ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘පට්ටි ගෙදර‘ ටෙලි නාට්‍යය කා අතරත් කතා බහට ලක් වන ජනප්‍රිය ටෙලි නාට්‍යයකි. විවිධාකාර පවුල් ඝට්ටන අතර පසෙකින් ගලා යන සුන්දර හිරිමල් ආදර කතාවක පෙම්වතිය වන ‘සඳසි‘ ඔබට මතක ඇත. පාසල් ප්‍රේමයක හැඩරුව ගෙන එන සඳසිගේ චරිතයට පණ පොවන්නේ සිත්මි ගගනි ටමාෂාය. අනාගතයේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් වීමේ සිහිනය දකින ඇය සමඟ කළ පිළිසඳරකි මේ.
ගගනි මේ දවස්වල මොකද කරන්නේ ?
ජීවිතය හොඳින් ගත වෙනවා. පට්ටිගෙදර ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසන් වුණා. ‘කන්නගී‘ කියලා අලුත් ෆිල්ම් එකක වැඩකටයුතු ආරම්භ කළා. මේ මාසේ ඉඳලා තවත් ටෙලි නාට්‍යයක වැඩවලට දින වෙන් කරලා තියෙන්නේ. මේ හැමදේම එක්ක අගෝස්තු මාසේ තියෙන උසස් පෙළ විභාගයටත් මුහුණ දෙන්න සූදානම් වෙනවා.
පෞද්ගලික විස්තර ටිකකුත් කියන්නකෝ?
මම පදිංචිව සිටින්නේ පානදුරේ. මගෙ වයස අවුරුදු 18 යි. හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. මගෙ පවුලෙ ඉන්නේ අම්මයි, අප්පච්චියි, අක්කයි, නංගියි. රූගත කිරීම්වලට මාව එක්ක යන්නේ අම්මා. මා වෙනුවෙන් අම්මා ලොකු කැප කිරීමක් කරනවා.
කලාවට සම්බන්ධ වුණු කාලය ගැන මතක් කළොත් ?
මට වයස අවුරුදු නවයෙදි දහයෙදි වගේ තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ. මගෙ අම්මගේ යාළුවෙක් හිටියා බිමාලි කියලා නැටුම් ගුරුවරියක්. එයාගේ ගෙදර තිබුණා සමන් කුමාර ලියනගේ මාමා ගේ ‘පාලි‘ ටෙලි නාට්‍යයේ චරිතයකට ඔඩිෂන් එකක්. බිමාලි මිස් මට කතා කරලා අලුත් ඩ්‍රාමා එකක චරිතෙකට ළමයෙක් හොයනවා මටත් ඔඩිෂන් එකට එන්න කීවා. ඊට පස්සේ මමත් ඒකට සම්බන්ධ වුණා. ඒ ගිය ගමනෙදි තමයි මාව තෝරා ගත්තේ.
මේ වෙනකොට ඔයා සම්බන්ධ වුණු කලා නිර්මාණ ගැන කිව්වොත්?
මේ වන විට මම ටෙලි නාට්‍ය දහයක්, දොළහක් වගේ රඟපාලා තියෙනවා. ඒ නාට්‍ය තමයි ‘පාලි, මඩොල් කැලේ වීරයෝ, අහස් මාලිගා, ඇය, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම, චලෝ, වීදුරු මල්, අනිච්චාවත සංඛාරා, පට්ටි ගෙදර, සිටුවර පුවත, මැස්සා‘ ඒ නාට්‍ය අතරින් කීපයක්. අනිච්චාවත සංඛාරා නාට්‍ය වෙනුවෙන් මට සිග්නීස් සම්මානයත් ලැබුණා. මීට අමතරව සිනමා නිර්මාණ දෙකක දැනට රඟපාලා තියෙනවා. ‘ආසු‘, සහ අලුත්ම චිත්‍රපටය වන ‘කන්නගී‘ කියන සිනමා නිර්මාන දෙක. ඩෙටෝල්, ඇන්කර් නිව්ඩේල් ඇතුළු තව පොඩි පොඩි වෙෙළඳ
දැන්වීම් කිහිපයකට රංගනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා.
ගගනි වෙනත් හැකියාවන් මොනවද?
මට නටන්න පුළුවන්. උසස් පෙළ විෂයයක් විදියටත් මම නර්තනය හදාරනවා. මං කැමතිම විෂය තමයි සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය. නිවේදනයටත් මම කැමැතියි. ඒ ගැන හැකියාවකුත් මට තියෙනවා කියලා කවුරුත් කියනවා. විනෝදාංශ විදියට චිත්‍රපටි බලන්න තමයි ගොඩක්ම කැමති. ඒ අතරින් හොලිවුඩ් චිත්‍රපටවලට මම ගොඩක් ආසයි. සිංදු කියන්නත් ටිකක් පුළුවන්.
ඔයා ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වුණු ටෙලි නාට්‍යය මොකක්ද ?
චලෝ ටෙලි නාට්‍යයේ ‘සුද්දි‘ ගේ චරිතය නිසා ප්‍රේක්ෂකයා අතර මං ගැන කතා බහක්, ජනප්‍රියත්වයක් හැදුණා. අදටත් ප්‍රේක්ෂකයෝ මගේ පිංතූර, වීඩියෝස්වලට ‘සුද්දි‘ කියලා කමෙන්ට් කරනවා. ඒ වගේම මඟ තොටේ දැක්කමත් සුද්දි කියලා කතා කරනවා. ඒ වගේම ඇය ටෙලි නාට්‍යයේ ‘මිනෝලි‘ ගේ චරිතයටත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර අදටත් තියෙනවා. ඒ චරිතය කරනකොට මම හත වසරේ.
රූගත කිරීම් අතරතුර ඔයාට මුහුණ දෙන්න වුණු අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?
අමතක නොවෙන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. ‘චලෝ‘ ටෙලි නාට්‍යයේ මේකප් ආටිස් විදියට හිටියේ මදාරා අක්කා. ඒ සෙට් එකේ හිටපු පොඩිම කෙනා මම. ඉතින් මම හැමෝටම කියනවා මාව වඩා ගන්න කියලා. මදාරා අක්කටත් මම දවසක් වඩා ගන්න කීවම එයා මාව වඩා ගනිද්දි අක්කගෙ ෆෝන් එක අතෑරුණා. ඒක ටිකක් මිල අධික ෆෝන් එකක්. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක සම්පූර්ණයෙන්ම ගියා. මං ඒක දැක්කම ඇඬුවා. අක්කා මාව වඩා ගන්න ගිහින්නේ ඒක වුණේ. ඒ සිද්ධිය මට කවදාවත් අමතක වෙන්නෑ.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද ?
ඉස්සරහට ටෙලි නාට්‍යය කීපයක්ම එන්න තියෙනවා. ‘තිස් හතර කොළනිය, අසන්දිමිත‘ ටෙලි නාට්‍ය ද්විත්වය සහ ‘කන්නගී‘ කියන චිත්‍රපටය නුදුරේදි විකාශය වෙන්න නියමිතයි.
ගගනි රඟපාන්න ආස විදියේ චරිත එහෙමත් ඇති නේද?
මේ දක්වාම මම කෙරුවේ පාසල් චරිත, දුවගේ, නංගිගේ චරිත. ඒවා ඒකාකාරි චරිත. මම ආසයි ත්‍රිලර් ටයිප් එකේ චරිතයක් රඟපාන්න.
අනාගත බලාපොරොත්තු මොනවද ගගනි ?
කලාව පැත්තෙන් ගත්තොත් මට ඕන ප්‍රේක්ෂකයාට අමතක නොවන විදියේ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න. ඊට අමතරව මම කැමතියි උසස් අධ්‍යාපන කටයුතුවලින් පස්සේ ලෙක්චරර් කෙනෙක් විදියට දැනුම බෙදා දෙන්න.
මේ ගමනෙදි අත්වැලක් වුණු පිරිසව මතක් කරමු.
අම්මා, අප්පච්චි, නංගියි, අක්කයි, මගේ පාසල වගේම මට ආදරය කරන මගේ ප්‍රේක්ෂක පිරිසව මතක් කරන්න ඕන.