මේ වෙද්දි රිවස්ටන් බලපු අයගෙන් හොඳ ප්‍රතිචාර යායට තියෙනවා - මහේන්ද්‍ර පෙරේරා

gossiplanka image 1
ඔහු මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික සලකුණක් තැබූ, චරිතාංග රංගනයේ අසහාය දැවැන්තයෙක්. රංගනය යනු හුදෙක් රූපපෙට්ටියක් හෝ තිරයක් ඉදිරිපිට පෙනී සිටීමක් නොව, සැබෑ ආත්මීය අභ්‍යාසයක් බව ක්‍රියාවෙන්ම ඔප්පු කළ ප්‍රවීණයෙක්. ඔහු මහේන්ද්‍ර පෙරේරා.නිරන්තරයෙන් අලුත් වන සිනමා රැල්ලත් සමඟ මෑතකදී ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ‘රිවස්ටන්’ චිත්‍රපටයේ ඔහුගේ සූක්ෂ්ම රංගන ප්‍රතිභාව සහ රූගතකිරීම් අතරතුර සීත කඳුකරයේ සීතල සමඟ කළ සටන පිළිබඳව ඔහු මෙලෙස හඬ අවදි කළා.


අපි මුලින්ම රිවස්ටන් චිත්‍රපටියේ ඔබේ චරිත පරාසය ගැන කතා කළොත්…මං ඇතුළුව ශ්‍යාම්, රන්දික, ප්‍රියන්ත අපි හතරදෙනා කළ චරිත හතරම හරිම සියුම්ව ප්ලේ කරපු චරිත හතරක්. සියුම් භාව ප්‍රකාශනයන් උපරිමේටම අල්ලපු අවස්ථාවක් කියන්න පුළුවන්. මේ වෙද්දි චිත්‍රපටිය බලපු අයගෙ හොඳ ප්‍රතිචාරනම් යායට තියෙනවා. 


‘රිවස්ටන්’ කියන්නෙ දුෂ්කරතා එක්ක රූගත කළ චිත්‍රපටියක් කියන්න පුළුවන්ද?


රූගතකිරීම්වලදි තිබුණ එකම දුෂ්කරතාවය තමයි විනාඩියෙන් විනාඩිය වෙනස් වෙන දේශගුණය. ඊට අමතරව කිසිම දුෂ්කරතාවයකට පත්වෙන්න අපේ නිෂ්පාදක ප්‍රභාත් රෝෂන් ඉඩ තිබ්බෙ නෑ. අපිට අවශ්‍ය සියලු දේවල් දීලා හොඳින් සැලකුවා. ඒ සැලකුම් නොතිබුණා නම් රිවස්ටන් වගේ පැත්තක රුගතකිරීම් කරන එක අමාරු වෙන්න තිබුණා. මොකද සීතල එක්ක ලොකු යුද්ධයක් කරනගමන් තමයි හැමෝම රඟපෑවේ. නමුත් විශේෂම දේ තමයි කාලගුණයේ මොන ගැටලු තිබුණත් අපි හැමෝම ඉතාම හොඳින් අපේ චරිත රසවිඳිමින් රූගතකිරීම් කළා.


වර්තමානයේ අපේ රටේ සිනමා කර්මාන්තය චිත්‍රපට කිහිපයක් නිසා හොඳ මට්ටමක තියෙනවා. ඒ අතරට රිවස්ටන් එක් වෙයිද?


ඔව් අනිවාර්යයෙන්ම. මේ වෙද්දි ලංකාවේ සිනමාව හොඳම තලයක තියෙනවා. චිත්‍රපටිය වෙනුවෙන් ලියවෙන විචාර බැලුවම තේරෙනවා ප්‍රේක්ෂකයෝ රිවස්ටන් චිත්‍රපටිය හොඳින් වැළඳගෙන තියෙනවා කියලා.


කොහොමද MP රංගන පාසලේ වැඩකටයුතු?


හොඳින් කරගෙන යනවා. ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඊළඟ පරම්පරාව මේ රංගනය කියන විෂය තුළ යම්කිසි පරාසයකට ගෙනියන්න උපරිම උත්සාහයක් දරනවා.කාර්යබහුල ජීවිතයක් ගෙවනකොට කොහොමද පවුල වෙනුවෙක් කාලයක් වෙන් කරගන්නේ?පවුල වෙනුවෙන් කාලය වෙන් කරගන්න එක තමයි හරිම අමාරු. සමහර ෂූටින් පටන්ගත්තම මාස ගාණක් එළියෙ ඉන්න වෙන අවස්ථා තියෙනවා. පහුගිය කාලෙ ඉන්දියාවෙදි චිත්‍රපටි දෙකකට සම්බන්ධ වුණා. ඒ වගේ ඒවටසම්බන්ධ වෙද්දි ලොකු කාලයක් වැය වෙනවා. උත්සවවලට ආරාධනාත් එමටයි. සමහර වෙලාවට පවුලේ සමහර දේවල් අත්හැරෙනවා. නමුත් පුළුවන් හැමවෙලේම පවුලේ දේවල්වලට සහභාගී වෙනවා.


කැමරාවෙන් පිටුපස මහේන්ද්‍ර පෙරේරා කියන්නෙ මොන වගේ චරිතයක්ද?


මං කොහොමටත් හරි සරල මනුස්සයෙක්. කවදහරි මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්නේ. භෞතිකමය වශයෙන් මහලොකුවට ගොඩගහන්න දේවල් මගෙ ජීවිතේ නෑ. මට අවශ්‍ය ප්‍රමාණය තිබුණම හොඳටම ඇති. මම බොහොම අමාරුවෙන් රඟපාලම ගෙයක් හදාගෙන තියෙනවා තලවතුගොඩ. ඉතින් බොහොම සන්තෝසෙන් ජීවත් වෙනවා. මොකද මේ මොහොතේ සන්තෝසෙන් හිටියොත් තමයි අනාගතේදි අපිට සන්තෝස වෙන්න පුළුවන් වෙන්නේ. හෙට මැරෙයිද කියලා අපි දන්නෙ නෑනෙ.විවේක කාලය ගත කරන්න කැමති කොහොමද?මම විවේක කාලයක් ලැබුණොත් ගිටාර්, වයලින් ගහනවා. සින්දු අහනවා ඇති තරම්. සින්දු කියනවා. ව්‍යායාම කරනවා. ඕවා තමයිවිවේකයක් ලැබුණොත් කරන්නේ.


ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදිහට නවකයන්ට දෙන්න තියෙන්නෙ මොන වගේ පණිවිඩයක්ද?

කියන්න තියෙන එකම දේ, රංගනය කියන්නේ විෂයක්. ඒ විෂය හදාරන්න. ඒ විෂය ඇතුළෙ තව තව දේවල් හොයාගෙන යන්න. මේක බන්දේසියක තියලා කවුරුත් ළඟට ගෙනත් දෙන ක්ෂේත්‍රයක් නෙවේ. රංගන ක්ෂේත්‍රය තුළ විවිධත්වයට පත්වෙන්න, අභ්‍යාසගත වෙන්න කියලයි කියන්න ඕන.


එරංදි කෞශල්‍යා 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post