සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ආසයි - නදීෂා හේමමාලි

gossiplanka image 1
අරගල කරන ගොඩාක් නායකයන්ගේ වයිෆ්ලා ගෙවල් ඇතුළේ ජීවත්වෙන්න ලොකු අරගලයක් සිදුකරනවා. හැබැයි අපි හැමතිස්සේම කතාබහ කරන්නේ කම්කරු අරගලය ගැනයි. නමුත් පළමුවැනි වරට ගෙවල් ඇතුළේ ඉන්න අපි හැමෝගෙම වයිෆ්ලා සිදුකරන අරගලය ගැන හරි අපූරුවට සිනමා කාව්‍යයක් නිර්මාණය වෙනවා. උක්ගස් එක්ක ඔට්ටුවෙන මිනිස්සුන්ගේ නායකයා වුණු චන්දරේගේ වයිෆ්ගේ කතාව කියන්නේ ප්‍රසන්න ජයකොඩි. හැමෝම බලාගෙන හිටියේ චන්දරේගේ Wife එනකම්. ඔන්න දැන් එයා ආවා, ඔයාලත් එයාව බලන්න යන්න. ඊට කලින් චන්දරේගේ වයිෆ් කියන මේ කතාවත් කියවලා බලන්නකෝ.


ඔව්. මම චන්දරේගේ වයිෆ්. මේ අවස්ථාවල නම් රටපුරා හෝල්වල තමයි ගැවසෙන්නේ. හෝල්වලට ආවොත් ඔයාලට මගේ කතාව බලන්න පුළුවන්.


ඇත්තටම මේ චන්දරේගේ වයිෆ්ද?


ඔව්. ඔව්. හැබැයි ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටයේ තමයි ඇත්තටම මම නදීෂා හේමමාලිනේ.


නදීෂාට චන්දරේගේ වයිෆ්ව දකිද්දී මොකක්ද හිතුනේ?


ඇත්තටම චන්දරේගේ වයිෆ් ගංගාව දැක්කම මම හරිම සංවේදී වුණා. ඒක මම කාලෙකට පස්සේ දැකපු වෙනස්ම ශානරයක චිත්‍රපටයක්. ඒක නිසාම මගේ ඇස්දෙකට සතුටු කඳුළක් ආවා.


ගංගා වගේ චරිත නදීෂාට අනන්තවත් මුණගැසිලා ඇති. ඔබ කොහොමද ගංගාට අනුගත වුණේ?


විශේෂයෙන්ම ඒ ගැන කතාබහ කරන්න ඕනෑ. ගංගාව ගොඩනැගුවේම ප්‍රසන්න ජයකොඩි. මගේ අතට පිටපත ලබා දෙද්දී මට ඕනෑ නදීෂාව නෙමෙයි, නදීෂාට හිමි යම් කිසි ගුණාංග කිහිපයක් ඇය සතුව තියෙනවා. නමුත් මට ඕනෑ මෙන්න මෙයාව, පොළවේ පයගහලා ඉන්න ගැහැනිය කියලා ප්‍රසන්න කිව්වා.


මගේ නිළි වෘත්තියට අමතරව සාමාන්‍ය ජීවිතයට ආවහම මමත් පොළොවේ පයගහලා ජීවත්වෙන ගැහැනියක්. ඉතාම සැහැල්ලුවෙන් ජීවත්වෙන්න උත්සාහ කළාට මේක සාමූහික වැඩක්. විශේෂයෙන් කියන්න ඕනෑ මගේ අංග රචක ශිල්පියා මනනුවන් මගේ ඇඳුම් නිර්මාණ ශිල්පිනිය අමා. විශේෂයෙන්ම මේ රූපරාමු සියල්ලම කැමරාවට හසුකර ගත්තේ චන්දන ජයසිංහ මහත්මයා. දර්ශන තලයේ ඉඳලා තනියම ගංගාව ගොඩ නැගෙන්නේ නැහැ. විශේෂයෙන්ම සෞම්‍ය ලියනගේ නිර්මාණය කරන චන්දරේගේ චරිතය වගේම අනෙක් හැමෝම නිර්මාණය කරනු ලබන කිසිම චරිතයක් පොඩි චරිත නෙමෙයි. හැම චරිතයක්ම සුවිශේෂී වූ දායකත්වයක් ලබාදුන්නා මේ ගංගාව ගොඩනැගීමට.


ගංගා ගේ කතාව කියවාගෙන යනකොට මොනවගේ හැඟීමක්ද ඇති වුණේ?


කියවන කොට තිබුණ මානසිකත්වය එකක්. හැබැයි අපි කතා කරලා දර්ශන තලයට ගියහම ඒ රූපරටා ඇතුළේ තව තව දේවල් මැවෙනවා.


ඔබ කියවපු ගංගාව රූගත කිරීම් සිදුකළ උත්සාහය මැද්දෙත් දුටුවාද?


ඇත්තටම ඒ වගේ ගංගලා මම ගොඩක් දැක්කා. අපි මේ වගේ පරිසරයකට සාමාන්‍යයෙන් යන්නේ විනෝද චාරිකාවකට විතරයි. නමුත් ඒ පරිසරයේ ජීවත්වෙන වෙනම පිරිසක් ඉන්නවානේ. ඒ පොළොවේ ඇත්තටම රියල් ගංගලා ජීවත් වෙනවා. ඔවුන්ව දැක්කහම මටත් හරි ආඩම්බරයක් ඇතිවෙනවා. විශේෂයෙන්ම ගංගා කියන්නේ මේ මුළු ලෝකයේම මාතෘත්වය පිළිබඳව කතාබහ කරන චරිතයක්. අපි හැමෝටම උරුම මාතෘත්වයක් තියෙනවා. මම පිටපත කියෙව්වාට වඩා දර්ශන තලයට ගියහම විශේෂ පෝෂණයක් ලැබුවා.


ඔබට ගංගාට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වේවි කියලා අදහසක් එහෙමත් ආවද?


ගංගාව නිර්මාණය කරන්න ලේසි වුණේ නැහැ. මොකද ප්‍රසන්න ජයකොඩි මහත්මයා කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි විදේශීය චිත්‍රපට පිළිබඳවත් හසල දැනුමක් තියෙන අධ්‍යක්‍ෂවරයෙක්. ඔහුත් සමග වැඩකරන්න ලැබීම මට ලොකු භාග්‍යයක්. මීට කලින් මට අවස්ථා කිහිපයකදී ඔහුත් සමග වැඩකරන්න ආරාධනා ලැබුණා. නමුත් මට වැඩ කරන්න හම්බවුණේ නැහැ. නමුත් මේ නිර්මාණය මට ලබාදෙනකොට මම හිතුවේ කොහොම හරි මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න ඕනෑ කියලයි. ඊට පස්සේ තමයි මම මේක කරනවා කියලා තීරණය කළේ.


එහෙම තීරණය කළාට පස්සේ මාව යම්කිසි විදිහකට දැකලා තියෙනවානේ. එතැනින් ඔබ්බට යමක් හිතන්න මට සිද්ධ වුණා. අපි සාකච්ඡා කළා සමහර වෙලාවට. මට අභ්‍යාස දුන්නා මෙන්න මෙතැනින් නදීෂාව කැඩිලා ගංගාව මතුවෙන්න ඕනෑ කියලා. ඒ පුහුණුවීම් කරන කොට මම දවසක් කිව්වා අයියෝ මම මෙච්චර චිත්‍රපට කරලා තියෙනවා. අවුරුදු විසි ගණනක අත්දැකීම් තියෙනවා. නමුත් මේක ලේසි නැහැනේ කියලා.


චන්දරේගේ Wife ‘ගංගාව’ දාලා යන්න හිතුන අවස්ථාත් තිබුණා. එහෙමද?


මුල් අවස්ථාවල ‘චන්දරේගේ Wife ගංගාව දාලා යන්න හිතුන අවස්ථාත් තිබුණා. හැබැයි දර්ශන තලයට ගියාට පස්සේ ඒ සියල්ලම වෙනස් වුණා. ගංගා වෙන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ කාලය පුරාවටම ඒ පරිසරයේ තමයි ජිවත් වුණේ.


ඉතිං උදෙන්ම නැගිටිනවා. මට පුංචි දරුවෝ එක්කමයි වැඩ කටයුතු තිබුණේ. ඒ වගේම දරුවන්ට අමතරව මට සුරතල් බලු දරුවෙක් මුණගැසුණා. අපි එයාවත් චිත්‍රපටයේ වැඩකටයුතුවලට එකතු කරගත්තා. ඒ දර්ශන තලය මගේම ගෙදර කියන හැඟීමක් ආවා. මට ඒක ඇතුළේ ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා කිව්වොත් නිවැරදියි.


උත්සාහයක් මැද්දේ හරි අපූරුවට ගංගා බයිසිකල් පැදගෙන යනවා. පුළුන් කොට්ට එක්ක ඔට්ටුවෙනවා. හරි අපූරුයි නේද?


චන්දරේගේ Wife ‘ගංගා’ දිරිය කාන්තාවක්. අපි හැමෝගෙම ජීවිත ඇතුළේ ගංගා කෙනෙක් ජීවත්වෙනවා. මම හිතන්නේ ඒ ගංගා සියලුම කාන්තාවන්ට පොදු ගුණාංග තියෙන කාන්තාවක්. ඉතිං පවුලක් පෝෂණය කරනවා, පවුලක් කළමනාකරණය කරනවා කියන්නේ ලේසි කර්තව්‍යයක් නෙමෙයි.


ඇය ගමේ ඉන්න රූප සුන්දරියක්. ඇයට වටේ පිරිමින්ගෙන් ලැබෙන ආකර්ෂණය, තමන්ගේ ආත්මගරුත්වය ආරක්ෂාකර ගෙන දරුවන්ට සියයට සියයක් මවුත්වය ලබාදෙන්න පුළුවන් කාන්තාවක්. ඉතිං මම හිතනවා ඒ ගුණාංගයත් සියලුම කාන්තාවන් සතු පොදු ගුණාංගයක් කියලා. ඉතිං ඒක පිළිඹිබු කරනවා කියන එක මම හිතන්නේ අපි කාටත් ජීවිතයේ කොහේ හරි කොණක රැඳිලා තියෙනවා. මම හිතනවා මටත් ඒක උරුමයි. ඒක මට තවත් ඔපමට්ටම් කරන්න චන්දරේගේ Wife හරහා පුළුවන් වුණා.


චන්දරේගේ වයිෆ් ඔබේ සිනමා දිවියේ හැරවුම් ලක්‍ෂයක් කියලා හිතනවාද?


මම හිතනවා චන්දරේගේ වයිෆ් කියන්නේ මගේ සිනමා ජීවිතයේ ලොකු හැරවුම් ලක්‍ෂ්‍යයක් කියලා. ඒ අතුරින් සෞම්‍ය ලියනගේ මහත්මයත් නළු- නිළි වරණයේදී තෝරගත්තාට පසුව මට ලොකු අභියෝගයක් වුණා ඔහුත් සමග වැඩ කිරීමට. මොකද ඔහු මේ ක්‍ෂේත්‍රයේ ඉන්න දැවැන්ත දක්ෂ ප්‍රතිභාපූර්ණ රංගධරයෙක්. ඉතිං එයත් එක්ක ස්ක්‍රීන් එක ෂෙයාර් කරනවා කියන එක කොහොම වෙයිද කියන අභියෝගය මට තිබුණා. නමුත් දර්ශන තලයට එන්න කලින් ඉඳලා අපි හම්බවුණු සාකච්ඡාවලදී මට තේරුණා ඔහු හරි ඉතාම සරල සුහදශීලී කෙනෙක් කියලා. ඉතිං මම සන්තෝෂ වෙනවා. ඒ දරන මහාචාර්ය පදවියද අනෙක් වැඩ කටයුතු එක්ක ඔහු දරන තානාන්තරයන් සියල්ල පසෙකලා ගංගාගේ චන්දරේ වෙලා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතිං මම ඔහුට ස්තූතිවන්ත වෙනවා ඔහු ලබාදුන්න


සහයෝගයට. ඔහු ඒ ලබාදුන්නු සහයෝගය නිසයි චන්දරේගේ වයිෆ් ගංගා ගැන මෙච්චර කතාබහ වෙන්නේ.


මෙහි අම්මා විදිහට බත් කවන දර්ශනය වගේම ආගන්තුක පුතාට බිත්තරය ලබාදීම ද, සිරගෙදරින් තාත්තා එනකොට මම ගෙදරින් යන්න ඕනෑ කියලා අසන ප්‍රශ්නයට ලබාදෙන පිළිතුරු ඒවා මේ නිර්මාණයේ හරි සංවේදී දර්ශන?


මම හරිම සංවේදී අම්මා කියන මාතෘකාවට ආවට පස්සේ. මොකද මම පුංචි කාලේ ඉඳලා මගේ අම්මයි තාත්තයි විදේශගතවෙලා හිටියේ. ඉතිං ගොඩාක් වෙලාවට මට ඒ දෙදෙනාගේම ආදරය මිස් වුණා. අම්මා කියන වචනය ඇහෙද්දීම මම හරියට සංවේදී වෙනවා. මගේ ඇස්වලට කඳුළු එනවා. ඒ ආදරය වචනයකින් කියලා නිමකරන්න බැහැ. මෙතැනදීත් එයා යන්න ඕනෑද කියලා අහනකොට මට තදින් ඒක දැනෙනවා. අම්මා නැති වෙනකොට ඒ හැඟීම කොහොමද කියන එක මට තදින්ම දැනුණා. ඉතිං මම හිතනවා ඒ දර්ශනය ඒ තරම් සාර්ථක වුණේ ඒක හින්දා වෙන්න ඇති.


ඔබ තිරයේදී හරි අපූරුවට අම්මාට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා?


මේක අපේ කතාවක්. මේක අපි පොදු සමාජය ගැන කතාවෙන කතාවක්. මේ සමාජයේ චන්දරේලා ඉන්නවා. මේ සමාජයේ ගංගලා ඉන්නවා. මේ සමාජයේ මගුරලා ඉන්නවා. මේ සමාජයේ මරියලා ඉන්නවා. මේ ඔක්කෝම අපේ කතාව. හැම කෙනාටම කොතැනින් හරි මේකට පෑහෙන්න කතාවක් තියෙනවා.


මොකද ප්‍රසන්න, ඔහු නිර්මාණකරණයේ යෙදෙන ශානරයෙන් බැහැරව පළමුවතාවට තමයි මෙවැනි ශානරයෙකින් චිත්‍රපටයක් ඉදිරිපත් කළේ. ඉතිං මම චිත්‍රපටය ගැන කතාබහ කරන්න යන්නේ නැහැ. චිත්‍රපටය ප්‍රේක්ෂකයන් සිනමාහලකට ගිහිල්ලා නරඹලා ඔවුන්ගේ දෙබස් එක්ක ඔවුන්ගේ කතාවත් එක්ක ගළපා ගන්න එකයි මගේ පෞද්ගලික විශ්වාසය. මම හිතනවා චන්දරේගේ වයිෆ් කියන්නේ මේ මුළු සමාජයේම තියෙන අපි අපි ගැනම කතාබහ වෙන කතාවක් කියලා.


ඔබ මොන තරම් වටිනා චරිත නිරූපණය කළත් වැඩි කතාබහක් නැතිව බොහොම නිහඬව ඉන්නවා. ඇයි ඒ?


මම කරන නිර්මාණ ගැන විතරක් කතා කළොත් ඇති කියලා හිතනවා. මගේ පෞද්ගලික ජීවිතය මට ලැබෙන්න ඕනෑ. මම වෘත්තීමය වශයෙන් රංගන ශිල්පිනියක්. එතැනදී මම වෘත්තිය කරලා ගෙදර ආවට පස්සේ සාමාන්‍ය කෙනෙක්. ඉතිං මට වෙනමම ලෝකයක් තියෙනවා. වෙනමම ජීවිතයක් තියෙනවා. මම හරි කැමැතියි නිදහසේ සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න. ඉතිං මම ඔය සමාජයේ ඉතාමත්ම අඩුවෙන් තමයි භාවිතා කරන්නේ. ඉතිං ඒක ප්‍රයෝජනවත්. මම ඒක කොයිම වෙලාවකවත් බැහැර හරින මාධ්‍යයක් නෙමෙයි. නමුත් මට ඒකටම එච්චර කාලය විඩංගු කරන්න අපහසුයි.


ඔය නිහඬ බව වෙලාවකට අපරාධයක් කියලා හිතෙන්නේ නැතිද?


මම ඇත්තටම ගමේ හැඳුණු වැඩුණු කෙනෙක්. මම කොළඹ ආව කෙනෙක්. මම හැම වෙලේම මාව හඳුන්වන්න කැමැති දිරිය කාන්තාවක් විදිහට. මම ඒක හැම වෙලේම නියෝජනය කරනවා. අපේ සමාජයේ හැම කාන්තාවක්ම මුහුණ දෙන ගැටලු වගේම, හැම දෙයක්ම මමත් අත්විඳිනවා. ඉතිං ඒ හැමදෙයක්ම මට සමීපයි. මම හිතනවා ඒකට තමයි සාමාන්‍ය ජීවිතයට ආවට පස්සේ පොඩ්ඩක් සද්ද නැතිව ඉන්නේ කියලා. මම කරන නිර්මාණ හරහා සමාජයට යම්කිසි පණිවුඩයක් ලබාදෙන්න පුළුවන් නම් ඒක තමයි වඩාත්ම වැදගත් වන්නේ කියලා. කතාවට වඩා වැඩකරන එක ඊට වඩා වටිනවා කියලත් හිතනවා. මම හිතන්නේ නැහැ මම කතාවට වැඩිය දක්‍ෂ ඇති කියලා. ක්‍රියාවෙන් යම්කිසි දෙයක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒක හින්දයි නිර්මාණවලින් මෙහෙම ඇවිත් මගේ පාඩුවේ මගේ වැඩ ටික කරලා ඒ ගැන විතරක් කතා කරන්නේ.


දිනේෂ් විතානඡායාරූප – හසිත නිලුපුල්

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post