මගේ අම්ම නොවේ නම් මං සේමිණීට කැමතිම නැහැ කියලා දුව කිවුවා-ඉන්දිකා සුබසිංහ

gossiplanka image 1
 


සංගීතේ සේමිණී මෙන්ම ‘සිහිනෙක තනිවෙලා’ ටෙලි නිර්මාණයේ දමයන්ති ඇගේ රංගන දිවියේ එකිනෙකට වෙනස් පැතිකඩ දෙකකි. මේ චරිත ද්විත්වයටම පණ පොවන්නේ ඉන්දිකා සුබසිංහය. ඉන්දිකා ඔබට නුහුරු නුපුරුදු වුවද සේමිණී ඔබට කිසිදා අමතක නොවනු ඇත. සේමිණී එතරම්ම ඇයට අභියෝග කළ භූමිකාවකි. මේ දිනවල ඇය දමයන්ති ලෙසින් ඉහළම ප්‍රේක්ෂක ආදරයක් ලබන්නීය. එක් පසෙකින් සේමිණී ලෙසින් දෝෂාරෝපණයට ලක්වන ඇයම අනෙක් පසින් ඒ ප්‍රේක්ෂකයාගේම ආදරය ලබන්නට තරම් වාසනාවන්තියකි. දමයන්තිගේ භූමිකාවට ඉතාම කැමැත්තෙන් පණ පොවන ඉන්දිකා එය තම සැබෑ දිවියේ චරිතයට බෙහෙවින්ම සමාන බවද පැවසුවාය. මේ දිනවල පුංචි තිරයේ මවගේ චරිතයට විවිධ පැහැයන් එක්කරන ඇය අප හා කතාබහට එක්වූවාය.


ඉන්දිකා කියන්නේ මේ දිනවල මවගේ චරිතයට උපරිම සාධාරණය ඉටුකරන රංගන ශිල්පිනියක්. මවගේ චරිතයටම කොටුවීම ගැන මොකද හිතෙන්නේ?


මෙහෙමයි. එකම භූමිකාව වුණත් ලියවෙන විදිහ එකිනෙකට වෙනස්. සේමිණී කියන්නේ කටට එන ඕන එකක් ඔහේ කියල දාන විනයක් නැති මවක් කිවුවත් හරි. එතැනදි ඇය දරුවන්, සැමියා විතරක් නෙවෙයි සැමියාගේ පියාත් අබිබවා යන චරිතයක්. එළියට බැස්සම මිනිස්සුන්ගෙන් ගුටි නොකා නූලෙන් බේරුණු අවස්ථා ගණන වැඩියි. ඒ තරමටම සේමිණී එක්ක මිනිස්සු තරහයි. දමයන්ති කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන්ම ලබන ආදරණීය චරිතයක්. මං නිවී සැනසිල්ලේ කතා කරන, හැසිරෙන එකම චරිතයත් මේක වෙන්න ඇති. මාත් ඒ චරිතයට හරිම ආසයි. මොකද ඒක මට ගොඩක්ම සමීප, මගේ ඇඟටත් නොදැනීම රඟපාන්න ලැබුණු අවස්ථාවක්. අනේ ඔයා හරිම ආදරණීයයි. අපි ඔයාට හරිම ආසයි කියලා ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. ‘කෝ ජයේ…‘ කියලත් අහනවා. ඒ වගේම මේ දෙකටම වෙනස් මවකගේ චරිතයකටත් ආරාධනා ලැබිල තියෙනවා. ඒක තවත් සුවිශේෂී චරිතයක් වේවි. ඒ නිසා මට කොහෙත්ම දැනෙන්නෙ නැහැ මං එකම චරිතයක් තුළ කොටුවෙලා කියලා.


චරිත දෙකට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරනවා නම්?


වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ සංගීතේ සේමිණීට. හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. ඒත් වැඩිපුරම ලැබෙන්නෙ බැණුම්. මුලදි මුලදි ප්‍රතිචාර ලැබුණෙම දෙස් දෙවොල් තියලා. මං එතැන කරන්නෙ තිරපිටපතට අනුව චරිතයක් නිරූපණය කිරීම විතරයි. ඒක රංගනයක් මිසක් මගේ සැබෑ ස්වරූපය නෙවෙයි. ගොඩක් මිනිස්සු ඒ චරිතය තමන්ගේ කරගන්න නිසා තමයි ඔවුන්ට එහෙම දැනෙන්නේ, කේන්ති යන්නේ. ප්‍රතිචාර දිහා බලද්දි මං ඇත්තටම ඒ චරිතයට සාධාරණයක් කරලා කියල හිතෙනවා. ඒ වගේම ‘සිහිනෙක තනිවෙලා’හි දමයන්ති කියන්නේ අසීමිත ප්‍රේක්ෂක ආදරය ලබන චරිතයක්. දමයන්ති නිසා සේමිණී ටිකක් අමතක කරන්න පුළුවන් වුණා කියලත් හිතෙනවා. එතැනදිත් සමහරු කියල තිබුණා මෙයා අරකෙ හරි නපුරුයි. මේකෙ කොහොමද මෙහෙම වෙන්නෙ… ගෑනුන්ගෙ තියෙන කපටිකම් කියලත් තිබුණා. මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර කොතරම් සාධාරණද කියලා මට තේරුණේ එක සීන් එකක තියෙනවා මං හරිම නපුරු විදිහට රුපියල් පන්දාහකින් මහී‍ගේ මූණට දමල ගහනවා. ඔය කොටස විකාශය වුණාට පහුවෙනිදා මං ගෙදර එද්දි අපේ දෝණිගෙ මූණ රතුවෙලා. දෝණි මට ඒක පෙන්නලා කිවුවා අම්මා, “ඔයා මගේ අම්ම නෙවේ නම් මං මේ ගෑනිට කැමතිම නැහැ“ කියලා. එදා නම් මට වහ කන්න හිතුණා. මොකද චරිතයට ඕන විදිහට අපි උපරිමය කරනවා මිසක් ඒකෙන් වන බලපෑම ගැන හිතන්නෙ නැහැනේ. “අම්මා, මිනිස්සුන්ට එහෙම තරහ යන එක සාධාරණයි. මේ බලන්නකො ඔයා රඟපාන හැටි“ කියලා දෝණි කිවුවහම තමයි මටත් ඒක දැනුණේ. ඊට පහුවෙනිදා ඒකට දාල තිබුණු කමෙන්ට්ස් දැකලා මාත් හොඳටම කලබල වුණා. “උඹ මැරියන්, වැළලියන්, අඩි හයක් යටට පලයන්“ කිය කියා හෙණම ඉල්ලලා තිබුණා. කමෙන්ට්ස් දෙසීය පනහක් තිබුණ නම් දෙසීයක්ම ඒ වගේ. මං බය වුණු තරම කොතරම්ද කිවුවොත් පහුවෙනිදම පල්ලියේ ෆාදර්ට කියලා යාඥාවකුත් කරව ගත්තා. පස්සේ මම ඩිරෙක්ටර්ගෙන් ඉල්ලීමක් කළා මගේ චරිතෙ බැලන්ස් කරලා දෙන්න කියලා.


සේමිණී නිසා ඔබට සැබෑ ජිවිතේත් කරදරවලට මුහුණ දෙන්න වුණා නේද?


ඔව්. මුල්ම කාලෙ මිනිස්සු මගේ දිහා බලන්නෙත් රවලා. දවසක් මං මාළු ගන්න ගිහින් වාහනෙන් බහින්න හදද්දිම එක මනුස්සයෙක් “අන්න අර ගෑනි“ කියලා මූණට කෙළ ගහන්නත් හැදුවා. තවත් දවසක ගුටි නොකා බේරුණේ අනූ නවයෙන්. අපි රෑ කෑමකට රෙස්ටුරන්ට් එකකට ගිහින් කෑම ඔක්කොමත් ඕඩර් කරලා කන්න සූදානම් වෙද්දිම වෙන ටේබල් එකක හිටපු හොඳට ඇඳ පැලඳගත් කාන්තාවක් නැඟිටලා ඇවිත් එකපාරටම මට බණින්න පටන් ගත්තා. “මේකි මහ ලැජ්ජ නැති ගෑනියක්….. තමන්ගෙ තාත්තා වගේ ඉන්න මනුස්සයට ගෙදරින් එළියට බහින්න කියනවද? … උඹලත් ගෑනුද යකෝ“ කියලා බැණගෙන බැණගෙන ගියා. දැන් මට හිනා යන්න ආවත් හිනාවෙන්න බයයි ගහයි ද කියලා දන්නෙ නෑනෙ. මගේ මහත්තයයි දරු දෙන්නයි බය වෙලා බලන් ඉන්නවා. ඒක මෙයා කරන කැරැක්ටර් එකක් විතරයි කියලා මගේ මහත්තයා පැහැදිලි කරන්න උත්සාහ කළා. ඒත් තේරුම් ගත්තෙ නෑ. “මොන කැරැක්ටර්ද මේ ගෑනි හැමදාම ඔහොමයි. මුන්ට තමයි ගහන්න ඕන. මුං ලේලිලා වෙලා ගෙවල්වලට රිංගලා පස්සේ ආධිපත්‍ය පතුරුවා ගන්නවා“ කියලා දිගටම බණින්න ගත්තා. අන්තිමට අපි ඕඩර් කරපු කෑමත් දාලා නැඟිටලා ආවා. එදා හරියටම මං ඩග්ලස් අයියට බැණලා ගෙදරින් එළියට දාන්න හදපු දවසක්. එයා ඒක බලලා ඇවිත් තමයි කුපිත වෙලා තියෙන්නේ.


ඔබ රංගනයෙන් දායක වුණු සිහිනි ටෙලි නිර්මාණය සමාජයට ලොකු බලපෑමක් එල්ල කළා නේද?


ශාන්ත සොයිසාගේ සිහිනි ටෙලි නිර්මාණයේ මව ගොඩක්ම නිවුණු කෙනෙක්. තාත්තයි පුතයි දෙන්නම කාන්තාවෝ පස්සේ යද්දි ජීවිතය ගැන හොඳටම කලකිරිලා හිටියත් ඇගේ ආදරේ වෙනසක් වෙන්නෙ නැහැ. පිළිකා රෝගයෙන් පෙළෙන සැමියව අනියම් ගැහැනිය අතහැරියත් ඇය සියල්ල දරාගෙන ඔහුගේ අන්තිම මොහොත දක්වා ඉන්නවා. කාන්තාවෝ පස්සේ ගිය පුතාටත් අන්තිමට හමුවෙන හොඳ කෙල්ල නැතිවෙන්නේ අතීතය පස්සෙන් පන්නන නිසා. අපේ අතීතය වර්තමානයට වගේම අනාගතයටත් බලපානවා කියන එක අපි හිතන්නෙ නැහැ. ඒ පණිවුඩය ඒ තුළින් දුන්නා. කොරෝනා සමයේ ගෙදරට කොටුවුණු හැමෝටම සිහිනි බලන්න අවස්ථාව ලැබුණා. ගොඩක් දෙනෙකුට තම තමන්ගේ වැරදි අවබෝධ වුණා. ඩිවෝස් වෙන්නම ගිය පවුල් කිහිපයක් මේ කතාව නිසා තීරණ වෙනස් කරගෙන තිබුණා. ඒ අය චැනල් එකට කතා කරලා ඒ බව කියලා තිබුණා. ඒක මට ලොකු සතුටක්.


ඔබ හැම අතින්ම සාර්ථක කාන්තාවක්. ඔබේ සාර්ථකත්වයට පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?


ඒක නම් විශේෂයෙන්ම කියන්න ඕන. මේ හැමදේම කරන්න මගේ පවුලෙන් මට ලොකු නිදහසක් ලැබෙනවා. මගේ දරුවො දෙන්නට වගේම ස්වාමියාටත් එහි ගෞරවය නිතැතින්ම හිමිවිය යුතුයි. මං ෂූටින් ගියාම ඔවුන් මට දුරකතන ඇමතුමක් දීලාවත් කරදර කරන්නෙ නැහැ. මට සම්පූර්ණ නිදහස ලබා දෙනවා. අනිත් පැත්තෙන් මගේ වෘත්තිය ගැන ඔවුන්ට හොඳ අවබෝධයක් තියෙනවා.


ආදරණීය කැදැල්ලක් කියන්නෙම වාසනාවක්. කොහොමද ඒ ආදරණීය හමුවීම සිදුවෙන්නේ?


ඔහු නිලංක පිගේරා. මුලින්ම ඔහු මට හමුවෙන්නේ මේ ක්ෂේත්‍රයේම නිෂ්පාදකවරයෙක් විදිහට. නමුත් අපි අතරේ ආදරයක් ඇතිවෙන්නේ ඊට පස්සෙ කාලෙක. ඒ කාලෙ ඔහුට මොබයිල් ෆෝන් අලෙවිසලක් තිබුණා. ලංකාවට කැමරා ෆෝන් එක ඇවිල්ලත් නැති කාලෙක මට කැමරා ෆෝන් එකක් ගෙන්න ගන්න තිබුණු ආසාවට කිහිප සැරයක්ම කතා කිරීමෙන් ඇතිවුණු හිතවත්කම තමයි දුරදිග ගියේ. මං ගැන වගේම මේ ක්ෂේත්‍රය ගැනත් ලොකු අවබෝධයක් තියෙන නිසා ඔහු මට උපරිම නිදහස දීල තියෙනවා. ෂූටින් ගිය වෙලාවට මං අහන්නේ ඔයා කෑවද දරුවන් හොඳින්ද කියලා විතරයි. ඔහු කියන්නෙත් ඔයාගෙ වැඩ ටික කරන් ඔයා එන්න. රෑට කෑම නැත්නම් ඒකත් කියන්න කියලා විතරයි. දරුවන්ගෙන්වත් කිසිම චෝදනාවක් නැහැ. අත්‍යාවශ්‍යම දේකදි ඇරෙන්න කතා කරන්නෙත් නැහැ. සෙට් එකට ගියහම මම ඒ චරිතය තුළම ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා බාහිර බලපෑමක් ආපු ගමන් මට ඒක කරගන්න බැරි වෙනවා. ගෙදරින් ලබාදෙන ඒ මානසික සුවය අනිත් හැමදේටම වඩා ගොඩක්ම වටිනවා. මේ වගේ සැමියෙක් සහ දරුවන් ලබන්න මම හරිම වාසනාවන්තයි. මගේ පුතා කලිඳුත් පුංචි කාලෙ වෙළෙඳ දැන්වීම් රැසකට දායක වෙලා තියෙනවා. දැන් ඔහු හෝටල් ක්ෂේත්‍රයේ හොඳ රැකියාවක් කරනවා. දුව විහංසා මේ වෙද්දි වෛද්‍යවරියක් වීමේ බලාපොරොත්තුවෙන් විදෙස් රටක අධ්‍යාපනය හදාරනවා.


කලාවට පිවිසුණු අතීතයත් සිහිපත් කරමු?


මං වෙළෙඳ දැන්වීම් ඔස්සේ කලාවට සම්බන්ධ වෙන්නේ ළමා වියේදී. රංගනයට ආරාධනා ලැබුණත් තාත්තා යන්න දුන්නෙ නැති නිසා තාත්තට හොරෙන් මං නිරූපණයට සම්බන්ධ වුණා. අම්මාත් ඒවට උදවු කළා. පළමු රංගන අත්දැකීම ලබාගන්නේ එරංග සේනාරත්නගේ ‘පතිනිවරා‘ ටෙලි නාට්‍යයෙන්. මං ගොඩක්ම ආස වුණේ නිවේදනයට. ජයවර්ධ පුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව කරන කාලේ ජාතික රූපවාහිනියට ගිය වෙලාවක නිවේදනය සඳහා ආරාධනා ලැබුණා. මුලින්ම කළේ ‘නුග සෙවණ‘ වැඩසටහන. එරංගගේම ‘හිරු සොයා‘ ටෙලියේ ප්‍රධාන චරිතයකින් නැවතත් රංගනයට පිවිසුණා. ඒත් එක්කම නාලන් මෙන්ඩිස්ගේ ‘පාරාදීසය‘ ටෙලියටත් ආරාධනා ලැබුණා. ඒ පටන් ගත්ත ගමන මේ වෙද්දි ටෙලි නාට්‍ය සියය ඉක්මවා ගිහින් තියෙනවා.


ඉදිරියේදී දකින්න පුළුවන් නිර්මාණ මොනවද?


‘තාල මණ්ඩිය‘ කියල අලුත් ටෙලියකට සම්බන්ධ වුණා. ඒක හිතාගන්නම බැරි චරිතයක්. මයුර කාරියවසම්ගේ අධ්‍යක්ෂණයක්. එලිසබත් කියන්නේ සුද්දන්ගෙන් පැවත එන පරම්පරාවක ඒ පරම්පරාව රැකගන්න වෙහෙසෙන අම්මා කෙනෙක්. හරිම ගාම්භීර වගේම දරුණු චරිතයක්. මේ දවස්වල රූගත කෙරෙනවා.


ඒ වගේම ‘රුවන් තාරකා‘ සහ ‘භ්‍රමණය‘ කියන සිනමා නිර්මාණ දෙකත් තිරගත වීමට නියමිතයි. ලංකාවේ කාන්තාවන් පස් දෙනෙක් විතරක් යොදා ගෙන කළ ‘සේයා‘ චිත්‍රපටයත් ඇතුළුව මේ වෙද්දි සිනමාපට 5කට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව වේදිකා නාට්‍ය හයකට සම්බන්ධවෙලා තියෙනවා. ලලිත් රාජපක්ෂගේ හරිම බඩු තුනක්. ප්‍රියන්ත සමරකෝන්ගේ නෝනාවරු සමඟ මහත්වරු, ප්‍රියන්ත කහපොළආරච්චිගේ බඹර රජෙක්, ජීවන් හඳුන්නෙත්තිගේ සතරවරම් වගේම මේ දිනවල අලුතින් සම්බන්ධ වුණු සයිකෝ. තවත් එකකට ආරාධනා ලැබිලත් තියෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post