මේ ගමන එන්න පුදුම කට්ටක් කෑවා – හිමේෂා දිල්කි

gossiplanka image 1
 



ඇය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්. නමුත් කලාවට ආධුනිකයෙක්. මේ නිසාම ඇය, ඇය වටා සීමාවක් දාගෙන තෝරාගත් නිර්මාණවලට පමණක් රංගන දායකත්වය ලබාදෙනව.වේදිකාව කියන්නෙ ඇයගෙ ජීවිතයට බද්ධ වුණ කොටසක්. ඒ කොටස නිසාම ඇය ගිය දුර බොහෝයි.මේ හැඳින්වීම හිමේෂා දිල්කි ගැන.මේ ඇයගේ කතාවයි.


හිමේෂා මේ දවස්වල ටෙලි නිර්මාණ දෙකකින් දකින්න ලැබෙනව?


ඔව්, ‘මගේ ඉපැරණි පෙම්වතිය’ සහ ‘ආලේ’ යන ටෙලි නාට්‍ය දෙකට මම රංගනයෙන් දායක වෙනව. මේ සඳහා මට අවස්ථාව ලැබෙන්නෙ අධ්‍යක්‍ෂ ඉන්දික ධර්මතිලක සහ පිටපත් රචක සිනෙත් යන අයියලා දෙන්නා නිසා.


මේ චරිත දෙක ගැන කතා කළොත්?


මගේ ඉපැරණි පෙම්වතිය ටෙලි නාට්‍යයේ මට ලැබිල තියෙන්නෙ, තාත්තා නැතිව අම්මා එක්ක හැදී වැඩෙන දුවකගෙ චරිතයක්. ආලේ ටෙලියෙ මට ලැබිල තියෙන්නෙ ප්‍රේමයෙන් පරාද වුණ කෙල්ලෙකුගෙ චරිතයක්.


වෙනත් වැඩකටයුතු මොනවද?


සාමාන්‍යයෙන් මම වේදිකාවට තමයි මූලිකත්වය දෙන්නෙ. මේ දවස්වල බුද්ධික දමයන්ත අයියගෙ ‘උඩ ජෝඩුව’ කියන අලුත්ම වේදිකා නාට්‍යයේ රිහර්සල් එක්ක එකතුවෙලා ඉන්නව. මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙන්නෙ ජයනාත් බණ්ඩාර, සමිත සුදේශ්වර, හංසමාලා ජානකී, බුද්ධික දමයන්ත සහ මම. ලබන මාසෙ 26 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදි පළමු වරට වේදිකාගත කරන්න නියමිතව තියෙනව.


හිමේෂා වැඩිපුර වැඩ කළේ වේදිකාවත් එක්ක?


ඔව්, මම මේ වනවිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික කලාවේදී උපාධිය ලබාගෙන ඉන්නෙ. කැම්පස් ඉන්න කාලෙදි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඉන් බාහිරව නිර්මාණයකට සම්බන්ධ වෙන්නෙ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගෙ ‘ගුරු තරුව’ වේදිකා නාට්‍යයට. 2023 අවුරුද්දෙ මම යූත් එකට කෙටි නාට්‍යයක් කරනව. එහිදී මට ජූරියේ විශේෂ සම්මානයක් ගන්න අවස්ථාව ලැබෙනව. නැවතත් 2025 අවුරුද්දෙ මුල්ම වතාවට රාජ්‍ය නාට්‍ය උළෙලට සහභාගි වෙනව. එහිදී එස්. එන්. සුගතදාස මහත්මයා අධ්‍යක්‍ෂණය කළ ද ට්‍රව්මා කියන කෙටි නාට්‍යය වෙනුවෙන් හොඳම නිළිය ලෙස තෙවන ස්ථානය ලබාගන්න මට හැකියාව ලැබෙනව. ඊට අමතරව පසුගිය ජනවාරි මාසයේදි ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුණ ලොව විශාලතම වේදිකා නාට්‍ය උළෙලට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා. එහිදී බුද්ධික දමයන්ත අයියගෙ ‘මට සිහිනයක් ඇත’ වේදිකා නාට්‍යය අපි ඉදිරිපත් කළා. මේ සඳහා මම සහ මහේන්ද්‍ර වීරරත්න අයිය තමයි රංගනයෙන් දාය වුණේ. මේක දිගු නාට්‍යයක්. මේ ෆෙස්ටිවල් එකේදි නාට්‍ය දහයක් තෝරා ගන්නව. ඒ දහය අතරට අපේ නාට්‍යයත් ඇතුළත් වුණා. ඒක අපිට ලොකු අවස්ථාවක්.


ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ?


මම කැම්පස් ඉන්න කාලෙ අක්කා කෙනෙක් මට කියනව ඔඩිෂන් එකකට යන්න කියල. නමුත් මම කැමති වුණේ නැහැ. නමුත් ඇයගෙ පෙරැත්ත නිසාම මම ගියා. එතැනදි පළමුවැනි ඔඩිෂන් එකෙන්ම මම සිලෙක්ට් වෙනව. ඒ රාවණා සීසන් 3. තවම ටෙලිකාස්ට් වුණේ නම් නැහැ. ඒ මගෙ පළමු ටෙලි නාට්‍යය. ඉන් පස්සෙ ඒ අධ්‍යක්‍ෂවරයාගේම ‘නිකිණි කුසුම්’ ටෙලි නාට්‍යයට මාව සම්බන්ධකර ගන්නව.


පවුලේ විස්තර කොහොමද?


අපේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, නංගිල දෙන්නයි. පදිංචිය කුරුණෑගල. දැනට මගේ වැඩිදුර අධ්‍යාපන වැඩකටයුතු නිසා කොළඹ නැවතිලා ඉන්නෙ.


උපාධිය ලබාගෙන මොනවද කරන්න හිතාගෙන හිටියෙ?


මම රංගනය පැත්තෙන් උපාධිය කළ නිසා අද ඉන්න ක්‍ෂේත්‍රයේ දිගටම කටයුතු කරන්න ආසාවක් තියෙනව. නමුත් මේ අතර රජයේ ස්ථිර රැකියාවක් කරන්න බලාපොරොත්තුවකුත් තියෙනව.


මේ ගමන ගැන අම්මා තාත්තාගෙ කැමැත්තක් තිබුණද?


ඔව්, එයාල හරි කැමතියි මාව ටීවී එකේ දකින්න. තාත්තා හැම වෙලාවෙම කිව්වෙ මේ යන ගමනත් එක්ක ඉගෙනීමේ වැඩටිකත් හරියට කරගන්න, නිළියො පරණ වෙනව, ඒ නිසා ඔයාගෙ අනාගතය වෙනුවෙන් ස්ථිර යමක් කරගන්න කියල.


සිනමාවටත් ආරාධනා ලැබුණා?


ඔව්, මට ලැබුණ ආරාධනා දෙකකම තිබුණෙ ප්‍රධාන චරිත. නමුත් එවා මට ප්‍රතික්‍ෂේප කරන්න සිදු වුණේ මගේ සීමාවෙන් පිට තිබුණ නිසා. මොකද මම තවම ආධුනිකයි. ඒ නිසා මේ මොහොතෙ මම හිතන්නෙ සීමාවක සිටිය යුතුයි කියල.


බාධක තිබුණ තැනුත් ඇති?


සමහර තැන්වලදි විවිධ හැලහැප්පීම් වෙනව. නමුත් මම දන්නව මගේ ගමන ශේප් එකේ යන්න ඕන කියල. ඒ නිසා ඒවා වැඩිය ඔළුවට ගන්නෙ නැතිව මේ මොහොතේ ජීවත් වෙලා, අදාළ වැඩේ අදාළ වෙලාවට කරගෙන ඉන්නව.


කු-රුණෑගල ඉඳන් කොළඹ ආපු මේ ගමන ඇත්තටම සුන්දරයි කියන්න බැහැ. ඒක කට්ටක්. කැම්පස් එකේ එක්සෑම් කාලෙ ෂූටිං ගොඩක් තිබුණා. ඒවා ඉවරවෙලා ඇවිත් පාඩම් කරනව. නින්දක් නැහැ. තීසිස් එක දෙන්න තිබුණ කාලෙ දිගටම ෂූටිං. පුදුම කට්ටක් කෑවෙ. නමුත් ඒ කට්ට හරි සුන්දරයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post