මට තියෙන්නේ ඉවසීමෙන් සංවරව යන ගමනක් - ප්‍රබෝදිනි චන්ද්‍රසේන

gossiplanka image 1
 

මේ දිනවල තිරගත වන ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කරන ලද රිවර්ස්ටන් චිත්‍රපටය බැලුවොත් එහිදී නන්දිතගේ නෑනා මුණගැහෙනවා. චිත්‍රපටයේ මුල සිට කතාවෙන නෑනාව ප්‍රේක්ෂක අපට සමීප කරවන්නේ එක් සුවිශේෂී ස්ථානයකදී. ඒ නිසාම දෝ ඒ චරිතය ඉතා කුඩා ධාවන කාලයක් හිමි චරිතයක් වුවත් ප්‍රේක්ෂකයන්ට මතක හිටින චරිතයක් බවට පත්වෙනවා. අද මේ කතාබහ නන්දිතගේ නෑනා ලෙස ප්‍රේක්ෂකයන්ට සමීප වන ප්‍රබෝදිනි චන්ද්‍රසේන එක්ක


කාලයකට පසුව රිවර්ස්ටන් හරහා යළි ඔබව දකින්නේ, කොහොමද ඒ අත්දැකීම?


කාලෙකට පස්සේ තමයි මාව සිනමාවෙන් දකින්නේ. වෙඩි නොවදින ළමයි චිත්‍රපටයෙන් පසුව තමයි රිවර්ස්ටන් එක්ක එකතු වුණේ. රිවර්ස්ටන් කියන්නේ කලාත්මක අතින් ඉතා ඉහළ චිත්‍රපටයක්. මම රූපගත කිරීම්වලට නම් ගියේ ඉතාම අඩු කාලයක්. නමුත් ඒ කාලය තුළ ඉතාම දක්ෂ නිර්මාණශීලි අධ්‍යක්ෂවරයෙක් මෙන්ම අපේ රටේ ඉන්න ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පින් එක්ක කටයුතු කරන්න ලැබුණා. ඒ ගැන සතුටුයි.


චිත්‍රපටය තුළ ඔබට ලැබුණ කාලය කෙටි වුණත්, බලපු හැමෝගෙම හුස්ම නතර කරගන්න චරිතයක්නේ ඔබ, ලැබෙන ප්‍රතිචාර කොහොමද ?


ලැබෙන ප්‍රතිචාර නම් අතිශයින්ම ඉහළයි. ඒ ප්‍රතිචාර සියල්ල ගුණාත්මක ගණයේ ඒවා. ඒ ප්‍රතිචාර ආශීර්වාදයක් විදියටයි මම දකින්නේ සහ මට ඒවා දැනෙන්නේ. සමස්ත චිත්‍රපටයටත් මේ දිනවල ඉහළ ප්‍රතිචාර ලැබීම ගැන මම සතුටු වෙනවා.


වෙඩි නොවදින ළමයි ෆිල්ම් එකෙන් පස්සෙ රංගනයෙන් ඈත් වුණා ද?


නැහැ, මම රංගනය නැවැත්තුවේ නැහැ. මගේ වෘත්තීය සහ අධ්‍යාපන කටයුතු කිහිපයක නිරත වෙමින් මම හිටියේ. මට ඒ සඳහා කාලය වෙන් කරගන්න සිද්ධ වුණා.


‘වෙඩි නොවදින ළමයි’ චිත්‍රපටයේ රංගනයට සම්මානයක් ලැබෙනවා නේද?


සිග්නීස් සම්මාන උලෙළේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය මට හිමිවුණා. ඒ ගැන මට නිහතමානී සතුටක් තියෙනවා. ‘වෙඩි නොවදින ළමයි’ කියන්නේ මගේ පළමු චිත්‍රපටය.


අතීතයට පොඩ්ඩක් ගියොත්, ඉගෙන ගත්ත පාසල සහ පාසලෙදී කළ කලා කටයුතු මොනවාද කියලා මතක් කරොත්?


මම පාසල් කිහිපයකම ඉගෙන ගත්තා. කෑල්ලගම ශ්‍රී සුනන්ද මහා විද්‍යාලය, හොරණ ශ්‍රීපාලි විද්‍යාලය, කොලොන්න ජාතික පාසල යන පාසල්වල මම ඉගෙන ගත්තා. පොඩි කාලේ ඉඳලාම මම නර්තන විෂය ඉගෙන ගත්තේ. පාසලේදී සංගීත විෂයත් ඉගෙන ගත්තා. එම විෂයන් ඔස්සේ පාසල් තරග බිමේ ජයග්‍රහණ ලබා ගත්තා. නමුත් පසුව උසස් පෙළදී තමයි නාට්‍යය හා රංග කලාව විෂය ඉගෙන ගත්තේ. ඉන් පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ සහ පසුවත් නාට්‍යය හා රංග කලාව කියන විෂය ප්‍රධාන කරගෙන ඉදිරියට යන්න තීරණය කළා. මම දැන් අතිශයින්ම විශ්වාස කරනවා මම ඒ ගත්ත තීරණය හොඳම තීරණය කියලා.


චරිතයක් භාර ගනිද්දී මොන වගේ සීමාවන් ඇතුළේ ද භාර ගන්නෙ?


ඒ නිර්මාණය කොතෙක් දුරට කලාත්මක ද ගුණාත්මක ද කියන කාරණාව. ඒ තුළින් අපේ රටේ ප්‍රේක්ෂක රසඥතාව කොයි තරම් දුරට වර්ධනය කරන්න පුළුවන්ද. ඒ එක්කම මට ඒ චරිතෙට කොයි තරම් සාධාරණයක් කරන්න පුළුවන් ද කියන එක ගැන සැලකිලිමත් වෙනවා.


සිනමාවට පමණද ඔබේ කැමැත්ත, පුංචි තිරේ නිර්මාණ කරන්න ආස නැද්ද?


මුලින්ම රංගනයට එන්නේ සිනමාව හරහා. ඒ නිසා සිනමාවට මම ප්‍රිය කරනවා. නමුත් පුංචි තිරේ නිර්මාණවලට මම ආස නැහැ කියලා එකක් නැහැ. ඒ නිර්මාණවලටත් මම ප්‍රිය කරනවා.


ඔබ වෘත්තියෙන් ගුරුවරියක්නේ, කොහොමද දරුවන් එක්ක ගත කරන කාලය?


මම වෘත්තියෙන් නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරියක්. පාසල් දරුවන් එක්ක ගත කරන කාලය සුන්දරයි, තෘප්තිමත්. මට දැනෙනවා මේ විෂය හදාරන දරුවන් තුළත් විශාල කුතුහලයක් තියෙනව කලා කටයුතු සිදුවන ආකාරය දැන ගන්න. ඒ නිසා දරුවන් එක්ක ඉගැන්වීම් කටයුතු තෘප්තිමත් විදියට සාර්ථකව කරගෙන යනවා.


දැන් ඔබේ වැඩිදුර අධ්‍යාපන වැඩකටයුතු එහෙම කොහොමද?


පශ්චාත් උපාධි ඩිප්ලෝමාව මේ දිනවල සම්පූර්ණ කළා. ඒ වගේම ශ්‍රාස්ත්‍රපති උපාධියත් සම්පූර්ණ කළා. ඉදිරියේදී දර්ශනපති උපාධිය හැදෑරීමටත් මගේ අදහසක් තියෙනවා.


ඔබේ කලා ගමනට ගෙදරින් ලැබෙන සහාය කොහොමද?


මගේ අම්මා විශ්‍රාමික ගුරුවරියක්, තාත්තා විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙක්. මගේ අයියා සහ මගේ සැමියා තමයි මට ඉන්නේ. ගෙදරින් ලැබෙන අතිශයින්ම ඉහළයි. මුලදී නම් කලාවට අවතීර්ණ වෙද්දී පොඩි බයක් තිබුණා. මේ වෙද්දී නම් මට උපරිම සහයෝගය මට ලබා දෙනවා.


ඔබ ආව කලාවේ ගමන්මඟ ගැන අද මොකද හිතෙන්නේ?


ඇත්තටම සතුටුයි. මම බලාපොරොත්තු වුණු විදිහටම අධ්‍යාපන කටයුතුවලින් පසුව මට ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. මගේ රැකියාවත්, අධ්‍යාපන කටයුතුත් එක්ක ඉවසීමෙන්, සංවරව යන ගමනක් මට තියෙන්නේ. නිසා මගේ ගමන ගැන මට සතුටුයි.

gossiplanka image 1
gossiplanka image 2
Previous Post Next Post