අපේ රටේ කලාවට තවමත් වෙළෙඳපොළක් නැහැ - කුමුදු නිශාන්ත

gossiplanka image 1
 

ඔහුගේ සැබෑ නමට වඩා ‘මිලින්ද’ ලෙස හැඳින්වුවොත් නොදන්නා කෙනෙක් නොමැති තරම්. වයස් භේදයෙන් තොරව කොයි කාගේත් ජනාදරයට පත් මිලින්ද අපිට හමුවනුයේ මේ දිනවල විකාශය වන ‘සංගීතේ’ ටෙලි නාට්‍යය හරහාය. නමින් කුමුදු නිශාන්ත වන ඔහු නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු, තිර රචකයකු, ලේඛකයෙකු ලෙස ද විවිධ භූමිකා ඔස්සේ අප හමුවට පැමිණේ.


පසුගියදා නවතම ටෙලි නිර්මාණයක මුහුරත් උලෙළට ද සහභාගි වූ කුමුදු මේ වනවිට තවත් නිර්මාණ කිහිපයකට රංගන දායකත්වය ලබා දී තිබේ.


“පසුගිය 10 වැනිදා සාරංග මෙන්ඩිස්ගේ අලුත්ම ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ තිබුණා. ඒ වගේම තව ටෙලි නාට්‍ය 02කටත් රංගනයෙන් එක්වුණා. එකක් ඒ.ඩී. නිම්ශාන් නම් වූ නවක අධ්‍යක්ෂවරයකුගේ ‘සීතල ගිනි’ ත් අනෙක ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ තීක්ෂණ මනරම් ගේ අලුත්ම ටෙලි නාට්‍යයටත් දායක වුණා.”


කාගේත් කතාබහට ලක්වන ‘සංගීතේ’ මිලින්ද ගැන කුමුදු නිශාන්ත කතා කළේ සොම්නසින් යුතුවය.


‘මිලින්ද ගැන අද කතා නොකරන කෙනෙක් නෑ. පාරේදී මාව දැක්කත් ‘ මිලින්ද මහත්තයා’ කියා අමතනවා. මේ චරිතයේ පැති දෙක තුනක්ම තියෙනවා. චරිතය ගොඩනංවන්න පිටපතේ තිබෙන දේට අමතරව සුළු සුළු දේවල් කිහිපයක්ම මා විසින් එකතුකර ගත්තා. මගේ ප්‍රේක්ෂකයා ඒවාට හරි කැමැතියි කියලා ඒ චරිතයට ඔවුන් ප්‍රිය කරන එකෙන්ම දැනෙනවා.”


රංගන ශිල්පියෙකුට වඩා අධ්‍යක්ෂවරයකු වශයෙන් තමන්ගේ භූමිකාව ගැන ඔහු කතා කරන්නේ තෘප්තිමත් හැඟීමකිනි. රංගන ශිල්පියකු ලෙස ලද අත්දැකීම් තුළින් තිර රචනයටත් අධ්‍යක්ෂණ කාර්යයටත් පන්නරය ලද බව හෙතෙම සඳහන් කළේය. වසර කිහිපයක සිට පොහොය දින ඒකාංගික ටෙලිනාට්‍ය මාලාව අධ්‍යක්ෂණය කරන කුමුදු ඉදිරියේදී නවතම චිත්‍රපටයක් අධ්‍යක්ෂණයට ද සැලසුම් කරගෙන සිටී.


“මම අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලි චිත්‍රපටයේ රූගත කිරීම් ලබන ජුනි මාසයේ ආරම්භ කෙරෙනවා . ‘සාමිස’ යනුවෙනුයි එයට නම් තබා තියෙන්නේ. අලුතින් විවාහ පත් යුවළක් සහ සුසානභූමියක් මුර කරන තැනැත්තෙක් යන චරිත තුනක් වටායි මේ කතාව දිවයන්නේ. එසේම වසර කිහිපයක සිට මගේ අතින් අධ්‍යක්ෂණය කෙරෙන පෝ දින ටෙලිනාට්‍ය මාලාව ඉදිරියටත් කරගෙන යනවා. පෝ දින නාට්‍ය මාලාවේ කතා සංකල්පයත්, තිර රචනයත් මගේමයි. මම නළුවකු ලෙස ක්ෂේත්‍රයේ සිටින නිසා නළු නිළියන්ගේ රංගන වපසරිය හොඳින්ම දන්නවා. ප්‍රවීණ පිරිසක් මෙහි රඟපානවා. සමහර අවස්ථාවල මමත් රංගනයෙන් දායක වෙනවා. ”


කුඩා කල සිටම ලිවීමේ කාර්යයේ නිරත වූ කුමුදු නිශාන්ත, සිනමාකරණය පිළිබඳ හැදෑරීමෙන් අනතුරුව අධ්‍යක්ෂවරයකු ලෙස කලඑළි බැස තිබේ. ප්‍රසන්න විතානගේ නමැති විශිෂ්ට අධ්‍යක්ෂවරයා යටතේ සිනමාකරණය, තිර රචනය ආදිය තමන් උගත් බවත් සිනමාකරණය හැදෑරීමෙන් අනතුරුව ‘දියවක’ නමින් කෙටි චිත්‍රපටයක් ලියා අධ්‍යක්ෂණය කළ බවත් එහි අඩුපාඩු සිය ගුරුවරයා වූ ප්‍රසන්න විතානගේ විසින් සකසා දුන් බවත්, ‘දියවක’ ප්‍රංශයේ කාන්ස් චිත්‍රපට උලෙළට ඉදිරිපත් කළ බවත් ඔහු පවසන්නේය.


“‘දියවක’ 2006 දී තමයි මම නිර්මාණය කළේ . මේ එදා කාන්ස් උලෙළට තරඟ වැදුණේ චිත්‍රපට 99ක් සමඟ‍යි. ඒ උලෙළ ආචාර්ය ලෙස්ටර්, හඳගම වැනි අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ. ‘දියවක’ මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. ලිවීමේ හැකියාවත්, සිනමාකරණය උගැන්මත්, නළු නිළියන් හැසිරවීම ගැන තිබූ පරිචයත්, ප්‍රසන්න සර්ගේ ඉගෙනුම් ක්‍රියාවලියත් කුමුදු නිශාන්ත නම් අධ්‍යක්ෂවරයකු බිහිවීමට හේතු වුණා“


‘සුදු කළු සහ අළු ‘ චිත්‍රපටයේ ඔහුගේ රංගනය ප්‍රශස්ත මට්ටමේ පැවති අතර ඒ පිළිබඳ ප්‍රේක්ෂක_ විචාරක කතාබහට ද ලක්වුණි. ඔහු චිත්‍රපට බොහොමයක රඟනොපෑවද පසුගිය සමයේ සුරංග ද අල්විස්ගේ චිත්‍රපටයකත්, සංජීව පුෂ්පකුමාරගේ ‘විහඟ ගීතය’ චිත්‍රපටයටත් දායක වී තිබේ.


“රසවත් පිටපත් දෙකක් නිර්මාණය කර තිබෙනවා. ඒවා අධ්‍යක්ෂණයටත් මගේ බිරිඳගේ පියා විසින් රචිත ‘ කොග්ගල නිලමේ’ ග්‍රන්ථය ඇසුරින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණයටත් අදහසක් තිබෙනවා. මේ වන විට කාලෝචිත හා සිනමානුරූපී එම පිටපත ලියා අවසන්. එයට නිෂ්පාදකවරයකු සොයමින් ඉන්නේ ”


‘දැහැටි’ නමින් සිය පළමු නවකතාව රචනා කළ ඔහු, එහි දෙවැනි කොටස ද රචනා කරමින් සිටියි. ‘දැහැටි’ නවකතාවට අදටත් යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවත් සිය පාසල් අවධියේ ලද අත්දැකීමක් එයට පාදක කරගත් බවත් හෙතෙම සඳහන් කළේය.


“88-89 කාලයේ සිදුවූ ඛේදජනක තත්ත්වය මම අත්වින්දා. එහි සමස්තයම මෙහි නැහැ. කෙළිදෙළින් දිවි ගෙවූ තැනැත්තකුට එක් තැනකදී 88-89 අත්දැකීම් සමඟ ඔහුගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් සිදුවෙනවා. අන්න ඒ හරහායි මම ‘දැහැටි‘නවකතාව ලියන්නේ.”


රංගන ශිල්පියකු, අධ්‍යක්ෂවරයකු ලෙස කලාවට ප්‍රවිෂ්ටවීමේදී ලැබෙන සහයෝගය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත් එයට බාධා රැසක්ම තිබෙන බවත් වේදිකාව, සිනමාව රසවිඳීමට ප්‍රේක්ෂකයන් පැමිණිය ද එය කොතරම් දුරට පවතීද යන්න සැක සහිත බවත් කුමුදු නිශාන්ත පවසන්නේය.


“නිර්මාණාත්මක ලෙස අපි දෙයක් කළත්, ලිව්වත් එයට වටිනාකමක් ලැබෙන පරිසරයක් අද නැහැ. විදෙස් රටවල මෙයට හාත්පසින්ම වෙනස් ක්‍රමයක් තිබෙන්නේ සහ එහි විනිවිදභාවයක් තිබෙනවා. තවමත් අපේ රටේ කලාවට නිසි වෙළඳපොළක් නිර්මාණය වී නැහැ. වැදගත් ලෙස ඇගයුමක් නැහැ. දහදුක් විඳලා, දස වැඳුම් වැඳලා තමයි අපිට නිර්මාණයක් කරන්න වෙන්නේ. ඒක ඇත්තෙන්ම අපේ කලා ලෝකයේ ශෝචනීය තත්ත්වයක්.”

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post