මාව සිනමාවට අරගෙන ආවේ උදයකාන්ත – රොඩ්නි වර්ණකුල

gossiplanka image 1

අසූව දශකයේ වේදිකාවෙන් ගමන ඇරඹූ රොඩ්නි වර්ණකුල සිනමාවට එන්නේ ඊට වසර විසිඑකකට පසුව උදයකාන්ත වර්ණසූරියගේ බහුභූතයෝ හරහායි. එතැන් පටන් ඔහු හාස්‍ය රස මුසුව පිරි අපූරු රංගනයන් රිදී තිරය හරහා ද ගෙනහැර පෑවේය. අද දවසේ ඔබට, මට රොඩ්නිව යළි උදකාන්ත වර්ණසූරියගේ සාජන්ට් පුංචිසෝම හරහා ද මුණගැසෙනවා. ඉතින් කාලෙකට පස්සේ අපි රොඩ්නි වර්ණකුල සමග පුංචි කතාබහක නිරත වුණා. ඒ අත්දැකීම් ඔයාලටත් කියන්න.


සාජන්ට් පුංචිසෝම චිත්‍රපටයට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?


බොහොම උණුසුම් ප්‍රතිචාර ලැබුණා. හාස්‍ය රසය මෙන්ම අද්භූත රසය මුසුවුණ මේක ඇත්තට ම පවුලේ චිත්‍රපටයක්.


මේ සඳහා ආරාධනාව ලැබුණේ කොහොම ද?


උදකාන්ත මහත්මයාගේ බහුබූතයෝ, ගින්දරී එක දෙක තුන කියන නිර්මාණ කිහිපයේම මම හිටියානේ. අනික මට විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. මම මුලින්ම සිනමාවට සම්බන්ධ වෙන්නේ 2002 වසරේ උදයකාන්ත මහත්මයාගේ බහුභූතයෝ සිනමා නිර්මාණයෙන්. ඒක තමයි මගේ සිනමා ගමනේ පටන්ගැන්ම. ඊට පස්සේ මම ඔහුගේ රක්කෙවිටේ ගීත ගායනා කළා. අන්තිමේ සාජන්ට් පුංචිසෝම චිත්‍රපටයටත් ආරාධනාවක් ලැබුණා. ඒ කාලේ මට කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ මහේන්ද්‍ර පෙරේරා එක්ක රඟපාන්න ආරාධනාවක් ලැබුණා. මගේ රාජකාරියේ කාර්යබහුලත්වයත් එක්ක ඒකට මට සම්බන්ධවෙන්න බැරිවුණා.


කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයත් ආරාධනා ලැබුණා. එහෙමද?


ඔව්. ඔව්. මහේන්ද්‍රත් එක්ක ළඟින්ම හිටිය ගාමිණී හෙට්ටිආරච්චි කරපු චරිතය කරන්න තිබුණේ මට. නමුත් මට නිවාඩුගන්න බැරිවුණ හින්දා දිනවකවානු ප්‍රශ්නයක් ඇවිත් තමයි භාර ගන්න බැරි වුණේ.


කොස්තාපල් පුඤ්ඤසෝම ඒකාලේ ලොකු කතාබහට ලක්වුණ චිත්‍රපටයක්නේ. චිත්‍රපටය තිරගත වෙනකොට සහභාගි වෙන්න නොලැබීම ගැන දුකක් ඇතිවුණා ද?


කොස්තාපල් පුඤ්ඤසෝම නරඹද්දී නම් මට ඇත්තටම දුක හිතුණා. අපරාදේ මේකට සම්බන්ධවෙන්න තිබුණා නම් කියලා වගේ එකක් දැනුණා. සම්බන්ධ වෙන්න බැරිවීම ගැන කනාගටුව වගේම ඒක මට නොලැබෙන දෙයක් වෙන්න ඇති.


සාජන්ට් පුංචිසෝම චිත්‍රපටයේ වැඩකරන්න ලැබීම ගැන මොකද හිතන්නේ ?


සතුටුයි. ප්‍රියන්ත සෙනෙවිරත්න එක්ක මම බොහෝවිට එකට වැඩකරලා තියෙනවා. අපි දෙන්නට එකට වැඩකරන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. ගින්දරී චිත්‍රපටයේ මම රඟපාන්නේ බන්ටිගේ චරිතයටනේ. ඒකටත් වඩා මේක වෙනස් චරිතයක්. සාජන්ට් පුංචිසෝම එක්ක ඉන්න ළඟම සගයා හැටියට තමයි මම රඟපාන්නේ.


ඔබව සිනමාවට රැගෙන එන්නේ උදකාන්ත වර්ණසූරිය. ඒ ගැන මොනවගේ අදහසක් ද තියෙන්නේ?


මම වේදිකා නාට්‍යවලින් ආපු කෙනෙක්. අදටත් මම කැමැති වේදිකා නාට්‍ය ශිල්පියෙක් විදිහට හඳුන්වනවාට. මම වේදිකා නාට්‍යවල රඟපාන්න පටන්ගන්නේ 1981 අවුරුද්දේ. අවුරුදු විසිඑකකට පස්සේ තමයි මම චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නේ. උදයකාන්ත මගේ හැකියාවන් දැකලා ඒ අවස්ථාව ලබාදීම ගැන ඇත්තටම සතුටුයි. ඒ වගේම ඔහු මාව තේරුම් ගත්ත එක ගැනත් ඇත්තේ ලොකු සතුටක්. එතැන ඉඳලා දිඟට ම චිත්‍රපටවල රඟපෑවා. සිකුරු හතේ, ගින්දරී එක, දෙක, තුන, සුහද කොකා, කතුරු මිතුරු, කාසිවාසි යනාදී වශයෙන් චිත්‍රපට විස්සක විතර රඟපාන්න ලැබුණා. ඒකට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනෑ උදයකාන්ත මහත්මයාට තමයි.


රිදී තිරයේ දී ඔබට නිතරම මිනිස්සුන්ව හිනස්සවන්න අවස්ථාව උදාවෙනවා නේද?


කෙනෙක් හිනාවෙනවා නම් ඒක සතුට ප්‍රකාශ කිරීමක්නේ. එතකොට සතුට ලබාදෙන්න පුළුවන්වීම ගැන ලොකු සතුටක් තියෙනවා. නමුත් මම හිතන්නේ සිනමාපටයකින් රසාස්වාදයක් ලබාදෙන එකත් ලොකු දෙයක්. ඒක ඇතුළේ සොම්නස, fදාම්නස කියන සියල්ලම තියෙන්න පුළුවන්. නමුත් හාස්‍යජනක ශිල්පියෙක් හැටියට හාස්‍ය මතුකරන්න ලැබෙන අවස්ථාව ගැන බොහෝම සතුටට පත්වෙනවා. ඒක ටිකක් හරි විරලයි. ලෝක සිනමාව ගත්තත් අපේ සිනමාව ගත්තත් එහෙමත් නැතිනම් වේදිකාව, ටෙලිනාට්‍ය කලාව ගත්තත් හාස්‍යජනනය කරන ශිල්පීන් ඉන්නේ බොහෝම අතළොස්සයි. ඒ අතුරින් කෙනෙක් වෙන්න ලැබීම සතුටක්.


මිනිස්සු හිනස්සවනවා කියන එකත් ලේසි නැහැනේ. ඒ ගැන තියෙන්නේ මොනවගේ අත්දැකීමක්ද?


පාරට බැස්සහම අපිට තේරෙනවානේ බොහෝ මිනිස්සුන්ගේ සිනහව අඩුයි කියලා. ඒ මූණවල්වල ලොකු ප්‍රශ්නාර්ථ ගොඩාක් තියෙනවා. ඇත්තටම ලෝකයේ මනුස්සයාට විතරනේ හිනාවෙන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් ඒකත් අපේ සමාජයේ මිනිස්සු අතුරින් බොහෝවිට ගිලිහිලා ගිහිල්ලා කියලා මට හිතෙනවා. ඉතින් එහෙම තියෙද්දී අපිට පුංචි හාස්‍යයක් මතුකරලා කෙනෙකුගේ මුවට සිනහම දෙන්න පුළුවන් එක ලොකු පිනක් කියලයි මට හිතෙන්නේ.


මේ දවස්වල රඟපෑම් වැඩකටයුතු එහෙම කොහොමද?


සාජන්ට් පුංචිසෝම කියන්නේ මේ අවුරුද්දේ මගේ තිරගත වුණු දෙවැනි චිත්‍රපටය. පළමු චිත්‍රපටය තමයි පෙබරවාරි මාසයේ තිරගත වුණු ශ්‍රැතිප්‍රභා අධ්‍යක්ෂණය කළ අභීත චිත්‍රපටය. ඉදිරියේදී තවත් චිත්‍රපට දෙක තුනක් තිරගත වෙන්න තියෙනවා.


කොහොමද වේදිකාවේ වැඩකටයුතු එහෙම ?


දැනට අපි දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ මධුර ජවනිකා, නරිබෑනා, බක්මහ අකුණු නාට්‍ය ත්‍රිත්වය වගේම මිහිර සිරිතිලකගේ ගරු තරු වේදිකා නාට්‍යයත් රඟදක්වමින් යනවා. ඊළඟට මේ අවුරුද්දේ මැදභාගයේ දී මගේම තවත් අලුත් වේදිකා නාට්‍ය නිර්මාණයක් එන්න නියමිතයි. එහි පෙරසූදානම් මේ වනවිට බොහෝවිට අවසන් වෙලා තියෙනවා.


ඒ කියන්නේ ඔබේම වේදිකා නිර්මාණයක් ළඟදීම නරඹන්න පුළුවන් ?


ඔව්. ඔව්. මගේම රචනයෙන් සහ අධ්‍යක්ෂයෙන් තමයි ජනානන්දය නිර්මාණය වෙන්නේ. එහි නිෂ්පාදන කටයුත්තත් මම ම කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මගේ පළමු වේදිකා නාට්‍ය නිර්මාණය තමයි 2003 වසරේ නිර්මාණය කළ සාරංගා නැවෙන් ඇවිත් නිර්මාණය. ඊට පසුව තමයි ජනානන්දය පටන්ගත්තේ. මම හුඟාක්වෙලාවට අනුන්ගේ නිර්මාණවලට තමයි දායකත්වය දක්වන්නේ. දිගු කාලයකට පස්සේ තමයි මගේම අතින් වේදිකා නාට්‍යයක් නිර්මාණය වෙන්නේ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post