නිමේෂ් ඇත්තටම ආදරේ කරනවද?

gossiplanka image 1
 


රෝස සුදුයි ආදරියේ, නිකිණි කුසුම්, රොකී, කළු අහස වැනි ටෙලි නාට්‍ය කිහිපයකටම තම රංගන දායකත්වය ලබාදුන් නිමේෂ් එදිරිසිංහ, මේ දවස්වල ‘ඇත්තටම මං ඔයාට ආදරෙයි’ ටෙලි නිර්මාණයෙන් දකින්න පුළුවන්. ඒ වගේම නිමේෂ්ගෙ අලුත්ම සිනමා නිර්මාණයකුත් ළඟ ළඟම එනව කියල ආරංචියි. අපි අහල බලමු මොනවද මේ විස්තර කියල.


නිමේෂ්, ‘ඇත්තටම මං ඔයාට ආදරෙයි’, මේ ගැන මුලින්ම කතා කරමු?


මේ ටෙලි නිර්මාණය අධ්‍යක්‍ෂණය කරන්නෙ ධනුෂ්ක රත්නායක. නිෂ්පාදනය කරන්නෙ අශෝක් ජයකොඩි. ඉස්සර ඉඳන්ම මම ධනුෂ්ක අයියගෙ නිර්මාණවලට ආසා කළා වගේම මගේ සිහිනයක් තිබුණා ධනුෂ්ක අයිය එක්ක වැඩක් කරන්න ඕන කියල. රංගන ශිල්පී චරිත් මධුරංග කියන්නෙ මගේ සහෝදරයෙක්. ඔහු තමයි ධනුෂ්ක අයියට මාව හඳුන්වල දෙන්නෙ. ඒ දැනහැඳුනුම්කමින් පස්සෙ ධනුෂ්ක අයිය මට වැඩකට කතා කළා. නමුත් අපිට ඒක කරන්න බැරි වුණා


අශෝක් එක්ක ඔබ මින් පෙරත් වැඩ කළා?


ඔව්, අශෝක් කියන්නෙ මගේ මිත්‍රයෙක්. මෙවර මම ඔහුගෙ නිර්මාණයකට සම්බන්ධ වුණේ තුන් වැනි වතාවට.


අයේශ් ගැන රසිකයො මොකද කියන්නෙ?


මේ ඩ්‍රාමා එක පළමුවැනි දවසෙ පැයක් පෙන්නුවනෙ. එතකොට රසිකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. දැනුත් ඒකෙ ලොකු වෙනසක් වෙලා නැහැ.


මේ ප්‍රතිචාර අතර හොඳ නරක දෙකම ඇති?


ඔව්, ආදරය කරන අයත් ඉන්නව. හොඳ කියන අය වගේම බණින අයත් ඉන්නව. තව ඉදිරියට කතාව ගලාගෙන යද්දි බණින අය වැඩි වෙන්නත් පුළුවන්.


නිමේෂ් රංගනයට යොමු වෙන්නෙ කොහොමද?


මම ‘මෑන් හන්ට් ඉන්ටර්නැෂනල්’ කියන පැජන්ට් එකට සහභාගි වුණා. එහිදී සෙකන්ඩ් රනර්අප් වෙන්න මට අවස්ථාව ලැබුණා. එතැනින් පස්සෙ මම මොඩල් ෆීල්ඩ් එකට එනව. එහි කටයුතු කරමින් ඉන්න අතරතුර මියුසික් වීඩියෝ කිහිපයක වැඩ කළා. මේ අතර 2021 අවුරුද්දෙ දෙරණ අවුරුදු කුමරා තරගයට ඉදිරිපත් වෙලා දෙවැනි ස්ථානය ලබාගන්නව. ඒ ජයග්‍රහණයත් එක්ක දෙරණ නාළිකාවේම විකාශය වුණ ‘මල් පිපෙන කාලෙ’ ටෙලි නාට්‍යයේ සුළු චරිතයකට සම්බන්ධ වෙනව. එතැන් පටන් දිගටම රංගන ක්‍ෂේත්‍රයේ වැඩ කරන්න මට අවස්ථාව ලැබෙනව.


වෙනත් නිර්මාණ මොනවද?


හේලි, රෝස සුදුයි ආදරියේ, නිකිණි කුසුම්, රොකී, කළු අහස වැනි ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒ වගේම ‘රෝස ආදරේ’ තමයි මගේ පළමු සිනමා නිර්මාණය.


මේ දවස්වල අලුත් චිත්‍රපටයකට සම්බන්ධවෙලා ඉන්නව?


ඔව්, අශෝක් ජයකොඩිගේ නිෂ්පාදනයක් ලෙසින් ශේන් ආර්යන් අධ්‍යක්‍ෂණය කරන ‘රාස්’ සිනමා නිර්මාණයට සම්බන්ධ වෙලා ඉන්නව. ෂූටිං වැඩකටයුතු ගොඩක් දුරට අවසන් වෙලා තියෙන්නෙ. වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.


දැන් නිරූපණයෙන් ඈත් වෙලාද?


ඇත්තටම මම නිරූපණය පැත්තට වඩා ඇක්ටින් පැත්තට තමයි වැඩි ඉඩක් දීල තියෙන්නෙ. මම කැමති ඇක්ටින් වලට. ඉතිං මේ දවස්වල ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නෙ.


පාසල් කාලයෙන් පස්සෙ මොකද කළේ?


පාසල් කාලයෙන් පස්සෙ අපි බෑන්ඩ් එකක් හදාගෙන, මම ඒකෙ ගායකයෙක් හැටියට කටයුතු කළා. ඉන් පස්සෙ මේ විදියට බෑන්ඩ් කිහිපයකම වැඩ කරන්න අවස්ථාව ලැබුණා.


ගායකයෙක් වෙන්නද කැමැත්තෙන් හිටියෙ?


ඔව් එහෙම ආසාවකුත් තිබුණා. නමුත් මොන පැත්තකින් හරි කලාවට එන්න තමයි කැමැත්තෙන් හිටියෙ.


බෑන්ඩ් වැඩ අතහැරියෙ ඇයි?


කාලයත් එක්ක බෑන්ඩ්වල වැඩකටයුතු ටිකෙන් ටික අතහැරිල බිස්නස් පැත්තට යොමු වෙනව. නමුත් තවත් කාලයක් යද්දි ඒකත් මගහැරිල ජොබ් එකක් කරන්න අවස්ථාව ලැබෙනව. එහෙම ඉන්න අතර නිරූපණ කටයුතුවලට යොමු වෙද්දි මට ජොබ් එක කරගන්න අපහසු තත්ත්වයක් ඇති වුණ නිසා ඒකෙන් ඉවත් වෙනව.


ඔබ ඇවිත් තියෙන්නෙ ගොඩක් තැන්වලදි වෙනස් වුණ ගමනක්?


ඔව්, හිතාගන්න බැරි විදිහට ගමන වෙනස් වුණා. නමුත් සිදු වුණ හැම දෙයක්ම වුණේ හොඳට කියලයි මම හිතන්නෙ. හැම වෙලාවෙම මම විශ්වාස කරන්නෙ වෙන්නෙ හරි දේ, හොඳ දේ කියල.


ලැබෙන ආරාධනා අතරින් තෝරාබේරා ගැනීමක් කරනවද?


ඇත්තටම මම ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්නෙ නැහැ. ඒ අතරින් තෝරාබේරා ගැනීමක් කරනව. මොකද අද වෙනකොට මම මගේම කියල ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් කරනව. ඒ වෙනුවෙනුත් මට කාලය අවශ්‍ය වෙනව.


නිමේෂ්ටත් බලාපොරොත්තුවක් ඇති?


මට තියෙන ලොක-ුම බලාපොරොත්තුව තමයි රංගනය පැත්තෙන් උපරිම දුරක් යන එක. ඒ වෙනුවෙන් කැපවෙනව. බිස්නස් එක පැත්තෙනුත් ඉලක්කයක් තියෙනව.


ජනප්‍රියත්වයත් එක්ක ආදර යෝජනාවලිනුත් අඩුවක් නැතිව ඇති?


දැනට නම් පෙම්වතියක් නැහැ. ආදර යෝජනා එනව. නමුත් මගේ මනසින් ඒ ගැන හිතන එක නවත්තල තියෙන්නෙ. මොකද එහෙම නොවුණොත් මට මගේ අරමුණට යන්න බැරිවෙනව.


නිමේෂ්ගෙ වැඩි කැමැත්ත පුංචි තිරයටද රිදී තිරයටද?


ටෙලි නාට්‍යවලට කැමතියි. නමුත් සිනමා නළුවෙක් වෙන්න තමයි ගොඩක්ම කැමති.


මේ ගමනෙදි කැපිලි කෙටිලි තිබුණද?


උඩට එන්න හදද්දි පස්සට අදින තැන් ඕනෑ තරම් තියෙනව. ඒ හැම තැනකදිම මට හිටියෙ අම්මයි තාත්තයි විතරයි. මම විශ්වාස කරන්නෙත් ඒ දෙන්නව විතරයි. ඒ ශක්තියෙන් තමයි අද ඉන්න තැනට එන්න මට පුළුවන් වුණේ. යන්න තව ගොඩක් දුර තියෙනව. ඒකත් අමාරුවෙන් හරි ඉදිරියට ඇදගෙන යනව.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post