රැජිණියේ මට ලොකු අභියෝගයක් – තාරුකා වන්නිආරච්චි

gossiplanka image 1
 

1968 වර්ෂයේ තිස්ස ලියනසූරිය අධ්‍යක්‍ෂණය කළ ‘පුංචි බබා’ නිර්මාණයෙන් සිනමා ගමන අරඹන මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා අවසන් වරට සිනමාවෙන් දුටුවේ 2025 වසරේ කල්පන සහ වින්දන දෙසොහොයුරන් අධ්‍යක්‍ෂණය කළ ‘මලකි දුවේ නුඹ’ සිනමා නිර්මාණයට දායක වෙනව. මේ ගමන අතරතුර ඇය රඟපෑ චිත්‍රපට ගණන 150කට ආසන්නයි. හොඳම නිළිය, ජනප්‍රියම නිළිය වෙනුවෙන් ලබාගත් සම්මාන බොහොමයි. කලා කෙතේ දශක පහක පමණ මතක ගොන්නක් ඉතිරි කර ඇය සදහටම නික්ම ගිහින් වසරක් පිරෙන්නටත් මත්තෙන් මාලනිය යළි ‘රැජිණියේ’ නමින් උපදින බව පසුගිය දිනෙක දැකගන්නට ලැබුණා. ඒ ආචාර්ය ජයන්ත ධර්මදාසයේ බරපැන දායකත්වයෙන් සහ අරුණ ජයවර්ධනගේ අධ්‍යක්‍ෂණයක් ලෙසින්.මෙහි මාලනියගේ චරිතයට පණ දෙන්න සූදානමින් ඉන්නෙ නව පරපුරේ රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චි.


තාරුකා මේ අභියෝගය කොහොම භාරගනීවිද?.


ඇය ඒ ගැන අදහස් දැක්වුවේ මේ විදිහට.


මාලනී ෆොන්සේකා මහත්මිය කියන්නෙ අපේ සිනමාවේ ලෙජන්ඩ් කෙනෙක්. එතුමිය නැති අඩුව අපිට කවදාවත් පුරවන්න බැහැ වගේම එතැනට කාටවක් පත්වෙන්නත් බැහැ. අපි මේ උත්සාහ කරන්නෙ ඇය වෙනුවෙන්, ඇයට උපහාර පිණිස ‘රැජිණිය’ චිත්‍රපටය නිර්මාණය කරන්න. ඒකට මුල් වුණේ ආචාර්ය ජයන්ත ධර්මදාස මහත්මයා. ඉතිං මං හිතන්නෙ ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි මොන විදිහටද මේ කතාව නිර්මාණය වෙන්නෙ කියල. නමුත් මම හිතනව මට ලැබෙන පිටපතේ විශාල අභියෝගයක් අනිවාර්යයෙන්ම තියෙනව කියල. මේ පිටපත ලියන්නෙ සුනෙත් මාලිංග අයියා. අධ්‍යක්‍ෂණය කරන්නෙ අරුණ ජයවර්ධන අයියා. ඒ දෙපළත් එක්ක කතාකරල ඒ හැම අභියෝගයක්ම, හැම බාධකයක්ම ජයගන්න පුළුවන් කියල මම හදවතින්ම විශ්වාස කරනව. ඒ විශ්වාසයත් එක්ක තමයි මම මේ නිර්මාණයට සම්බන්ධ වුණේ. අපේ සිංහල සිනමාවේ ප්‍රේක්‍ෂකයන්ට ඉදිරියේදී හොඳ නිර්මාණයක් රසවිඳින්න පුළුවන් වෙයි.


පිටපතේ දේවල් අපි ඒ වෙනතුරු රහසක් විදිහට තියාගමු. ඉදිරියේදී ඒක හැමෝටම දැනගන්න පුළුවන් වෙයි.


මාලනී මහත්මියගෙ නිර්මාණ ගත්තාම ඒ හැම නිර්මාණයකදිම එතුමිය එකකට එකක් වෙනස් විදිහට ලබාදෙන රංගන දායකත්වය සුවිශේෂි වෙනව. මොකද එතුමිය ළඟින්ම ආශ්‍රය කළ කෙනෙක් විදිහට මම ඒක හොඳින්ම දන්නව. සිනෙස්ටාර් පදනම හරහා අපි විවිධ කමර්ෂල් වැඩවලට සම්බන්ධ වෙලා තියෙනව. ඒ අවස්ථාවලදි මගේ හයිට් එක ගැන වගේම පෙනුම ගැනත් එතුමිය නිතරම කතාකරල තියෙනව. ජීවතුන් අතර ඉන්න කාලෙ එතුමියගෙ ආදරේ අපි වෙනුවෙන් තිබුණ වගේම අපේ මතකයේත් එතුමිය සදාකාලිකවම ඉන්නව.


මේ නිර්මාණය ගැන කතාකරද්දි අධ්‍යක්‍ෂවරයා ගැන විශේෂයෙන්ම කතාකරන්න ඕන. අරුණ ජයවර්ධන කියන්නෙ වර්තමානයේ අධ්‍යක්‍ෂවරුන් අතරින් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. ඔහුත් එක්ක මීට කලිනුත් මම වැඩකරල තියෙනව. රංගන ශිල්පීන්ට හරිම පහසුයි ඔහුත් එක්ක වැඩ කරන්න. ‘රැජිණියේ’ චිත්‍රපටය ඔහු යටතේ රඟපාන්න ලැබීම මගේ වාසනාවක් හැටියටයි මම දකින්නෙ.


විශේෂයෙන්ම මේ වගේ දැවැන්ත නිර්මාණයකට නිෂ්පාදන දායකත්වය ලබාදීම කියන්නෙ බොහොම වටිනා දෙයක්. ඒ කාර්යය පිටුපස ඉන්න ජයන්ත ධර්දාස මහත්මයාට අපි ස්තූතිවන්ත වෙන්න ඕන අපිවත් මේ නිර්මාණයට දායක කර ගැනීම සම්බන්ධව.


මම හිතන්නෙ මේ යන්නෙ මගේ රංගන ජීවිතේ වාසනාවන්තම කාලෙ. රංගන ශිල්පිණියක් විදිහට විවිධ චරිත ලැබෙනව නම් අපි තැමතියි. නමුත් ඒකට ටිකක් කාලය ගතවුණත් නියම කාලෙදි නියම චරිතය ලැබුණා කියල මම විශ්වාස කරනව.


මේ දවස්වල ‘අකුරට යන වෙලාවේ’ සහ ‘රොන් සොයා’ යන ටෙලි නාට්‍ය දෙකට රංගනයෙන් සම්බන්ධ වෙලා ඉන්නව.


ඒ අතර රැජිණියේ චිත්‍රපටය ගැන අපි තව දුරටත් අධ්‍යයනයක යෙදෙමින් ඉන්නව. ඇඳුම්, කොණ්ඩා විලාසිතා වගේම මාලනී මහත්මියගෙ ජීවිතයේ තොරතුරු පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙනව. මොකද මේ වගේ නිර්මාණයක් ආවට ගියාට කරන්න බැහැනෙ.


මේ සියලු දේ නිසි අධ්‍යයනයකින් පස්සෙ අපි නිර්මාණයේ වැඩකටයුතු පටන් ගන්නව. ඉක්මනින්ම අපේ ප්‍රේක්‍ෂකයන්ට රැජිණිය චිත්‍රපටය රසවිඳින්න අවස්ථාව ලැබෙයි.


මහේෂ් එදිරිසිංහඡායාරූප – චාරුක පෙරේරා

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post