චන්දරේලා අරගල කරන්නේ ශ්‍රමය සූරා කෑමට විරුද්ධවයි…නදීෂා එක්ක රඟපාන්නේ පළමු වතාවටයි
උක්ගසේ තිබෙන පැණි රස තරම් රහක් උක්ගස් එක්ක හැප්පෙන ජීවිතවල නැහැ. උක්ගස් එක්ක හැප්පිල මිනිස්සු උපයාගත්තු දෙයක් මිස උද්ඝෝෂණය කරල දිනාගත්තු දෙයක් නැහැ. චන්දරේ කියන්නේ අන්න එහෙම චරිතයක්. උක්ගස් එක්ක හැප්පුන ජීවිත වෙනුවෙන් අරගලයක් කරපු චන්දරේ හිරේ ගියාට පස්සේ එයාගේ Wife එක්ක දරුමල්ලෝ ජීවත් කරවන්න අන්තිමේ පිහිට වුණේ පුළුන් ගහක් විතරයි. පුළුන් හුළඟේ ගියාට කොට්ට හුළඟේ යන්නේ නැහැ. ඉතිං චන්දරේගේ Wife පුළුන් කොට්ට එක්කයි ඔට්ටු වෙන්නේ. හැමෝම කතාබහ වෙන චන්දරේ කවුද? චන්දරේ කවුද කියලා දැනගන්න නම් සිකුරාදා ඉඳලා සිනමාහල්වලට ගොඩවුණු ‘චන්දරේගේ Wife’ බලන්නම වෙනවා. ප්‍රසන්න ජයකොඩි කාලෙකට පස්සේ කරපු වෙනස්ම වැඩක්. ප්‍රසන්න හොයාගත්තු චන්දරේගේ Wife කතාවේ චන්දරේ එක්කයි මේ කතාබහ. ඔහු වෙන කවුරුත් නොවේ, අපට සිටින දක්‍ෂ, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන මහාචාර්ය සෞම්‍ය ලියනගේ.
සෞම්‍ය ලියනගේ නමැති රංගධරයාව අපට මේ දිනවල මුණගැසෙන්නේ චන්දරේ ලෙසින්. චන්දරේව ඔබට කොහොමද මුණගැසුණේ?
මම රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටය තමයි චන්දරේගේ Wifeග ඒක ලංකාවේ ප්‍රකට තරුණ සිනමා අධ්‍යක්‍ෂවරයෙක් සහ රචකයෙක් වන ප්‍රසන්න ජයකොඩිගේ නවතම සිනමා නිර්මාණයයි. ඉතිං මම ප්‍රසන්න සමග බොහෝ කාලයක් වැඩ කරල තියෙනවා. විවිධ අවස්ථාවලදී මම ප්‍රසන්න සමග ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කරල තියෙනවා. නමුත් ටික කාලයක් මම ටෙලි නාට්‍ය කලාවෙන් ඈත්වෙලා හිටියා. ඒ වුණාට සිනමාවේ සහ වේදිකාවේ දිගටම වැඩ කළා. ප්‍රසන්න සහ මා අතරේ තියෙන අවබෝධය වගේම ඔහු අධ්‍යක්‍ෂවරයෙක් හැටියට මට ඔහු පිළිබඳව තිබෙන අවබෝධයත් නළුවෙක් හැටියට ඔහුට මා පිළිබඳව තියෙන අවබෝධයත් හින්දයි චන්දරේව නිරූපණය සඳහා මට ආරාධනාව ලැබෙන්නේ.
එතකොට මේ චිත්‍රපටයේ චන්දරේ, චන්දරේගෙ Wifeල චන්දරේගේ පවුල තමයි කේන්ද්‍රය වෙන්නේ කතා තේමාවට?
ප්‍රසන්න ජයකොඩිගේ සිනමාවේ තිබෙන එක ලක්‍ෂණයක් තමයි ඔහු යම් කතා තේමාවක් තෝරාගන්නකොට ඒ කතා තේමාවට අදාළ චරිත ඔහු පිහිටුවන යම් භූමියක් තියෙනවා. කොහොමටත් මිනිස්සු ජීවත්වන්නේ විවිධ සමාජ භූමි ප්‍රදේශවල තමයි. මම මේකෙන් අදහස් කරන්නේ ප්‍රසන්න අඳින චිත්‍රයේ පසුබිම, භූමි කලාපයේ ඉතා වැදගත් භූමිකාවක් නිරූපණය කරනවා සිනමා කෘතිය ඇතුළේ. මේ චිත්‍රපටයේ ඒ භූමිකාවට ප්‍රධාන පසුතලය කියලා කියන්නේ, චන්දරේ සහ චන්දරේගේ Wife ජීවත්වන වටපිටාවයි. ඒක සුවිශේෂී රූපකයක් සහ සුවිශේෂී භූමියක්. ඒ තමයි අක්කර සිය දහස් ගණනකින් යුත් උක් වගාවක් සහිත භූමි ප්‍රදේශයක්. එතකොට මේ අක්කර දහස් ගණනකින් යුත් තෙරක් නොපෙනෙන උක් වගාවක් මැද ජීවත් වන මිනිසුන් ගැහැනුන් කිහිපදෙනකුගේ කතාන්දරය තමයි චන්දරේගේ Wife චිත්‍රපටය තුළින් ප්‍රකාශයට පත්වෙන්නේ.
චන්දරේගේ Wife පිටපත අතට අරගෙන චන්දරේගේ කතාව කියවනකොට ඔබට මොනවාගේ අදහසක්ද ආවේ?
මම පිටපත අතට අරගෙන චන්දරේව අධ්‍යයනය කරන අවස්ථාවේදී මට චන්දරේව තේරුම් ගැනීමේ දුෂ්කරතාවක් තිබුණේ නැහැ. මොකද චන්දරේලා අපේ සමාජය ඇතුළේ අපි බොහෝ වේලාවට දැකලා තියෙනවා. එක්තරා විදිහකට ගත්තොත් ඔහු කම්කරු වෘත්තිකයෙක්. හැබැයි ඒ වෘත්තියට දේශපාලනය පිළිබඳව අවබෝධයකුත් තියෙන, දේශපාලනය කරන, කම්කරු නායකයෙක්. මොකද උක් කර්මාන්තශාලාව ඇතුළේ ඔහු කම්කරුවෙක් විධියට වැඩකරන අතරතුර උක් කර්මාන්තශාලාවේ වැඩ කරන ශ්‍රමිකයන්ගේ අරගල නායකයෙක් විදිහටයි මේ චරිතය ගොඩනඟලා තිබුණේ.
ඒකට පසුබිම් වෙන්නේ ප්‍රසන්න ජයකොඩිට සැබෑ ජීවිතය තුළ අත්විඳි සමාජ දේශපාලන කරුණු කාරණාත් මේකට අදාළ වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද ඒක මටත් එසේම අදාළ කරගත හැකියි. අපි ජීවත්වෙච්ච සමාජ වටපිටාව ඇතුළෙත් අපි දැක්කා ඒ වගේ චන්දරේලා හිටියා. ඇත්ත වශයෙන්ම සමාජයේ පහළ ස්ථරයක ජීවත් වුණාට යම්කිසි විදිහකට දේශපාලනය පිළිබඳව අවබෝධයක් තිබුණා. සමාජ සාධාරණත්වය වෙනුවෙන් ජීවන විමුක්තිය වෙනුවෙන් අරගල කරන, අරගලයට ප්‍රවේශ වෙලා ඉන්න කොට්ඨාසයක් තමයි චන්දරේලා කියන්නේ. හැබැයි මේ චිත්‍රපටයේ චන්දරේ එසේ වුණාට ඒ චන්දරේගේ සමාජය ඇතුළේ වගේම ෆැක්ටරිය ඇතුළේ කරන දේශපාලනය පිටුපසින් ඉන්න වයිෆ්ලා ගොඩාක් ඉන්නවා. එහි සංකේතයක් තමා ගංගා. චන්දරේලාගේ ජීවන අරගලයත් දේශපාලන අරගලයත් පිටුපස නිවස ඇතුළේ දරු මල්ලන් හදා ගැනීම සහ අනෙකුත් පවුලේ සියලු කටයුතු පවත්වාගෙන යන්න අරගල කරන ගැහැනිය එක්තරා දේශපාලන අරගලයක් ගේ ඇතුළෙත් කරනවා.
සමාජ අරගල කරන චන්දරේලාගේ Wife ලා ජීවන අරගලයක නිරතවෙනවා නේද?
ඔව්. මේ ගැන තමයි මම මේ කියන්න උත්සාහ කළේ. අපිට පෙනෙන්න තියෙන්නේ බොහෝ වේලාවට පිරිමින්ගේ අරගල. ඒක පුරුෂයා විසින් කරනු ලබන දේශපාලන අරගලයක්. ඒක ඇත්තටම සමාජයේ ඉදිරිපෙළින් පේන්න තියෙන එකක්. නමුත් නොපෙනෙන අරගල තමයි ගෙදර ඇතුළේ තියෙන අරගලය. ඒක චන්දරේලාගේ Wife ලා තමයි කරන්නේ. එක්තරා විදිහට චන්දරේලාගේ Wife ලා නොසිටින්න චන්දරේලාට ඒ දේශපාලනය කරන්නත් බැහැ. හැබැයි බොහෝ වේලාවට ස්ත්‍රීන් කරන ජීවන අරගලය අපිට පේන්නේ නැහැනේ. අපිට පේන්නේ දේශපාලන අරගලය විතරයි. ඉතිං මේ චිත්‍රපටය ඇතුළේ යම්කිසි විදිහකට උත්සාහ කරනවා චන්දරේලාගේ, Wife ලාගේ ජීවන අරගලය දේශපාලන අරගලයක් හැටියට අර්ථකථනය කරමින් එය ඉස්සරහට ගෙන එන්න. පේන තැනකට ගේන්න. ඒ නිසා තමයි මම හිතන්නේ මේ චිත්‍රපටය චන්දරේගේ Wife වෙන්නේ. චන්දරේ හිටියාට චන්දරේගේ Wife කරන අරගලය චන්දරේ පසුබිම් කරගෙන ඉස්සරහට අරගෙන එනවා. ඇයගේ කතාවට ඇය වටා සිටින දරුවන්, ගැහැනුන්, මිනිසුන් දේශපාලනය මූලික කරගෙන කුමන ආකාරයක අරගලයක් කරනවාද කියලා කියන්න උත්සාහ කරනවා. ඒක තාවකාලිකව කරන අරගලයක්.
මේ නිර්මාණයේ සූක්‍ෂ්ම දේශපාලන කියැවීමක් තියෙනවා. විශේෂයෙන් අරගල කරන චන්දරේලාගේ Wife ලාගේ ඇතුළාන්තයත් අරගෙන එනවා. මිනිස්සු වෙනුවෙන් කතා කරන චන්දරේලා හිරේ ගියාට චන්දරේ වෙනුවෙන් කතා කරන්න මිනිස්සු නැහැ. මේ ගැන ඔබේ අදහස මොන වගේද?
ලංකාවේ වාම දේශපාලනය සම්බන්ධයෙන් යම්කිසි උත්ප්‍රාසාත්මක බැලීමක් මේ චිත්‍රපටය ඇතුළේ තියෙනවා. ඒකට මම එකඟයි. මොකද ඇත්ත වශයෙන්ම චන්දරේලා අරගල කරන්නේ ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑමට විරුද්ධවයි. නමුත් වෙන වටයකින් චන්දරේලාගේ වයිෆ්ලාගේ ශ්‍රමයත් සූරාගෙන කනවා වමේ තිබෙන සමාජ වටපිටාව විසින්. අවසාන වශයෙන් විප්ලවය. සමාජ ප්‍රතිසංවිධානය, යහපත් ජීවන තත්ත්වයක් පිළිබඳව චන්දරේලා කරන අරගල ඇතුළේ සමහර වෙලාවට ඒවායේ තියෙන සිදුරු, අඩු ලුහුඬුකම් සහ අසාර්ථක භාවයක් පිළිබඳවත් යම්කිසි විදිහකට විවේචනාත්මකවත් උත්ප්‍රාසයෙන් බලන ගතියකුත් මේ චිත්‍රපටය තුළ සියුම්ව ගොඩනැඟෙනවා. දැන් ඔය අපේ රටේ කම්කරු ව්‍යාපාරය ගත්තත් අපේ රටේ දේශපාලන අරගල ව්‍යාපාරය ගත්තත් වාම අරගල තිබිච්ච කඩාවැටීම්, දියවීම් පිළිබඳවත් වෙන විදිහකට දකින්න පුළුවන්.
දැන් මේ චිත්‍රපටයේ දරුවන්ට අවුරුද්දට ඇඳුම් මහන්නේ කොඩි දාන්න අරගෙන ආපු රෙදිවලින්.
චන්දරේ අරගල කරපු සංකේතය අන්තිමට ජනෙල් රෙද්දට එනවා?
ඔව්. මේ චිත්‍රපටයේ පිටපත මගේ අතට ලැබුණට පස්සේ මුල් කාලයේ චන්දරේ වගේ චරිතයක් මට මැවුණා. අවුරුදු ගණනාවකට කලින් කරපු විශිෂ්ට සිනමා කෘතියක් තිබෙනවා. ඒක ගෝපාල් ක්‍රිෂ්ණන්ගේ කේරළ චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම මුඛ මුඛම්. ඉංග්‍රීසියෙන් කියන්නේ Face to Face කියලා. මේ චිත්‍රපටයෙත් ඉන්නවා ඔය විදිහේ වාමාංශික අරගල කරන නායකයෙක්. ඔහු සාමාන්‍ය ගැමියෙක්. නමුත් වමේ දේශපාලනයේ ක්‍රියාකාරිකයෙක්. ඔහුත් හිරේ යනවා. ඔහු උළු කර්මාන්ත ශාලාවක වැඩ කරන කම්කරුවෙක්. යම් කිසි අවස්ථාවක හිරේට යනවා. හිරේට ගිහිල්ලා ආවට පස්සේ ඔහු ගෙදර සාලයේ ඉඳගෙන ඉන්නවා. ඔහුගේ කලින් හිටපු විප්ලවීය නායකයෝ, උළු කර්මාන්ත ශාලාවේ අරගල කම්කරු නායක සගයෝ ටික එනවා ඔහුව බලන්න. ඉස්තෝප්පුවේ ඉඳලා කතා කරනකොට මේ නායකයාට නින්ද යනවා. ඒක හරිම උත්ප්‍රාසයෙන් මේ චිත්‍රපටය තුළ අරගෙන එනවා. ඔහුගේ කලින් තිබුණ වාම දේශපාලනයේ අදහස් මතිමතාන්තර මෙන්ම ශාරීරකවත් තිබුණ ජවය කෙමින් වියැකී යන ආකාරය, තව දුරටත් අරගලකරුවෙක් නොවේ චන්දරේ කියන්නෙත් ටිකක් ඒ වගේ චරිතයක්. චන්දරේත් ඔහු නොකළ වරදකට හිරේ යනවා. හිරේ ගිහිල්ලා එනකොට චන්දරේගේ අරගලය එක්තරා විදිහකට නිමාවට පත්වෙලා තියෙන්නේ. නමුත් චන්දරේගේ Wife ඒ වෙනකොටත් අරගලයේ නියුක්තයි. ඇය ඒ අරගලය විසින් යම්කිසි විදිහකට ජීවිතය දිනාගන්න උත්සාහ කරනවා.
චන්දරේගේ Wife නැති නම් නදීෂා හේමමාලි ගැන ඔබත් සමග මේ වෙලාවේ කතා නොකරම බැහැ. චිත්‍රපටය බැලුවාට පස්සේ ඇය ගැන ඇත්තටම මොකද හිතුණේ?
මම ඉතාම පැහැදීමකින් තමයි එයා ගැන කතා කරන්නේ. මම නදීෂාත් එක්ක ප්‍රථම වතාවට තමයි මේ චිත්‍රපටයක රඟපෑවේ. නදීෂාව රට හඳුනාගෙන ඉන්නේ සුරූපී නිළියක් විදිහකට. ගොඩාක් වේලාවට සුරූපී නිළියන්ට රඟපාන්න අමාරුයිනේ. නමුත් නදීෂා එහෙම කෙනෙක් නෙමෙයි. මේක මම සම කරන්නේ එක්තරා විදිහකට මීට අවුරුදු විස්සකටත් එහා මේ මගේ සඳයි කරන වේලාවේ මම රඟපෑවේ ප්‍රසිද්ධ රංගන ශිලිපිනියක් වන දිල්හානි එක්ක. ඒ වෙනකොට දිල්හානි අශෝකමාලා නමින් ජනප්‍රිය සිනමාවේ හිටපු නිළියක්. නමුත් ප්‍රථම වතාවට ඇයව කලාත්මක සිනමා කෘතියකට රැගෙන එන්නේ අශෝක හඳගම. ඇයත් සමග මම ප්‍රථම වතාවට මේ මගේ සඳයි චිත්‍රපටයේ රඟපෑවේ. ඇය මේ මොහොතේ ලංකාවේ චරිතාංග නිළියක් විදිහට වැඩ කරන තත්ත්වයකට පත්වෙලා ඉන්නවා. ඇය සමග මම මීට කලින් ෆාදර් චිත්‍රපටයේ රඟපෑවා. මීට කලින් තවත් චිත්‍රපටවල රඟපෑවා. ඇය ලොකු රේන්ජ් එකක් තියෙන නිළියක්. එක්තරා විදිහකට ගත්තොත් සිනමා කෘතිවලින් ලේබල් වෙන අසාධාරණ තත්ත්වයක් තියෙනවානේ නළු නිළියන්ට. දිල්හානිත් ඒ වගේ වාණිජ සිනමාවේ රඟපාන, සින්දුවලට මල් ගස් වටේ නටන නිළියක් වගේ කියලා. නමුත් ඇය ඒක කඩලා ඇගේ රූපණ හැකියාව පෙන්වලා තියෙනවා. ඒ ආකාරයටම දශක ගණනාවකට පස්සේ මම රඟපානවා වාණිජ සිනමාවේ, නිළියක් කියලා යම් කිසි විදිහකට ලේබල් වෙලා තිබුණ නදීෂා සමග. නදීෂා මේ චිත්‍රපටය ඇතුළේ පෙන්වා දෙනවා ඇයගේ තිබෙන ප්‍රතිභාන්විත රංග පරාසය.