හසදු බෝසෙන් රන්යුත් වීරසූරිය කියන්නේ දඟකාර, හැඩකාර පුංචි ළමා රංගන ශිල්පියෙක්. ඔහුගේ හුරුබුහුටි පෙනුම ප්‍රේක්ෂකයාගේ සිත් පැහැරගෙන ඇති බව නම් හොඳින්ම පැහැදිලියි. මේ දිනවල විකාශය වන ‘පට්ටිගෙදර‘ හා හිරු නාළිකාවේ ‘අම්මා‘ යන නාට්‍යය ද්විත්වයෙන් ඔබ හමු වන ඔහු සමඟ අප කළ කතා බහයි මේ.
ඔයාගේ පෞද්ගලික විස්තර ටිකකුත් කියන්නකෝ.
මගෙ වයස අවුරුදු අටයි. දාම්පේ ප්‍රාථමික විද්‍යාලයේ තුන වසරේ ඉගෙන ගන්නවා. අම්මයි, තාත්තයි, අයියයි තමා අපේ පවුලේ ඉන්නේ. අම්මා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සේවය කරලා දැනට නිවාඩු අරගෙන ඉන්නේ, මගෙයි අයියගෙයි වැඩවලට උදවු කරන්න. තාත්තා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ඉංජිනේරු උපදේශකයෙක් විදිහට වැඩ කරනවා. මගේ අයියා ඉසල, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ඉගෙන ගන්නේ.
රඟපෑමට අමතරව වෙන මොනවද ඔයාට තියෙන දක්ෂතා ?
රඟපාන්න වගේම මට සින්දු කියන්න, නටන්නත් පුළුවන්. මේ වෙනකොට මම දේශාන් හේවගේ සර්ගෙන් නැටුම් ඉගෙන ගන්නවා.
හසදු කොහොමද රඟපාන්න පටන්ගත්තෙ?
මගේ අයියත් කලාවට සම්බන්ධයි. එයත් රඟපානවා. අපි දවසක් මහරගම සිසිල නිකේතනයේ චන්ද්‍රරතන හාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියා අයියගේ වැඩකට. උන්වහන්සේ පද රචනය කළ ගීතයේ විෂුවල් එකට චූටි ගෑනු ළමයෙක් ඕන කීවා. ඒත් මාව දැක්කට පස්සේ උන්වහන්සේ අපේ අම්මයි තාත්තගෙනුයි අහලා මාව ඒ ගෑනු ළමයගේ චරිතයට ගන්නද කියලා. එතකොට මගෙ වයස අවුරුදු දෙකයිලු. ඒ විදිහට මම සෝමතිලක ජයමහ මහත්මයාගේ ‘ඇළ දොළ සුරතල්‘ කියන මවු ගුණ ගීතයට සම්බන්ධ වුණා. ඊට පස්සේ වෙළඳ දැන්වීම් වලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ඔස්සේ තමයි මට ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙන්න මඟ පෑදුණේ.
මේ වෙනකොට කරලා තියෙන නිර්මාණ මොනවද ?
“හේල්‍යාන්, අලු පාට දේදුනු, රොන්, මාස්ටර් සර්, සංසාරිණි, ඔයා කොහෙද සැන්ටා, Human errors” ටෙලි නිර්මාණ වලට මම සම්බන්ධ වුණා. ඊට අමතරව වෙළඳ දැන්වීම් රැසකටත් සම්බන්ධ වුණා.
ප්‍රේක්ෂකයා ඔයාව අඳුරගත්තේ මොන නිර්මාණවලින්ද ?
මම රඟපාපු හැම චරිතයක්ම ප්‍රේක්ෂකයාගේ සිත් ආකර්ෂණය කර ගත්තා. මුලින්ම ‘අළු පාට දේදුනු‘ නාට්‍යයේ විහාන්, ‘හේල්‍යාන්‘ නාට්‍යයේ ඉශ් කියන චරිත ඒ අතරින් විශේෂයි. දැන් නම් හැමෝම අහන්නේ ඔයා ‘පට්ටිගෙදර බිම්සර නේද?‘ කියලා. මඟ තොටදි හමුවෙන අය මට ආදරේට කතා කරන්නේ මිහි පැටියෝ කියලා. ආච්චි අම්මා තමා මගේ හොඳම සහ පළමු ප්‍රේක්ෂිකාව. එයා මම රඟපාන හැම නිර්මාණයක්ම බලනවා වගේම මට ආශීර්වාද කරනවා.
හසදු රූගත කිරීම්වලදී මුහුණ දුන්න අමතක නොවෙන සිදුවීම් මොනවද?
‘අම්මා‘ නාට්‍යයේ දී ගහෙන් වැටෙන සීන් එකක් රූගත කරන්න තිබුණා. ඒත් මම කවදාවත් ගහකට නැඟලා නෑ. ඊට පස්සේ ඩිරෙක්ටර් මාමා මාව පොඩි උසකින් තියලා ආරක්ෂිතව වැටෙන්න සැලැස්සුවා. ඒත් මට බය හිතුණා. ඉතින් මම ඇඬුවා. ඊට පස්සේ ඒ සීන් එක හරියට ආවේ නෑ කියලා අම්මා කීවා. අනතුරක් වෙන්නේ නෑ එයාව විශ්වාස කරලා, ආයෙත් ඒක ලස්සනට කරන්න කියලා අම්මා කිවුවා.
ඊට පස්සේ මම ඒක හොඳට කළා. අදටත් මතක් කරද්දි බය හිතෙනවා. අනික් සිද්ධිය තමයි ‘පට්ටිගෙදර‘ රූගත කරලා අවසන් වුණු දවස. එදා මම සෑහෙන වෙලාවක් ඇඬුවා. අනුශ්ක මාමා, අනික් මාමලා, නැන්දලා ආයෙ හම්බවෙන්නේ නෑනේ කියලා මට දුක හිතුණා. ඒ දවසත් මට අමතක වෙන්නේ නැහැ.
පාසලෙන් ලැබෙන සහය කොහොමද ?
මගේ පාසලේ විදුහල්පතිනිය වන ඉඹුලාන මැඩම්, නියෝජ්‍ය විදුහල්පතිනිය, පන්ති භාර හර්ෂනී ටීචර් ඇතුළු සියලුම ගුරුවරු මගේ කලා ගමනට ආශිර්වාද කරනවා වගේම උපරිම සහයක් ලබා දෙනවා.
මට පාසල් යන්න වෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා මඟහැරෙන පාඩම් හැම දේම ගුරුවරු කියලා දෙනවා. මගේ යාළුවොත් ගොඩක් උදවු කරනවා.
හසදු කැමතිම විෂය මොකද්ද ?
මං කැමතිම ගණිතය විෂයට. විනෝදාංශ විදිහට නම් කරන්නේ යාළුවෝ එක්ක බයිසිකල් පදින එක.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද ?
‘ගමනක් යමු‘ කියන ටෙලි නාට්‍ය, ‘මගේ සිම්බා, රාවණා, ආතුරාදරයක්‘ කියන චිත්‍රපට එන්න තියෙනවා. ඒ වගේම හොඳ කලා නිර්මාණවලට දායක වෙන ගමන් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරන එක තමා මගේ සැලසුම.
ඔයා අනාගතේ කවුරු වෙන්නද බලාපොරොත්තුව ?
මම ආසයි මගෙ තාත්තා වගේ ඉංජිනේරුවෙක් වෙන්න. ඒ වෙනුවෙන් තමා වැඩ කරන්නේ. මම රඟපාන එක අතහරින්නෙත් නැහැ.
හසදුට ස්තූති කරන්නත් පිරිසක් ඇති නේද ?
පළමුවැනි නාට්‍යයේ ඉඳලා මේ වනතුරු මාව නිර්මාණ වලට සම්බන්ධ කර ගත් සියළුම අධ්‍යක්ෂවරුන්ට, නාට්‍ය කණ්ඩායම්වල නැන්දලා,මාමලා, අයියලා, අක්කලට වගේම මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ස්තූතියි. ඒ වගේම අනුෂ්ක රසාංජන, සෙනන් විමලවීර, තුෂාර තෙන්නකෝන්, ප්‍රදීප් ධර්මදාස, කලණ ගුණසේකර, උදාර විජේසිංහ, කපිල කුමාර මාමලා හැමෝටමත්, දෙරණ වැඩසටහන් අධ්‍යක්ෂක ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා නැන්දටත් මම විශේෂයෙන් ස්තුති කරනවා. මේ හැමගෙන්ම මට හොඳ සහයක් ලැබුණා