවද ඇහුවම තුන්දෙනාම එකපාරම හා කියලා කැමැත්ත දුන්නා. ෂූටිං පටන්ගන්න කලින් කීප වරක් මෙයාලට නදීෂා සහ සෞම්‍ය අයියාව හමුවුණා. එතැනදි නදීෂා ලිලීව ගොඩාක් යාළු කර ගත්තා. ඒ යාළුකම සෙට් එකේදිත් තිබුණා. ලිලී ඒ දවස්වල නදීෂාට කතා කළේත් මොට්ටු අම්මා කියලා. සෞම්‍ය අයියටත් රැවුල් මාමා කියලා තමයි කතා කළේ. මේ දෙන්නා ෂූටිං වෙලාවට නොවෙයි ඊට පසුවත් ලිලී එක්ක ලිලීට ගොඩාක් ආදරෙන් හිටියා. ඒ නිසා ලිලී එක්ක වැඩ කරන්න ඔවුන්ට පහසු වුණා වගේම ලිලිත් ලස්සනට රඟපෑවා යයි මේ කතාබහ අවසන් කරමින් ලිලීගේ මව අප සමග පැවැසුවා.