රඟපාන්නෙ සම්මාන බලාගෙන නෙමෙයි - අංජලී ජයසිංහ

gossiplanka image 1
 




ඇය අංජලී ජයසිංහ. රංගන ක්‍ෂේත්‍රයට පය තියල කෙටි කාලයකින්ම නැගී එන නිළියට නිර්දේශ වෙන ඇය නුදුරු දිනයක රිදී තිරයෙනුත් දැකගන්න අවස්ථාව ලැබෙනව. මේ ගැන වැඩි විස්තර අපි අංජලීගෙන්ම අහමු.


අංජලී මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකකින් දකින්න ලැබෙනවා?


ඔව්, ජාතික රූපවාහිනියෙ සකි අන්තයේ රාත්‍රි 7.30ට විකාශය වන ‘නොකවුට්’ සහ සතියේ දිනවල සිරස ටීවී නාළිකාවේ විකාශය වන ‘අහංකාර ආදරේ’ යන ටෙලි නාට්‍ය දෙකෙන් මේ දිනවල මම ප්‍රේක්‍ෂකයන් හමුවට එනවා.


‘අහංකාර ආදරේ’, තාරා මොන වගේ කෙනෙක්ද?


තාරා කියන්නෙ ඉගෙනගත්ත ගැහැනු ළමයෙක් වගේම නිතී ශිෂ්‍යාවක්. ඇයට සමාජ අසාධාරණය පේන්න බැහැ. ඒවාට විරුද්ධව කතාකරන්න ගිහින් ඇය මුහුණදෙන ප්‍රශ්න සහ ඒ අතරතුර ඇයට හමුවන ආදරය ගැන තමයි තාරාගේ චරිතය තුළ දෝලනය වෙන්නෙ.


අනුපමා කියන්නෙ මොන වගේ චරිතයක්ද?


අනුපමාට පොඩි කාලෙ ඉඳන්ම අම්මගෙ සහ තාත්තගෙ ආදරේ කියන දෙකටම තියෙන්නෙ තාත්තගෙ ආදරේ විතරයි. තාත්තා බොක්සිං කෝච් කෙනෙක්. අනුපමා හොඳ ටෙනිස් ක්‍රීඩිකාවක්.


අනුපමා සහ තාරා, අංජලීට තියෙන්නෙ මොන වගේ සමානකම්ද?


මේ චරිත දෙක ගත්තාම අංජලීට සමානකම් සහ අසමානකම් තියෙනව.


අංජලී ටෙනිස් ක්‍රීඩා කරල තියෙනවද?


පාසල් යන කාලෙ මම ඇත්ලටික් කරල තියෙනව.


අනුපමාගෙ චරිතය වෙනුවෙන් වෙනම සූදානම් වෙන්න සිදු වුණා?


ඔව්, අනුපමා ටෙනිස් ක්‍රීඩිකාවක් නිසා මට ටෙනිස් ගැන අධ්‍යයනයක් කරන්න සිදු වුණා. ඒ වගේම පිටපත් රචක රසික අයියගෙ හිතේ ඉන්න අනුපමා මොන වගේද සහ රුවන් කුඩලිගම අයියලගෙ හිතේ ඉන්න චරිතය මොන වගේද කියල අපි සාකච්ඡා කළා. ඒවායේ ප්‍රතිපලයක් විදිහට තමයි අනුපමාගේ චරිතය පියවරෙන් පියවර ගොඩනැගෙමින් යන්නෙ.


ඔබ සිනමා නිර්මාණයකටත් සම්බන්ධ වුණා?


ඔව්, උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගෙ ‘මේඝ වර්ෂා’ සිනමා නිර්මාණයට තමයි මම රංගනයෙන් දායක වුණේ. පසුගිය දවස්වල ඒකෙ ඩබින් වැඩ ඔක්කොම අවසන් කළා. බොහෝ මේ අවුරුද්දෙ අගෝස්තු, නොවැම්බර් මාස ඇතුළත තිරගත වේවි කියල බලාපොරොත්තුවෙන් ඉන්නව.


පළමු සිනමා අත්දැකීම මොන වගේද?


‘මේඝ වර්ෂා’ කියන්නෙ මගෙ පළමු සිනමා අත්දැකීම. මීට කලින් රිදී තිරයට ඇක්ට් කරල නැති නිසා අභියෝගයක් තිබුණ නිසා මුලදි ටිකක් බය හිතුණා. නමුත් ප්‍රවීණයන් සියලු දෙනාගෙ සහයෝගයත් එක්ක චරිතය සාර්ථකව කරගන්න පුළුවන් වුණා කියල මම විශ්වාස කරනව.


රංගනයට ලැබෙන ප්‍රතිචාර ගැන අදහස මොන වගේද?


මෙතෙක් මම කළ චරිතවලට හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනව. ඒ හැමදෙක්ම මම සතුටින් භාරගන්නව වගේම ඒවායින් මට ඉගෙනගන්න මොනවම හරි දෙයක් තිබුණා.


සචින් ලියනගේ සමග ඔබට රඟපාන්න ලැබෙනව?


‘අහංකාර ආදරේ’ නිසා සචින් අයියත් එක්ක මට රඟපාන්න ලැබෙන්නෙ පළමු වතාවට. ඇත්තටම ඔහුගෙන් ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනව. සීන් එකක් කරන්න කලින් අපි දෙන්න කතාවෙලා, ප්‍රැක්ටිස් කරල, කතාබහ වෙලා තමයි කරන්නෙ.


මෙච්චර ලස්සනට ආදරේ කරන්නෙ කොහොමද?


නොකවුට් එකේ නම් රුවන් අයියගෙ අනුදැනුම මත තමයි ඒක වෙන්නෙ. අහංකාර ආදරේදි හසුන් අයිය තමයි ඒක කියල දෙන්නෙ.


අංජලීට පෞද්ගලික ජීවිතේ ආදර අත්දැකීමක් ඇති?


දැනටනම් නැහැ. ඉදිරියේදී එහෙම අත්දැකීමක් ලැබෙයි කියල විශ්වාස කරනව.


රඟපෑම තෝරාගන්නෙ ඇයි?


මම පොඩිකාලෙ ඉඳන් නිළියක් වෙන්න ආසාවෙන් හිටියා. නමුත් අධ්‍යාපන කටයුතුත් එක්ක ඒක මගහැරුණා. උපාධියේ වැඩකටයුතු අවසන් වුණාට පස්සෙ අහම්බයකින් වගේ තමයි රඟපෑමට යොමුවෙන්න අවස්ථාව ලැබෙන්නෙ.


දැන් අධ්‍යාපන කටයුතු අවසන්ද?


නැහැ. මේ අවුරුද්දෙ මාස්ටර්ස් පටන්ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.


ක්‍ෂේත්‍රය ගැන අදහස මොන වගේද?


රංගන ක්‍ෂේත්‍රය කියන්නෙ හැමදාම අප්ඩේට් වෙන දෙයක්. අපි එකම ආරෙකට පුරුදු වුණොත් එතැනින් එහාට ගමනක් නැහැ. ඒ වගේම සීනියර් කෙනකුගෙන් වුණත් ජූනියර් කෙනකුගෙන් වුණත් ගන්න දෙයක් තියෙනව නම් අපි ගන්න ඕන වගේම ලැබෙන චරිතය මොකක් වුණත් ඒකට සාධාරණයක් කරන්න ඕන. කැපවීම කියනදේත් අනිවාර්යයයි.


‘ලවර්ස් ලීප්’ ටෙලිය වෙනුවෙන් නැගී එන නිළියට නිර්දේශ වුණා. සම්මානය හිමි නොවීම ගැන පසුතැවීමක් තියෙනවද?


ඇත්තටම ලැබෙන චරිතයක් මම කරන්නෙ සම්මානයක් බලාගෙන නෙමෙයි. ‘ලවර්ස් ලීප්’ කියන්නෙ මට අමතක නොවෙන නිර්මාණයක්. මොකද ඒ චරිතය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ගොඩක් දේවල් ඉගෙනගත්තා. ප්‍රවීණයන් රැසක් එක්ක වැඩකරන්න ලැබුණ නිසා හොඳ අත්දැකීමක් වුණා. ඒවායේ ප්‍රතිපලයක් විදිහට තමයි මම නැගී එන නිළියට නිර්දේශ වෙන්නෙ. ඒ නිර්දේශ වීම ම මට සතුටක්.


ඉදිරියේදි දකින්න ලැබෙන නිර්මාණ මොනවද?


ශිවගුරුනාදන් මහත්මයාගෙ ටෙලි නිර්මාණයක් වගේම චිත්‍රපටයක රූගතකිරීම් පටන්ගන්න නියමිතව තියෙනව.


ඔබ දැන් නිවේදිකාවක්?


ඔව්, දෙරණ ටීවී නාළිකාවෙ ටී පාර්ටි වැඩසටහන කාලෙකට පස්සෙ නැවත පටන්ගත්තා. ඒක මෙහෙයවන්නෙ මම.


මහේෂ් එදිරිසිංහඡායාරූප – උදිත උමේෂ්

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post