කැලුම් ශ්‍රී කියන්නේ නව පරපුරේ රංගන ශිල්පියෙක්. ඒ වගේම ජනප්‍රිය නර්තන ශිල්පියෙක්. කාලයක් තිස්සේ පුංචි තිරෙන් නිතරම දැක්ක කැලුම් දැන් අපිට දකින්න ලැබෙන්නේ ඉඳ හිටලා. කොටු ටෙලි නාට්‍යය කොටු සිනමා නිර්මාණය බවට පත් වෙන මුහුරත් උලෙළේ දී කැලුම් ශ්‍රී මුණ ගැහුණා. ඒ වෙලාවේ කැලුම් ශ්‍රී එයාගේ ජිවිතේ අලුත්ම තොරතුරු රසඳුන එක්ක බෙදා ගත්තා.
කොහොමද මේ දවස්වල තොරතුරු
මේ දවස් අලුත් සිනමා නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ එක්කම සුපුරුදු කලා කටයුතු කරගෙන යනවා.
පුංචි තිරෙන් දකින්න නොලැබෙන තරම්. ඇයි විශේෂ හේතුවක් නිසාද?
ටෙලි නාට්‍යය භාර ගන්නේ තෝරා බේරා ගැනීමකින්. අන්තිම නාට්‍යය වුණේ සික්ස් පැක් සීසන් 3 නාට්‍යය. ඒ තුළින් වෙනස්ම චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට ගියේ. ඒ නිසා හිතුවා පොඩි විවේකයක් ගන්න. මම හිතන්නෙ ඒක මම මගේ ජීවිතේ ගත්ත හොඳ තීරණයක් කියලා. මම කවදත් වෙනස්ම දේවල් තමයි කරන්න හිතුවේ. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී වෙනස්ම චරිත තුළින් දකින්න ලැබෙයි.
ඒ කියන්නේ එදාට වඩා අද වෙද්දී චරිත තේරීමක් කරනවා ද?
මම හිතනවා මගේ හැකියාවන් තවම ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න අවස්ථාව ලැබුණේ නැහැ කියලා. කලාශිල්පියෙක් විදිහට අපිට විවිධ නිර්මාණ ලැබුණොත් විතරයි අපේ හැකියාවන් පෙන්වන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා එදාට වඩා අද වෙද්දී තෝරා බේරා ගැනීම් එක්ක තමයි ඉදිරියට එන නිර්මාණවලට දායකත්වය දෙන්නේ. මට සාධාරණයක් කරන්න පුළුවන් විවිධත්වයෙන් යුතු චරිත පමණයි දැන් භාර ගන්නේ.
කැලුම් රංගනයෙන් දායක වුණු අලුත්ම නිර්මාණ එන්න තියෙනවද?
එකිනෙකට වෙනස් චරිත සහිත ටෙලි නාට්‍ය දෙකක් භාර අරන් මේ දිනවල රූපගත කිරීම් සිදුවෙනවා. ඒ නාට්‍යය දෙකේ විකාශයත් එක්ක අපි වැඩි විස්තර කතා කරමු.
දැන් නර්තනය පැත්තෙන් මුකුත් කරන්නෙ නැද්ද?
මගේ ආසාවක් තියෙනවා නර්තනය සම්බන්ධයෙන් මගේම යූ ටියුබ් නාළිකාවක් කරන්න. රංගන කටයුතු කරද්දී නර්තනය පැත්ත මඟ හැරෙනවා. මට වෙලාවක් නැතිකම තමයි තියෙන්නේ. ඒ නිසාම තමයි හිතුවේ මගේම චැනල් එකකින් මගේ නර්තන අංග ප්‍රේක්ෂකයින්ට සමීප කරන්න. ඒ වගේම නර්තනය එක්ක යන චරිතයක් කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ ටෙලි නාට්‍යයත් එන්න තියෙනවා.
සිනමාවෙන් එන්න තියෙන නිර්මාණ මොනවාද?
අසංක සායක්කාර අයියාගේ කොටු නාට්‍යය මේ වෙද්දී සිනමා නිර්මාණයක් බවට පත් වෙලා තියෙන්නේ. එහි සඳකැන්ගේ චරිතය මම කරන්නේ. ලොකු වෙනසක් වෙයි. අසංක සායක්කාර එක්ක මම වැඩ කිහිපයක් කරලා තියෙනවා. අසංක සායක්කාර කියන්නෙම දක්ෂ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්. ඔහු එක්ක වැඩ කරන්න ලැබීම ගැනත් සතුටු වෙනවා.
ප්‍රේක්ෂක ආදරේට කියන්න දෙයක් ඇති…
ප්‍රේක්ෂකයින් නිසා තමයි මම මගේ වෘත්තිය සතුටින් කරගෙන යන්නේ. අදටත් පාරේ බැහැලා යද්දී ඒ ලැබෙන ආදරේ තදින්ම දැනෙනවා. සල්ලිවලටත් වඩා මම මේ වෘත්තීය කරන්න තෝරා ගන්නේම ඒ ලැබෙන ප්‍රේක්ෂක ආදරේට. මට සතුටු වෙන්න තියෙන එකම දේ ප්‍රේක්ෂක ආදරේ ගෞරවය මැද මේ වෘත්තීය කරන්න ලැබීම. ඒ ආදරේ ලබන්න මම වාසනාවන්තයි.
නළුවෙක් නොවුණානම් කවුරු වෙන්න ඉඩ තිබුණද?
නළුවෙක් නොවුණානම්, වෙන්නේ මේකමයි කියන්න බැහැ. නමුත් මගේ ආසාවක් තිබ්බා ‘ශ්‍රීලන්කන් එයාර් ලයින්ස් කැබින් කෘ‘ එකට යන්න. ඒ කාලේ වෙද්දී නම් කොහොමද එතනට යන්නේ කියලා ලොකු අදහසක් තිබුණෙත් නැහැ. නළුවෙක් නොවුණා නම් ඒ අංශය ගැන හොයාගෙන හරි යන්න ඉඩ තිබුණා.
පවුලේ අලුත්ම විස්තර මොනවද කියලත් කියමු?
දැන් පුතා 1 වසරේ ඉන්නේ. ක්‍රීඩාවට ගොඩක් ආස දරුවෙක්. දැන් මට තේරුම් යනවා මගේ මවුපියන් අපිව හදන්න කොයි තරම් වෙහෙසක් මහන්සියක් ගත්ත ද කියන එක. තාත්තා කෙනෙක් විදියට වගකීම් සහිතයි.
අනාගත බලාපොරොත්තු මොනවාද?
පුතාගේ ඉගෙනීම හරි පිළිවෙළට වෙන්න ඕනේ, මගේ උපරිම දේ, දරුවා වෙනුවෙන්, පවුල වෙනුවෙන් කරනවා. කලාව පැත්තෙන් ගත්තම මම හොඳ නිර්මාණ කරමින් මට ආදරේ කරන ප්‍රේක්ෂකයින් පිනවීම තමයි මගේ එකම බලාපොරොත්තුව.