රංගනයේදී මම කොටුවෙලා නෑ -මධුෂාන් හත්ලහවත්ත

gossiplanka image 1
 


දෙරණ නාලිකාවේ මේ දිනවල විකාශනය වන කොළඹ කට්ටිය ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ඔහු දක්ෂ රංගන ශිල්පියෙකි. ඔහු නමින් මධුෂාන් හත්ලහවත්ත ය.


ඔබට කොළඹ කට්ටිය ගැන හිතෙන්නේ මොනවද?


කොළඹ කට්ටිය කියල කියන්නේ මෑත කාලයේ නිර්මාණය වුණු වෙනස් විදියේ වැඩක්. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ අධ්‍යක්ෂණය, චේතනි විජේතුංග, ජනක ඉලිප්පිලිගේ සම නිෂ්පාදනය සහ තිර පිටපත සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා විසින් තමයි කරලා තියෙන්නේ. මේ වන විටත් මුල් කොටස් කිහිපය පමණයි විකාශය වෙලා තියෙන්නේ. මම හිතනවා ප්‍රේක්ෂකයන්ට වෙනස් ආකාරයේ නවමු අත්දැකීමක් අරගෙන එන්න කොළඹ කට්ටියට හැකියාව ලැබෙයි කියලා. විශේෂයෙන්ම මම නිරූපණය කරන චරිතය මම මෙතෙක් කාලයකට නිරූපණය කරලා නැති චරිතයක්. දීර්ඝ වෘත්තාන්ත ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්ගේ චරිතය. ඉතින් මම හිතනවා ප්‍රේක්ෂකයෝ මේක ආදරයෙන් වැලඳ ගනියි කියලා. නාට්‍යයේ පළමු කොටස් කීපයෙන් පවා ප්‍රේක්ෂකයන් මෙය ඔසවා තබන ආකාරය අපිට දැක ගන්න පුළුවන් වෙලා තියනවා.


‘කොළඹ කට්ටිය‘ සමඟ එක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොම ද ?


මට අවස්ථාව ලැබුණේ අපේ ශිව ගුරුනාදන් මහත්මාගේ ආරාධනය නිසයි. ඔහු මාව මේ නාට්‍යයට කාස්ට් කරලා තිබුණා. ඒ වගේම නිෂ්පාදකවරිය විශේෂයෙන්ම මතක් කරන්න ඕනි චේතනි විජේතුංග මිස්. නාට්‍යයේ මාව තියාගන්න ඇය ලොකු වෙහෙසක් ගත්තා. නාට්‍යය ආරම්භ කරන අවස්ථාවේ මම නාට්‍ය කීපයකම වැඩ කටයුතු කිරීම නිසා මගේ ෂූටින් shedule එක පොඩ්ඩක් බිසී වෙලා තිබුණේ. හැබැයි මේ චරිතය මටම ලබා දෙන්න ඇය ලොකු වෙහෙසක් ගත්තා. මම එයාව ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම සද්ධා අයියා මා සමඟ විශේෂයෙන් සාකච්ඡා කීපයක් කළා නාට්‍යයේ චරිතය සහ මේක පවත්වා ගෙන යන ආකාරය ගැන. චේතනි මිස්ටත් ගොඩක් ස්තූතියි. මම මීට පෙර ශිවා අයියගෙ සල්ලි පොකුරු, කෝලම් කුට්ටම, පිරිමි ළමයි ඇතුළු නාට්‍ය ගණනාවකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ චරිතවලට කරපු යම් සාධාරණයක් හින්දා වෙන්න ඇති මට ‘කොළඹ කට්ටිය‘ ටෙලි නාට්‍යයේ චරිතය හිමි වුණේ. මම ඒ අභියෝගය ජය ගෙන තියෙනවා ද කියන එක ප්‍රේක්ෂකයෝ තීරණය කරයි.


මොන විදිහේ චරිතයක් ද ඔබට කොළඹ කට්ටිය නාට්‍ය යේ රඟන්න තියෙන්නේ?


ඒක වෙනස්ම විදියේ චරිතයක්. දීර්ඝ වෘත්තාන්ත ටෙලි නාට්‍ය කණ්ඩායමක් ඉතාම දුෂ්කර ගමකට යනවා. ඒ ගමේ දුරකතනවලට සිග්නල් වැඩ කරන්නේ නෑ. ඒ නිසා මේ කණ්ඩායමට විවිධ දුෂ්කරතාවලට මුහුණදෙන්න සිද්ධ වෙනවා. මේ සුන්දර ගම්මානයේ ඉන්න ගමේ පිරිසත් කොළඹින් යන කට්ටියත් අතර වෙන ගැටුමේ විවිධ ස්වරූපයන් තමයි විශේෂයෙන් දකින්න ලැබෙන්නේ. ඒ වගේම අපේ ටෙලි නාට්‍ය කර්මාන්තයේ තියෙන ඇතැම් දුර්වලතා, සාධනීය ලක්ෂණ, ඔවුන්ගේ මානසික මට්ටම් මේ සියල්ලක්ම මෙහි දැක ගන්න පුළුවන්. සොලමන් අබේසේකර කියන අධ්‍යක්ෂවරයාගේ චරිතයත් විවිධ හැලහැප්පීම්වලට ලක් වෙන මානසික මට්ටම්වලින් හෙබි චරිතයක් විදියට කතා කරන්න පුළුවන්.


අධ්‍යක්ෂවරයා ඇතුළු සෙසු රංගන ශිල්පීන්ගෙන් ඔබේ චරිතයට ලැබෙන සහයෝගය මොනවගේද?


ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂවරයාත් එක්ක මම නාට්‍ය ගණනාවක වැඩ කරලා තියෙන නිසා ඔහුට මාවත් මට ඔහුවත් අඳුරගන්න පොඩි සමීප ඇසුරක් තියෙනවා. මම අධ්‍යක්ෂවරයා ළඟට යනකොට හැමතිස්සෙම අයන්නේ ඉදලා වැඩේ පටන් ගන්නේ. ශිවා අයියා මම යන්න ඕන පාත් එක කියලා දෙනවා. මම හිතනවා අපි ගොඩක් දේවල් ඔළුවට දාගෙන ගිහිල්ලා රංගන හැකියාව පෙන්වනවට වඩා බිංදුවේ ඉඳලා ගිහාම ඒ චරිතය ඉක්මනින්ම අල්ලගන්න පුළුවන් කියලා. සෙසු රංගන ශිල්පීන් එක්කත් බොහෝ කාලයක් එකම පවුලක් විදිහට වැඩ කරලා තියෙනවා. කුසල් මදුරංග, දුශේනි, පුබුදු ගමගේ විශේෂයෙන් මතක් කරනවා. මම හිතනවා මේ රංගන ශිල්පීන්ගෙන් යම්කිසි පෝෂණයක් මගේ චරිතයට ලැබෙනවා කියලා. අනිත් පැත්තට මම ඔවුන්ටත් ඒක ලබා දෙන්න කටයුතු කරනවා.


ඔබ ඉදිරියේදී රඟපෑමට කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවා ද ?


මම ගොඩක් ආස කරපු චරිත කීපයක්ම මට පහුගිය කාලේ කරපු නාට්‍යවල රඟපාන්න ලැබුණා. විශේෂයෙන්ම පිරිමි ළමයි, පාරාදීසේ වගේ නාට්‍යවල. තවත් මම ආසයි මානසික ව්‍යාධියකින් සිටින පුද්ගලයෙක්ගේ චරිතයක් කරන්න ලැබෙනවා නම්. හේතුව මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් තියෙන කෙනෙක්. මට ඒ ගැන පොඩි හැදෑරීමක් තියෙනවා සහ පොඩි ආසාවක් තියෙනවා ඒ වගේ චරිතයක් කරන්න. නමුත් ඒ වගේ චරිතයකට මට තාම ආරාධනා ලැබිලා නැහැ. විශේෂයෙන්ම ඒ වගේ චරිතයක් කරන්න ලැබුණොත් මම හිතනවා මට ඒක ඉතාම හොඳින් කරගන්න පුළුවන් වෙයි කියලා. රංගනයේදී මම කොටුවෙලා නෑ. නමුත් එක විදිහේ චරිත එක දිගට කිහිපයක් නොකර ඉන්න මම උත්සාහ කරනවා. එකිනෙකට වෙනස් චරිතවලින් ප්‍රේක්ෂකයා හමුවට යන්නයි මම කැමැති.


රංගන කටයුතු සාර්ථක කර ගන්න පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


අපේ පවුලේ ඉන්නේ මමයි, බිරිඳයි, දරුවන් දෙදෙනයි. බිරිඳ වෘත්තියෙන් නීතිඥවරියක්. ඇය බොහෝ වෙලාවට කාර්‍යබහුලයි. මට විවේකය අඩුනිසා දරුවෝ ගැන බලන්නේ බිරිය. මගේ පවුලේ අම්මා, තාත්තා, අයියා, අක්කා ඇතුළු සියලුම දෙනා මගේ රංගන ගමනට ආශීර්වාද කරනවා.


මේ වන විට රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණ ගැන කතා කළොත්?


ගිය අවුරුද්දේ මම දායක වුණු චිත්‍රපටි තුනක් පමණ දර්ශනගත වුණා. ඉදිරියේදී එන්න තියෙනවා චින්තන ධර්මදාසගේ ‘අභිසාරී‘ කියන නාට්‍යය. දිල්ෂාන් පතිරත්න විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් ඉදිරියේදී එන්න තියෙනවා. තව චිත්‍රපට දෙකකට පමණ සැලසුම් මේ වන විටත් සකස් වෙමින් යනවා.


ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අලුත් වැඩ මොනවද?


වසන්ත වන්නිනායකගේ ‘අග්නි වර්ෂා‘ ටෙලි නාට්‍යය ඉක්මනටම විකාශය වෙයි. ඒ වගේම සුදත් තිලකසිරිගේ ‘තෙරුවන් සරණයි‘ නාට්‍යය. ප්‍රගීත් ද සිල්වාගේ ‘සී.අයි.ඩී‘ නාට්‍යය. සුපුන් රත්නායකගේ ‘අලුත් සර්‘ ටෙලිනාට්‍යය වගේම භාර ගත්ත නිර්මාණ කීපයක්ම තියෙනවා. මේ නිර්මාණ තුළින් මාව ඉදිරියේදී දැක ගන්න පුළුවන් වෙයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post