සවිනි යකුපිටිය කියන්නේ දැන් පුංචි තිරයේ ඉන්න දක්ෂ වගේම හරිම ආදරණීය චරිතයක්. රංගනයට එන්න කලින් එයාගේ හීනය වුණේ මොකක්ද? අද එයා ඉන්න තැනට ආවේ කොහොමද? මේ හැමදේම ගැන සවිනි අපිට කිව්වේ හරිම සැහැල්ලුවෙන්. මේ ඇය සමඟ කළ සුහද කතාබහයි…
කොහොමද සවිනි, මොනවද ඉතින් මේ දවස්වල වෙන්නේ?
පසුගිය ටිකේ අවුරුදු සමය ගතකළා, අවුරුදු උත්සව වගේම පවුලේ අයත් සමඟ අවුරුදු සැමරුවා.
කැමරාව ඉස්සරහට මුලින්ම ආපු ඒ අතීතය මතක් කරමුද?
මං මුලින්ම පටන් ගත්තේ වෙළෙඳ දැන්වීම් තමයි. ඒවා කරගෙන යන අතරතුර තමයි ටෙලිනාට්‍යය ෆීල්ඩ් එකට ආවේ..
ෆීල්ඩ් එකේ රැඳී ඉන්න යම් හැදෑරීමක් තියෙන්න ඕනේ නේද සවිනි?
අනිවාර්යෙන්ම, මම පිවිසුණෙත් යම් හැදෑරීමක් ඇතුවයි. දැනටත් හැදෑරීම් සිදුකරනවා. මේ දවස්වල කාර්යබහුල වුණත් මම චිත්‍රපට නරඹමින් රංගනය ගැන අලුත් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරනවා.
ලැබෙන ඕනෑම නිර්මාණයක් බාරගන්නවද?
නැහැ. නිර්මාණයක් භාරගන්න කලින් මම බලන දේවල් ටිකක් තියෙනවා. මට කරන්න පුළුවන් පරාසයක එය තියෙනවද කියලා බලනවා. මං බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. මෙහෙම වෙන්න ඕනේ කියලා ඒ දේවල් ටික බලනවා.
ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය ගැන මොකද හිතෙන්නේ.
ඒක කියන්න වචන නෑ.. මාරම වටින දෙයක්.. ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ඕනේ කෙනෙක්ට, ඒත් ජනප්‍රිය වෙනවා කියන්නේ නිර්මාණයක් ඇතුළේ ඒක ලොකු ජයග්‍රහණයක්.
නිළියක් නොවුණානම් සවිනි අද කවුරු වෙයිද?
මම රංගනයට පිවිසුණේ නැත්නම් මං අද ගුවන්සේවිකාවක්. මං ආස කළේ ඒකට. පස්සේ තමයි ඒක වෙනස් වෙලා රංගනයට පිවිසුණේ.
සෙට් එකේදී ප්‍රවීණයන් එක්ක වැඩ කරන එක මොන වගේ අත්දැකීමක්ද?
ප්‍රවීණයන් සමඟ වැඩ කරන්න ලැබෙනවා කියන්නේ මාරම වටිනා අවස්ථාවක්. සමහරු ඉන්නවානේ ප්‍රවීණයන් තමන්ගේ දේවල් එළියට දෙන්නේ නෑ කියන වගේ අය, හැබැයි මට හම්බුණ අයනම් එහෙම නෑ. සෙට් එකේදී, ටේක් එකකදී වුණත් ගුරුහරුකම් ලබා දීලා අපේ හැකියාව වැඩි දියුණු කරනවා.
අපි හැමෝගෙම ජීවිතවල නිහඬ වීරයෙක් ඉන්නවා. සවිනිගේ වීරයා කවුද?
මගේ ගමන පිටුපස චරිත දෙකක් ඉන්නවා. මේ අවස්ථාවේදී මාත් ඒක්ක ඉන්නේ මගේ අම්මා. හැබැයි මාත් එක්ක ඉන්න නොපෙනෙන මගේ වීරයා මගේ අප්පච්චි. එයා දැන් අපි අතර නෑ.
සවිනිට ගෙදරින් ලැබෙන සපොට් එක කොහොමද?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා තමයි හැමදේම කරන්නේ. අම්මාගෙන් ලැබෙන සහයෝගය නිසාම අද මං මේ තැන ඉන්නවා.
ආදරය දකින්නේ කොහොමද කියලා ඇහුවොත්?
ආදරය කියන්නේ හදවතට දැනෙන සුන්දර හැඟීමක්. සුන්දර වෙනවද මිහිරි වෙනවද කියලා තීරණය වෙන්නේ තමන් තෝරාගන්නා කෙනා අනුවයි. ආදරය කියන්නේ අපි හැමෝටම අවශ්‍ය දෙයක්.
ඔබ මෙතෙක් රඟපෑ චරිත ගැන සෑහීමකට පත්වෙනවද?
ඔව්, අනිවාර්යයෙන්. මං මේ වෙනකොට අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යවලට රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ටෙලිකාස්ට්වෙලා අවුරුදු ගානක් පරණ වුණත් මිනිස්සු ඒ නම්වලින් අදටත් කතා කරනවා. ඒ කියන්නෙම මම ඒක ලබපු ජයග්‍රහණයක්.
ප්‍රේක්ෂකයින් වැඩියෙන්ම ආදරයෙන් වැලඳ ගත්ත චරිතය මතකද?
මාව වැඩිපුරම ජනතාව අතරට ගියේ මාස්ටර් සර් නාට්‍යයේ අසිනි කියන චරිතය එක්ක. ඒ චරිතයට මුලින්ම කට්ටිය වෛර කළාට පස්සේ ඒක ආදරයෙන් වැලඳ ගත්තා. ඊට අමතරව ලොක්කිගේ කතාවේ තරූ කියන චරිතයට ප්‍රේක්ෂකයන් ගොඩාක් ආදරය කළා.
ඔබගේ ඉදිරි වැඩ කටයුතු ගැන කියමු?
ඉදිරියට මම අලුත් නිර්මාණ කිහිපයක වැඩ භාරගන්න සාකච්ඡා කරමින් පවතිනවා. ඉදිරියට එන්න වැඩ කිහිපයක් තියෙනවා. ඉදිරියට බලමු අපි.